ආපණ ශාලාවකට ගොඩවී කට්ලට් හෝ පැටිස් එකක් කෑමට ගනිද්දී සෝස් බෝතලයෙන් සෝස් වත්කර ගැනීමට ගොස් අසීරුතාවයකට පත්ව තිබෙනවාද? යටි අතටම හැරෙව්වත් සෝස් වැක්කෙරෙන්නේ නැහැ. වැක්කෙරුණත් වරුගානක් යනවා. මේ අබැද්දිය ආපණ ශාලාවක දී නොව ගෙදරදීත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි කරන්නේ සෝස් බෝතලයේ පස්ස පැත්තට තඩි බාන එකයි. (ආපණ ශාලා කරුවන්ගෙන් ඇතැමෙක් මෙය විසඳන්නේ සෝස් බෝතලයට ජලය එකතු කිරීමෙනි.) හැබැයි දැන් මේ ගැටළුවට විසඳුම් වශයෙන් නව නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ.
ලික්විග්ලයිඞ් (LiquiGlide) නම් සමාගම මගින් බෝතලයේ හෝ භාජනයේ පෘෂ්ඨය (මතුපිට) ස්ථාවරවම තෙත් හෝ ලිස්සන සුළු තත්ත්වයෙන් තබා ගත හැකි නිෂ්පාදනයක් හඳුන්වා දී තිබේ. බෝතලයක හෝ වෙනත් බඳුනක කුමන ද්‍රව්‍යයක් – ඔව්, සෝස් පමණක් නොවෙයි, පැණි, දත් බෙහෙත්, ෂැම්පු, තෙල්, තීන්ත – මේ කුමන ද්‍රව්‍යයක් බහා තිබුණත් පෘෂ්ඨයෙහි හෙවත් මතුපිට නො ඇළි පහසුවෙන් ලිස්සා එනසේ මතුපිට ආවරණය කිරීමට මේ නිෂ්පාදනයෙන් හැකියාව ලැබේ.
සාමාන්‍යයෙන් මෙවැනි සෝස් හෝ වෙනත් ද්‍රව්‍ය බහාලූ බඳුනෙන් එම ද්‍රව්‍යය පිටතට ගැනීමට නොහැකි වූ විට සිදුවන්නේ අඩංගු දැයෙහි ඉතිරි කොටසත් සමගම බඳුන කසළ ගොඩට එක්වීමයි. නැතිනම් බඳුන හොඳ හැටි සෝදා වෙනත් කාර්යයක් සඳහා යොදා ගැනීමයි. අප මුදල් ගෙවා ලබාගත් යම් ද්‍රව්‍යයක් මේ දෙවිධියෙන්ම අපතේ යයි. එනම් සම්පත් නාස්තියක් සිදුවේ. ලොව පුරා මෙය කොයිතරම් සුලභව සිදුවේද කියතහොත් අපට සම්පත් නාස්තියක් සිදුවන බව සිතට එන්නේ ද නැත. එක් අයෙකු මිළදී ගත් එක් සෝස් බෝතලයක් හෝ තීන්ත කෑන් එකක් ගැන නොව රටක සමස්ත පාරිභෝගික ජනතාවගේ මිළදී ගැනීම් ගැන සිතුවොත් මේ නාස්තියේ පරිමානය ගැන අවබෝධයක් ඇති කර ගත හැක. එපමණක් නොව මේ අපතේ යන ද්‍රව්‍ය පරිසරයට එකතුවන්නේ කසළ වශයෙනි. එයත් දැනට පවතින තවත් ගැටළුවක් උග‍්‍ර අතට හැරවීමකි.
උදාහරණයක් ගමු : මාගරින් කෝප්පයක අන්තිමට ඉතිරිවන මාගරින් ‘ටික’ ඉවතට ගැනීම අපහසු බව අප කවුරුත් දන්නා කරුණකි. අසීරුවෙන් සූරා ගත්තත් පාන් පෙති භාගයකට ගෑමටවත් මදිය. එහෙත්, වසරකට මෙවැනි මාගරීන් කෝප්ප කොපමණ නම් මිළදී ගනු ලබන්නේද? කොපමණ නම් ‘අන්තිම තේ හැඳි භාගය’ සමග විසිකරනු ලබන්නේද? ඔබම සිතා බලන්න.
එහෙයින්, මේ නිෂ්පාදනය ‘මහා ලොකු’ සොයා ගැනීමක් නොවෙතයි සිතුණත් එහි ඵලදායි බව නම් නොසලකා සිටිය නොහැක. ලික්විග්ලයිඞ් සමාගමේ මේ සොයාගැනීම, එම වර්ගයේ ප‍්‍රථම තාක්ෂණය යයි කිව හැකිය. ඉදිරි වර්ෂවලදී මේ තාක්ෂණය තවත් වැඩිදියුණු කිරීමට මෙන්ම ප‍්‍රායෝගිකව නොයෙකුත් ඇසුරුම් සඳහා යොදා ගැනීමට ද සැලසුම් කෙරේ. එය ඇසුරුම් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට පමණක් නොව කසළ හා වෙනත් අපද්‍රව්‍ය අඩුකිරීමට ද මග පාදනුු නොඅනුමානය.
ආයෙත් ඉතින් රෝල්, කට්ලට් කන්න ගිහින් කරදරවෙන්න ඕන නැහැ.
Helix magazine හි The Future of Waste Reduction ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න