විවිධ රෝග අතර ජාල සිතියම් පෙන්නුම් කරන්නේ විසම (සමාන කළ නොහැකි) රෝග අතර වසන් වු අනුක සබඳතා පවතින බවයි.

ස්ටෙෆාන් තර්නර් ජීවවිද්‍යාඥයෙකු නොව භෞතික විද්‍යාඥයෙකි. කෙසේ වෙතත් ඔහුටත් ඔස්ට‍්‍රියාවේ වියනා නුවර වෛද්‍ය සරසවියේ සගයන්ටත් මෑතක වෛද්‍ය වාර්තා දත්ත විශ්ලේෂණය කිරීමේ අවස්ථාවක් උදාවිය. ඔවුනට සපයන ලදුව තිබුණේ මුළු රටෙන්ම පාහේ මෙතෙක් සිදුකළ රෝග විනිශ්චයන් සහ ප‍්‍රතිකාර සැමකක්ම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු වෛද්‍ය රක්‍ෂණ ඉල්ලීම්ය. සංඛ්‍යා වශයෙන් ගත් කළ මිලියන අටක ජනතාව සම්බන්ධයෙන් ඉල්ලීම්ය.

ඔවුන් සිය කාර්යය ආරම්භ කළේ සමස්ත ජනගහනය තුළ පැතිර පවතින රෝග 1,055 ක් ගැන සොයා බැලීමෙනි. එකවර රෝග දෙකක් වැළඳීමෙන් ඇතිවිය හැකි අවදානම සෙවීමට ඔවුහු සංඛ්‍යාලේඛනාත්මක විශ්ලේෂණ සිදුකළහ. එකවර සෑදිය හැකි රෝග යුගල ගැන ඔවුන්ගේ අවධානය යොමුවිය. ඒ කියන්නේ එක රෝගයකට ගොදුරු වී සිටින අයෙකුට සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනත් රෝගයක් වැළඳීමේ හැකියාව ඇත්ද යන්න සොයා බැලීමයි. ඉතාමත් දුර්ලභ හා ඉතාමත් ප‍්‍රචලිත රෝග අතර ව්‍යාජ සම්බන්ධතාවක් පෙන්නුම් කිරීම වළක්වාලීම පිණිස ඔවුහු සංඛ්‍යාලේඛනාත්මක ක‍්‍රමවේද යොදා ගත්හ.

මෙම විශ්ලේඛණය තුළින් බලාපොරොත්තු නොවු සබඳතා සමහරක් හෙළිදරව් වී තිබේ. ඔවුන්ට පෙනී ගිය එක් කාරණාවක් වුයේ දියවැඩියාව හා පාකින්සන්ගේ රෝගය අතර ඇති මතභේදාත්මක සබඳතාවයි. දියවැඩියා රෝගීන්ට අධික රුධිර පීඩනය වර්ධනය වෙන කාලවකවානු පිලිබඳ සුවිශේෂී රටා සොයාගැනීමටද ඔවුහු සමත්ව සිටිති. අතිරේක සබඳතා ගැන ද ඔවුන් වැඩිදුරටත් සොයා බලනු ඇත. තර්නර් මෙන්ම වෙනත් පර්යේෂකයන් ද අවසාන ප‍්‍රතිඵලයක් ලෙස මතුකර ගැනීමට අදහස් කරන්නේ රෝග, අනුක මට්ටමේදී ක‍්‍රියාකරන ආකාරය පිළිබඳ උපකල්පන ඉස්මතු කරගැනීම පිණිස මෙම රෝග ජාල යොදා ගැනීමටයි. ,රෝගයට හේතුකාරකය ජානද? එසේ නොමැති නම් පරිවෘත්තීය (ජීවියෙකු තුළ සිදුවන රසායන ක‍්‍රියාවලිය) ජාලයෙහි දෝෂයක් ද? නොඑසේ නම් ඇතැම් ජානයන්ට බලපාන පාරිසරික සාධක හේතුවෙන්ද? යන්න සොයා බැලීම අපේ අරමුණ,යි තර්නර් පවසයි.

වෛද්‍ය විද්‍යාවේ විග‍්‍රහ කර ඇති අයුරු රෝග යනු නිශ්චිත,  සුවිශේෂී ස්ථිතීන් වුවත් යථාර්තවාදීව ගත්කළ අවුල් සහගතය යන්න අවබෝධ වීම මෙම අධ්‍යනයන් පිටුපස ඇති මෙහෙයුම් බලවේගයයි. සාමාන්‍යයෙන් රෝග විග‍්‍රහ කරනු ලබන්නේ ඒවායේ ලක්‍ෂණ මගිනි. එහෙත් රෝග පිළිබඳ වර්තමානයේ අපට ඇති අවබෝධයෙන් බොහෝ ඔබ්බට ගිය ජීව විද්‍යාත්මක බලපෑමක් රෝගවල අනුක මුලයන්ට තිබිය හැකිය. ඇතැම් රෝග අනෙක් ඒවායේ පිටුපස ගමන් කිරීමේ හෝ එකට ගිලන්වීමේ ඉහළ අනුපාත නැඹුරුවක් පෙන්වයි. ඒ මන්දැයි යන්න නිශ්චිතව කිව නොහැකි නමුත් එකනෙකට සම්බන්ධ ජීව විද්‍යාත්මක දෝෂ කරනකොටගෙන එසේ සිදුවනවා විය හැක.

පර්යේෂකයන්ගේ අධ්‍යයනයට බඳුන්වු එක මොඩියුලයකින් සොයා බැලෙන්නේ පෙනහළුවල අධික රුධිර පීඩනය හා හෘදය අකරණීයවීම (heart failure)  අතර සබඳතාවයයි. එක් මොඩියුලයක් දියවැඩියාව රෝගයේ සම්බන්ධතා ගැනයි. එකිනෙකට බෙහෙවින් වෙනස් වු අනුක ජාල සහ රෝගජාල එකට එක් කරනු ලබන්නේ, සාමාන්‍යයෙන් අනාවරණය නොවීමට ඉඩ ඇති සබඳතා දත්ත මගින් අනාවරණය වේය යන අදහස මගිනි. ඒ කෙසේ වෙතත් මේ ජාල දෙකටම, රෝග අධ්‍යයනය සම්බන්ධයෙන් නව දොරටු විවෘත කිරීමේ හැකියාව, ඉඩකඩ ඇත.

රෝග අතර ජාල සම්බන්ධ විශ්ලේෂණයේදී ප‍්‍රථමයෙන්ම සිදුකෙරෙන්නේ මිනිසුන් දැනටමත් හඳුනාගෙන ඇති සම්බන්ධතා යළි නිර්මාණය කිරීමයි. ඉන්පසුව සොයා බැලෙන්නේ මින් පෙර නොදුටු රෝග අතර සබඳතායි. ඇත්තටම අපේ කාර්යයන් ආරම්භ වන්නේ එතැන් සිට යයි පවසන තර්නර් ඔවුන්ගේ උප කල්පන පිළිබඳව ජීව විද්‍යාඥයන්ගේ උනන්දුව මදිකම ගැන තැවුලට පත්වන බව කියයි.

 

Scientific American  හි Newly Discovered Networks among Different Diseases Reveal Hidden Connections  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending