ගෝලීය ආර්ථිකය සහ හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් (CO2) අතර ඇත්තේ පැහැදිලි සහ සම්බන්ධයකි. විද්‍යාඥයන් හා පරිසරවේදීන් විසින් කොපමණ අනතුරු හැඟවීම් සිදු කරනු ලැබුවත් කාබන්ඩයොක්සයිඩ් විමෝචන දිගින් දිගටම ඉහළ යන බව ලොව කාටත් නොරහසකි. එමෙන්ම, ගෝලීය ආර්ථිකයද ඉහළ යමින් පවතී. 1980 දශකයේ මුලදීත්, 1992 සහ 2009 යන වසරවලදීත් ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්විය. ඒ අවස්ථාවල කාබන් ඩායොක්සයිඩ් CO2 වායු විමෝචනද ඉහළ යාම අඩු විය. නැතිනම් පහල වැටිණි. මේ අනුව CO2 විමෝචන හා ගෝලීය ආර්ථිකය එක්ව ගමන් කරන බව පැහැදිලි වන්නේ ඒ දෙකෙහි සහ සම්බන්ධය ප්‍රදර්ශනය කරමිනි. කෙසේ වෙතත්, ගෝලීය ආර්ථිකය ඉහළ යමින් තිබිය දී ද කාබන්ඩයොක්සයිඩ් ඒ හා සමග ඉහළ යාම පසුගිය වසරේ ඇණහිට ඇත්තේ වසර 40 කට පසුවය. එහි ස්තුතිය හිමිවිය යුත්තේ චීනයටයි!
ලොව පුරා හරිතාගාර වායු විමෝචන කෙරෙහි සූර්ය, සුළං සහ අනෙකුත් පුනර්ජනනය (යළි යළිත් ඇති කළ හැකි) බලශක්ති මාර්ග කොපමණ නම් බලපෑමක් ඇති කරන්නේ ද යත් ගෝලීය ආර්ථිකය වර්ධනය වෙමින් තිබියදී වසර 40 කට පසුව හරිතාගාර විමෝචන ඉහළ යාම නතර වී ඇතැයි අන්තර්ජාතික බලශක්ති අධිකාරිය (International Energy Agency) ප්‍රකාශයට පත්කරයි. අධිකාරිය පෙන්වා දෙන අන්දමට 2013 දී මෙන්ම 2014 වසරේ දී ද CO2 විමෝචන මෙට්ට්‍රික් ටොන් බිලියන 32.3 මට්ටමෙහි නොවෙනස්ව පැවතිණ. එයින් පෙනී යන්නේ දේශගුණ විපර්යාසයන්ට එරෙහිව (අහිතකර) විමෝචන අඩුකර ගැනීමෙහිලා දරන ප්‍රයත්න කලින් අපේක්ෂා කළාටත් වඩා ප්‍රතිඵලදායී වී ඇති බවයි.
‘මෙය ඉතා ආශාවෙන් බලාපොරොත්තු වන පුදුම එළවන සුළු එමෙන්ම වැදගත් සංසිද්ධියක්’ යනුවෙන් අන්තර් ජාතික බලශක්ති අධිකාරියේ ප්‍රධාන ආර්ථිකවිද්‍යාඥ ෆටී බයිරෝල් (Fatih Birol) කියා සිටියි. ‘ප්‍රථම වතාවටආර්ථික වර්ධනය හා වායු විමෝචනය අතර බන්දනය ඇණ හිට තිබේ. මේ වසරේ දෙසැම්බරයේ පැරිසියේ දී පැවැත්වීමට නියමිත ගෝලීය දේශගුණ සම්මුතියේ සාකච්ඡාවලට හොඳ ගැම්මක් ලබාදෙනු ඇත’.
චීනයේ CO2 විමෝචන 2014 දී 2% කින් පහත වැටුණු බව අධිකාරිය කලින් නිවේදනය කළ අතර චීනය ගල් අඟුරු භාවිතය අඩුකරන අතර සූර්ය, සුළං සහ ජලවිදුලි බලය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ක්‍රියාකිරීම මෙම ප්‍රගතියට දායක වී ඇතැයි පෙන්වා දෙයි. ධරණීය (දැරිය හැකි) වර්ධනය, බලශක්ති කාරයක්ෂමතාව සහ පුනර්ජනන බලශක්ති කෙරෙහි බටහිර යුරෝපයේ අවධානය ද පෙන්නුම් කරන්නේ ගෝලීය වශයෙන් ආර්ථිකය වර්ධනය වෙද්දී පවා බලශක්ති පරිභෝජනය නිසා හටගන්නා වායු විමෝචනය පහළ වැටිය හැකි බව යයි අධිකාරිය තවදුරටත් පෙන්වා දෙයි.
1980 ගණන්වල මුලදීත් 1992 සහ 2009 යන වසරවලදීත් ගෝලිය වශයෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය පහතවැටිම හෝ නතරවීම හෝ සිදුවිණ. ඒ සෑම වරකම ගෝලීය ආර්ථික වර්ධනයේ අර්බුද හට ගෙන තිබුණු අතර විමෝචන හා ආර්ථික වර්ධනය අතර සහසම්බන්ධතාවට අනුකූලතාව පැහැදිලි විය. 2014 වසරේ දී ලොව පුරා ආර්ථිකය 3%න් ඉහළ ගියේය. ගෝලීය ආර්ථිකය හා සහසම්බන්ධිත විමෝචන ගැන අන්තර්ජාතික බලශක්තිය අධිකාරිය ලබන ජූනි මාසයේ නිකුත් කිරිමට නියමිත බලශක්ති හා දේශගුණ විශේෂ වාර්තාවක විස්තරාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
අහිතකර විමෝචන ගැන අලුත්ම දත්තයන් ඇත්ත වශයෙන්ම දිරිගන්වන සුළුයි. එහෙත් මෙය ස්වයං තෘප්තියට කාරණයක් කරනොගත යුතුයි. සැබැවින්ම තවදුරටත් මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරීවීම අත්හිටුවීමට කෙසේවත් නිදහසට කාරණාවක් නොවිය යුතුය යි අධිකාරියේ විධායක අධ්‍යක්ෂිකා මරියා වැන්ඩ හොවන් කියන්නීය.
Scientific American හි CO2 Pollution Stops Swelling Even as Global Economy Grows ලිපිය ඇසුරෙනි²





ප්‍රතිචාරයක් ලබාදෙන්න