Genetically Modified Organisms හෝ GMOs යනුවෙන් ඉංග්‍රීසියෙන් දැක්වෙන ජාන වෙනස් කළ ජීවීන් ගැන පොදු ජනතාව තුළ ඇත්තේ බලවත් අප්‍රසාදයක්. විරෝධයක්. ‘GMO කෙනෙකුගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. විෂ සහිත පවා විය හැකිය. එමෙන්ම ඒවායින් පරිසරයට හානියක් සිදුවන්නේය’ යන්න පොදුවේ පිළිගැනීමට ලක්ව තිබේ. එහෙත් මෙය මෙසේ වන්නේ, GMO ‘GMO ආරක්ෂාසහිතව ආහාරයට ගත හැකිය. එමෙන්ම කෘෂිකාර්මාන්තය වඩාත් තිරසාරව සංවර්ධනයට ඒවා මගපාදන හෙයින් පාරිසාරික වශයෙන් වාසි සලසන්නේය’ යන බවට විද්‍යාත්මක සාක්ෂි අතිවිශාල ප්‍රමාණයක් තිබියදීය. ඉතින් GMO ගැන විද්‍යාවෙන් කියැවෙන දේ සහ පොදු ජනතාව විශ්වාස කරන දේ අතර මෙපමණ පරස්පරයක් ඇතිවන්නේ ඇයි?
මෙයට පිළිතුරු සපයන බෙල්ජියානු ජෛව තාක්ෂණ විද්‍යාඥයන් හා දර්ශන විද්‍යාඥයන් කියා සිටින්නේ එවැනි ඍණාත්මක නිරූපණයන් ප්‍රචලිත වන්නේ ද එමෙන්ම අවධානය ඇද ගන්නේ ද, හේතු රහිත වුවත් සහජ ඥානයෙන් ඒවා සත්‍යයන් ලෙස පිළිගැනීමේ නැඹුරුව තිබෙන හෙයිනි. එවැනි නිරූපනවලින් කියැවෙන දෑ සිතා ගැනීමට පහසුය. ඒවා පහසුවෙන්ම අපේ අවධානය ඇද ගන්නා අතර පහසුවෙන් සකසාගෙන (easily processed) මතක තබා ගැනීමට හැකි නිසා ඒවා සම්ප්‍රේෂණය කෙරී ජනප්‍රසාදය දිනාගනී. ඒවායේ සත්‍යයක් නැතත් මෙලෙස බොහෝ දෙනා GMO ප්‍රතික්ෂේප කිරීමට පෙළඹීමට බලපාන එක් සාධකයක් වන්නේ ‘ඒවායින් අපට තර්ජනයක් එල්ල වන්නේය’ යන්න සහජ ඥානයට අනුකූලවන නිසාය.
බෙල්ජියමේ ගෙන්ට් සරසවියේ(Ghent University) පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කර ඇති පර්යේෂණ වාර්තාව අනුව GMO පිළිබඳ ජනතා සංජානනයට බලපාන ප්‍රතිභාන (intuitions) කිහිපයකි.
මනෝවිද්‍යාත්මක සාරාත්මවාදය(Psychological essentialism) : ජීවියෙකුගේ චර්යාවට හා වර්ධනයට හේතුවන මූලික සාරය ඒ කියන්නේ නිරීක්ෂණය කළ නොහැකි හා අවිපරිණාමීය (immutable) හෙවත් පරිණාමීය නොවන හරය ඩීඑන්ඒ(DNA) බව යයි අප සිතන්නේ මේ නිසාය. තවද ජීවියාගේ අනන්‍යතාව තීරණය කරන්නේ ද DNA යයි අපට සිතේ. මේ නිසා දුරින් සම්බන්ධ විශේෂ දෙකක් අතර ජාන හුවමාරු වූ විට මුල් ජීවයට ආවේණික ගුණාංග ග්‍රහක ජීවියා තුළ ද ඉස්මතු වෙතැයි යනුවෙන් සිතීමට, විශ්වාස කිරීමට ජනතාව පෙළඹිය හැකිය. නිදසුනක් දක්වතොත්, ‘’මත්ස්‍ය DNA මගින් ජාන වෙනස් කළ තක්කාලි(ඇත්තටම එය එසේ වන්නේ නැතත්) මාළු රසැතිය’’යනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කළ සමීක්‍ෂණයක දී ඊට සහභාගි වූ අඩක්ම කියා සිටියහ. සාරාන්මවාදය පැහැදිලිවම GMO සම්බන්ධයෙන් පොදු ජන ආකල්පය කෙරෙහි බලපෑමක් ඇති කරයි. එකම විශේෂයක් අතර DNA හුවමාරුවට වඩා වෙනස් විශේෂ අතර DNA හුවමාරුවට ජනතාව ප‍්‍රරූපීව (typically) විරුද්ධ වෙයි. GMO විරුද්ධ සංවිධාන
මාළු වරල් සහිත තක්කාලි ඡායාරූප පළකරමින් ද, ඉරිගු ගෝනුස්සන්ගේ DNA යොදා ජානමය වශයෙන් වෙනස් කරන බව ප්‍රකාශ කරමින් ද මෙවැනි ප්‍රතිභානවලින් ප්‍රයෝජනය ගනිති.
ලබාගන්නා ප්‍රයෝජනය හා අරමුණ ගැන ඇති ප්‍රතිභානවලින් ද ජනතා චින්තනය කෙරෙහි බලපෑමක් ඇති කරයි. ස්වභාවික සංසිද්ධි පවතින්නේ හෝ සිදුවන්නේ කිසියම් ‘නියෝජිතයෙකුගේ ‘අභිප්‍රේරිත හේතුවක් මතය යන අදහසට එම ප්‍රතිභාව අපව පාත්‍ර කරයි. මේවා ආගමික විශ්වාසවල අත්‍යවශ්‍ය කොටසකි. එහෙත් ලෞකික වාතාවරණයක දී එම අදහස් ජනතාවට මගපෙන්වන්නේ ස්වභාව ධර්මය යනු හිතකර නැතිනම් වාසිදායක ක්‍රියාදාමක් හෝ වස්තුවක් ලෙස සැලකීමටය. අපේ සහසාධනය(wellbeing) සුරක්ෂිත කරන හෙයින් එහි පැවැත්මට මිනිස් අප ඇගිලි නොගැසිය යුතුය යන්න ඉන් ගම්‍ය කෙරේ. GMO වලට විරුද්ධ සන්දර්භයේ දී ජාන වෙනස් කිරීම සැලකෙන්නේ ‘අස්වාභාවික’ දෙයක් ලෙසට ය. ඒ නිසා එවැනි දේ කිරීමට යාමෙන් ජෛව තාක්ෂණ විද්‍යාඥයන් මැවුම්කරුවෙකුගේ හෝ සර්ව බලධාරියෙකුගේ භූමිකාව ඉටු කරන්නට උත්සාහ කරන්නේ යයි ද චෝදනාවට ලක්වේ. ස්වභාව ධර්මයට එරෙහිවයාම සැලකෙන්නේ අනිටු විපාක ඇති කරවන පාපකාරී ක්‍රියාවක් ලෙසටය. එසේ කිරීමෙන් සමස්ත මානව වර්ගයා මතම මහත් ව්‍යසන ඇති කරවන්නේ යයිද සැලකේ.
තවද GMO කෙරෙහි පිළිකුලක්, එපාවීමක් ඇති කිරිමට බලපාන තවත් සාධකයක් වන්නේ ජානමය වශයෙන් සිදු කරන වෙනස් කම් ‘කෙළසීමක්’ ‘දූෂණයවීමක්’ ලෙස ජනතාව සැලකිමයි. අලුතෙන් ඇතුල් කරන DNA ලබාගෙන ඇත්තේ සාමාන්‍යයෙන් විශේෂ මීයෙකු හෝ කැරපොත්තෙකු වැනි ජුගුප්සා ජනක විශේෂයකින් නම් මේ පිළිකුල තවත් වැඩිවේ. එහෙත් DNA යනු එහි ප්‍රභවය කුමක් වුවත් DNA මය. ජාන වෙනස් කළ වෙනනත් දේවලට වඩා ජාන වෙනස් කළ ආහාරවලට ජනතාව තුළ ඇති පිළිකුල ඇතිවන්නේ එකී පිළිකුල හේතුවෙනි. මෙලෙස පිළිකුළ මතු කොට ඉස්මත්තට ගත්විට GMO පිලිකාව හෝ වඳ භාවය ඇති කරයි යනුවෙන් නැතිනම් ඒවා පරිසරය දූෂණය කරයි යනුවෙන් තර්ක ගොඩ නැගීම පහසුවන අතර එම තර්ක නිතර භාවිත ද වේ.
සංජානන විශේලේෂණ මගින් සිදුකිරීමට අදහස් කරනු ලබන්නේ GMO වලට එරෙහි සෑම ප්‍රකාශයක්ම බොරු කිරීම නොවේ. ඇතැම් ජාන වෙනස් කළ දෑ නුවමණා ප්‍රතිඵල ගෙන දීමට ඉඩ ඇත. එහෙත් ඓන්ද්‍රීය හෝ සාම්ප්‍රදානුකූලව ගොවිතැන තුළ පවා එවැන්නක් ඇතිවීමට ඉඩ තිබේ. අවදානම හා වාසි කිරා මැන බැලිය යුත්තේ එක් එක් අවස්ථාව වෙන වෙනම සැලකිල්ලට ලක් කිරීමෙනි. දැනට GMO භාවිතයන් ආරක්ෂා සහිත බව ඔප්පු වී හමාරය. මේවා නිපදවීමේදී බහු ජාතික සමාගම් ඇතැම් විට සම්බන්ධවීම වෙනම සලකා බැලිය යුත්තක් මිස මෙම තාක්ෂණයට එරෙහිව යොදා ගන්නා ආයුධයක් කර නොගත යුතු යයි පර්යේෂකයෝ පෙන්වා දෙති. මේ ගැන ඇති සුලබ මිථ්‍යා මත සම්බන්ධෙයන් ළාබාල වියේදීම ලබා දෙන අධ්‍යාපනයකින් GMO කෙරෙහි එල්ල වන නුවමනා ප්‍රහාර හා ප්‍රචාරවලට විරුද්ධව දිගු කාලයේදී ‘ප්‍රතිශක්තිකරණයක්’ ලබා දිය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.
Scientific American හි Why People Oppose GMOs Even Though Science Says They Are Safe ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න