චිත්‍ර ශිල්පි ඩේවිඩ් ඇල්ෆැරෝ සික්‍යුරෝස් (David Alfaro Siqueiros) විසින් සිය අහඹු සිතුවම් ශිල්ප ක්‍රමය(Accidental Painting) මුලින්ම සොයා ගනු ලැබුවේ 1930 ගණන්වලයි. ඒ ශිල්ප ක්‍රමය බොහෙවින් සරල එකක් විය. ඔහු කළේ ද සරල දෙයකි. හෙතෙම ලී පැනලයක් මතට විවිධ වර්ණවල තීන්ත වක්කර ඒවා පැතිරී එකට එකතු වන අතරේ එක ස්තරයකින් තවත් ස්තරයකට පෙරී කාන්දු වීමට ඉඩ හළේ ය. මේ සරල ක්‍රියාදාමය පිටුපස ඇති විද්‍යාව ඔහුගේ උනන්දුව රඳවා තබා ගැනීමට තරම් සමත්විය. ඔහුගේ වැඩපළට පැමිණෙන ලෙස විද්‍යාඥයන්ට ආරාධනා කිරීමට පවා සික්‍යුරෝස් පෙළඹුණේ ය. එහෙත් ඔවුන්ගෙන් සික්‍යුරෝස්  අපේක්ෂා කරන්නේ කුමක් දැයි තේරුම් බේරුම් කර ගැනීම විද්‍යාඥයන්ට දුෂ්කර කාර්යයක් බවට පත් විණැයි මැක්සිකෝවේ ස්වාධීන විශ්වවිද්‍යාලයේ කලා ඉතිහාසඥ සැන්ඩ්‍රා සෙටිනා පවසයි.

images (5)සික්‍යුරෝස්ට මෙන්ම සෙටිනාට ද මේ පියකරු සිතුවම් සැකසෙන්නේ කෙසේද යන්න වටහා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා ඇයට තරල ගතිකවිද්‍යා (fluid dynamics) විශේෂඥවරයෙකු අවශ්‍ය විය. එවැන්නෙකු සොයා ගැනීම පිණිස ඇයට වැඩිදුර යාමට සිදු ‍ නොවීය. එම විශ්වවිද්‍යාලයේම රොබටෝ සෙනිට් ඊට සම්මාදම්වීමට එකඟ විය. දෙදෙනා එකතුව මේ විද්‍යාත්මක කලා මාදිලියේ සුළමුළ සොයා ගැනීමට සමත් වූහ.

පර්යේෂණ සිදු කිරිම සඳහා මේ දෙදෙනා සික්‍යුරෝස් භාවිත කළ තීන්තවලට සමාන තීන්ත සොයා ගත්හ. පැතැලි තිරස් මතුපිටකට එක් වරණයක තීන්ත වත්කර එය මතුපිට දිගේ පැතිරෙන්නට ඉඩ හළේ ය. අනතුරුව ඊ මත තවත් වර්ණයක  තීන්ත වත් කළහ. කෙසේ වෙතත් පර්යේෂකයෝ එක් කාරණාවක් සම්බන්ධයෙන් පමණක් සික්‍යුරෝස්ගේ ශිල්ප ක්‍රමයට වෙනස් මගක් ගත්හ. ඒ සික්‍යුරෝස් යොදා ගත් ලී පැනලය වෙනුවට මොවුන් යොදා ගත්තේ පැතැලි පාරදෘශ්‍ය මතුපිටකි. එසේ කළේ ස්තර අතර තීන්ත අන්තර් ක්‍රියා කරන ආකාරය අධි විෙභ්දනයෙන් රූගත කිරීම පිණිසය. අධිවිභේදන රූ වලින් හෙළිදරව් වූයේ තරල ගතිවිද්‍යා විශේෂඥ සෙනිට් සැක කළ දෙයමය: වර්ණ මිශ්‍ර වීම හා පෙරී කාන්දුවීම සිදුවන්නේ තීන්තවල ඝනත්වයෙහි අසංතුලනයක ප්‍රතිඵලයක් ලෙස බවයි.

ඝනත්වය අඩු තරලයක් මත ඝනත්වයෙන් වැඩි තරලයක් ඇත විට උඩ ඇති තරලයට පහළට චලනය වීමට වුවමනාවේ. එමගින් වර්ණ දෙක මිශ්‍රවෙයි. විවිධ වර්ණවල ඇත්තේ එකිනෙකට වෙනස් ඝනත්වයන්ය. ඊට හේතුව වර්ණක (pigments) සෑදීමට ගන්නා සංයෝගවල වෙනස් වීමයි. නිදසුනක් ගතහොත් කළු පැහැ තීන්තවල ඝනත්වය සුදු පැහැ තීන්තවලට වඩා අඩුය. ඒ නිසාවෙන්, කළු තීන්ත මත සුදු තීන්තවක් කරනවිට බලාපොරොත්තුවන ආකාරයේ මිශ්‍රවීමක් සිදුවන බව සෙනිට් හා සෙටිනා දෙදෙනා සොයා ගත්හ.  එහෙත් සුදු මත කළු වර්ණය වක් කළ විට එසේ නොවෙයි.images (6)

ඝනත්ව දෙකක් අතර මෙම ‘අරගලය’ භෞතික විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ රැලේ ටේලර් අස්ථායීතාව(Rayleigh-Taylor instability) යනුවෙනි.  මේ කාරණාව චිත්‍ර කලාවෙන් පරිබාහිර ක්ෂේත්‍ර ගණනාවකදීම ඉස්මතු වෙයි. නිදසුනක් ලෙස තාරකා භෞතිකවිද්‍යාව (astrophysics) ගතහොත් ස්ඵෝටනය (පුපුරා යන) තාරකා විවිධ ඝනත්වවල වායු පිටකරන අතර එය රැලේ – ටේලර් (Rayleigh-Taylor fingers) බලපෑමට මග පාදයි.

තෙල් ගවේෂණය සිදුකෙරෙන කැනීම්වලදී ඉංජිනේරුවන්ද මේ අස්ථායීතාව කෙරෙහි විශ්වාස තබයි. තෙල් මුදා හැරීම පිණිස වායු විදීම, නිදසුනක් ලෙස ගතහොත් බෙහෙවින් අකාර්යක්ෂම ක්‍රියාදාමයක් වන්නේ මේ අස්ථායිතාව හේතුවෙනි.  එහෙත් තරල අධි පීඩනය සහිතව විදීම(frack) වඩාත් කාර්යක්ෂම නිස්කරණයට(extraction) මග පාදයි. ඝනත්ව දෙකක් සහිත තරල දෙකක් අන්තර් ක්‍රියා කරන ඕනෑම අවස්ථාවක මේ අස්ථායීතාව දැක ගත හැකි වෙයි.

අස්ථායිතාව තීන්ත එකට මිශ්‍රවීමට හේතු කාරක වුවත් සිතුවම් කෙබඳු පෙනුමක් ගන්නේ දැයි තීරණය කිරීමේදී, අනෙකුත් භෞතික ක්‍රියාදාම උපකාරී වේ. වියළීමට පෙර තීන්ත කොපමණ පැතිරේද යන්න අර්ධ වශයෙන් තීරණය වන්නේ තරලයක දුස්ස්‍රාවීතාව(Viscosity) හා ඝනකම(thickness) යි. ඒ නිසාවෙන්, ඝනත්වයෙන් පමණක් නොව දුස්ස්‍රාවීතාවයෙන් ද විවිධ වූ තීන්ත සොයා ගනිමින් සෙනිට් හා සෙටිනා එකිනෙකට වෙනස් වර්ගයේ සිතුවම් නිර්මාණය කළහ. එකිනෙකා සමග එක්කාසු වී වැඩ කිරීමට පටන් ගැනීමත් සමගම චිත්‍රකලා ඉතිහාසඥවරිය හා භෞතික විද්‍යාඥයා එකිනෙකාගේ ක්ෂේත්‍ර ගැන ගැඹුරු ඇගැයීමක් වැඩි දියුණු කරගෙන ඇත.

American Physical Society Physics Central වෙබ් අඩවියේ Art and Physics Converge: Accidental Painting ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending