සරම්ප රෝගය වැළදීමේ විපාක බැලූ බැල්මට පෙනෙනවාට වඩා හානිකර බැවින් වැඩි පිරිසකට එන්නත් ලබාදීමේ වැදගත්කම නව අධ්‍යයනින්ද යළි තහවුරු වෙයි.
ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ළමා වියේ මාරක රෝග අතුරෙන් තවමත් ප්‍රධාන තැනක් ගන්නේ සරම්පයි. තදින් බෝවෙන සුළු මේ වයිරසක ශ්වසන රෝගයට එරෙහිව ආරක්ෂාව සැපයීමට අමතරව සරම්ප එන්නතෙන් තවත් වාසිදායක ප්‍රතිඵල ලබා ගත හැකි වෙතැයි විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එන්නත මගින් සරම්ප ආසාදනය අවහිර කරනු ලැබීමෙන් සරම්ප නිසා හටගන්නා ප්‍රතිශක්ති පද්ධතියේ හානිය වළක්වා ගත හැකිවෙයි. ප්‍රතිශක්ති පද්ධතියට එවැනි හානියක් ඇතිවුණොත් වසර දෙක තුනක් යන තුරු ළමුන් විවිධ වු වෙනත් බෝවෙන රෝගවලට ගොදුරු වීමේ හැකියාව තවත් වැඩි කෙරෙන බව නව අධ්‍යයනයකින් හෙළිවෙයි.
මෙම ව්‍යසනයෙන් අවධානය යොමු වන්නේ ප්‍රතිශක්ති විස්මෘතිය (immune amnesia) යන තත්ත්වය කෙරෙහිය. ප්‍රතිශක්ති විස්මෘතිය (ස්මරණ ශක්තිය නැතිවීම) යනු කලින් හඳුනාගත් හෙවත් මුණගැසුණු රෝග කාරක ඈත් කර තබා ගන්නේ කෙලෙසද යන්න ‘මතක’ තබා ගන්නා ප්‍රතිශක්ති පද්ධති සෛල සරම්ප ආසාදනයෙන් විනාශ වී යන තත්වයයි. මීට පෙර මේ සම්බන්ධව සිදු කෙරුණු අධ්‍යයනවලින් පෙන්වා දුන්නේ ‘ප්‍රතිශක්ති විස්මෘතිය’ පවතින්නේ මාසයක් හෝ දෙකක් වැනි සුළු කාලයක් තුළ පමණක්ය යනුවෙනි. එක්සත් ජනපදය, ඩෙන්මාකය, එංගලන්තය හා වේල්සය යන රටවලින් දශක කිහිපයක් මුළුල්ලේ එකතු කර ගන්නා ලද ළමාවිය සෞඛ්‍ය දත්ත නව අධ්‍යයනයට පදනම් වී ඇත. එම දත්ත මගින් පෙන්වා දෙනු ලැබ ඇත්තේ සරම්ප මගින් ඇතිකරවන ප්‍රතිශක්ති හානිය සාමාන්‍ය වශයෙන් මාස 28ක් පවතින බවයි.
එම කාල පරාසය තුළ දී සරම්ප රෝගය වැළඳෙන ළමුන් වෙනත් බෝවෙන රෝග අසාදනවලින් මිය යාමේ ඉඩ කඩ වැඩිය. ඊට හේතුව සරම්ප වෛරස මගින් සිදු කරනු ලබන, ප්‍රතිශක්ති ස්මරණ සෛල හානිය කාලයක් තිස්සේ පැවතීමයි. (කලින් ද සඳහන් කළ පරිදි සාමාන්‍ය වශයෙන් මාස 28 ක්) ‘නව අධ්‍යයනයෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ සරම්ප ආසාදනින් වසර කිහිපයක් යනතුරුත්, දිගු කාලීනව ප්‍රතිශක්ති සෛලවලට ඇතිවන හානිය නිසා ළමුන් අවදානමකට ලක් වන බවය’යි. ප්‍රින්ස්ට්න් සරසවියේ රෝග නිරෝධවේදී (immunologist) සහ වසංගතවේදී (epidemiologist) මයිකල් මිනා කියා සිටියි. ‘එපමණක් නොව, මෙකී සංවර්ධිත රටවල පවා සරම්ප රෝග එන්නත හඳුන්වා දීමට කලින්, බෝවන රෝග මගින් ළමාවියේ සිදුවුණු මරණවලින් සියයට 50කට පමණ සරම්ප රෝගය සම්බන්ධ විය හැකි බව ද නව අධ්‍යයනයෙන් පෙනී යයි.’
නව අධ්‍යයන වාර්තාව නිකුත් වී ඇත්තේ විවිධ හේතු සාධක නිසා ලොව පුරා දෙමාපියන් තම දරුවන්ට සරම්ප රෝග එන්නත ලබාදීමට පසුබට වන්නට පටන්ගෙන ඇති අවස්ථාවකය. එන්නතෙහි ආරක්ෂිත බව හෝ ආගමික හා වෙනත් හේතු ඉහත කී සාධක අතර වේ. සරම්ප රෝගය එක්සත් ජනපදයෙන් තුරන් කරනු ලැබූ බව ප්‍රකාශයට පත් කෙරුණේ 2000 වර්ෂයේ දී ය. එහෙත්, මෑතක රෝගය වැළඳුන අය ගැන වැඩියෙන් වාර්තාවන්නට විය. ඊට හේතුව එන්ට එන්ටම වැඩි පිරිසක් එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටීමයි. පසුගිය වසරේ එ. ජනපදයෙන් රෝගීන් 668ක් වාර්තා විය. 1994න් පසු වැඩිම සංඛ්‍යාව එයයි. ‘අපේ අධ්‍යයනයෙන් තහවුරු වන්නේ එන්නත් ලබාදීම දිගටම ඉහළ මට්ටමක පවත්වාගෙන යා යුතු බවයි.’ මිනා කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට සරම්ප රෝග මරණ 2000-2013 අතර සියයට 75කින් පහළ දැමීමට එන්නත් ලබාදීම බලපා ඇතත් 2013 දී ද සරම්ප රෝග මරණ 145,000ක් සිදු විය.
Scientific American හි Measles Vaccine May Help Thwart Other Infectious Diseases ලිපිය ඇසුරෙනි






ප්‍රතිචාරයක් ලබාදෙන්න