නිසියාකාරව සිදුකරන්නේ නම් පරීක්ෂා කිරීම (testing) ඉගෙනීම සඳහා වන සුවිශේෂීම ඵලදායී ක්‍රමයක් බව ප්‍රජානන විද්‍යා හා මනෝවිද්‍යා පර්යේෂණවලින් හෙළිවෙයි. පරීක්ෂණවලට පෙනී සිටීම මෙන්ම පරීක්ෂණයට පෙර හා පසුව මනාව සැලසුම් කළ ක්‍රියාකාරකම්වල නිරතවීම මගින් කරුණු ප්‍රත්‍යානයනය(recall) වඩා හොඳින් සිදු කළ හැකිවේ. විභාග නොමැති අධ්‍යාපනයකට වඩා ගැඹුරු එමෙන්ම සංකීර්ණ අවබෝධයක් එමගින් ලබා ගත හැකිය. එහෙත් හුදු ඇගැයීමක් ලෙස සිදුකිරීමට අමතරව ක්‍රියාකාරීව උගෙනීමට උපකාර ආධාර කරන පරීක්ෂණ රෙජීමයක්, දැනට බොහෝ රටවල ඇති විභාග පරීක්ෂණවලට වඩා වෙනස් ආකාරයක්, ස්වරූපයක් ගනී.

ඇගැයීමේ මෙවලමක් ලෙස පරීක්ෂා කිරීම, සමුද්ධරණ භාවිතය (Retrieval practice) මගින් යොදා ගනු ලබන්නේ නැත. ඒ වෙනුවට එම භාවිතයන් පරීක්ෂණ සලකන්නේ උගෙනීම සඳහා ඇති අවස්ථා ලෙසටය. ඒ අරුත්බර වන්නේ, නැතිනම් හොඳින් තේරුම්ගත හැකිවන්නේ පරීක්ෂණ කිරීමේ ස්වභාවය වරදවා තේරුම් ගෙන ඇති බව වටහා ගැනීමෙන්ය. සිසුවාගේ ඔළුව ඇතුළට ඔබා එහි ඇතුළත දැනුමේ මට්ටම කොපමණ නම් ඉහළකට නැග ඇත්දැයි සොයා බලන ගිල්වන කෝදුවක් ලෙසයි, පරීක්ෂණ ගැන අප සිතන්නේ. එහෙත් ඇත්තටම සිදුවන්නේ සිසුවෙකු ස්මරණයෙන් දැනුම ප්‍රාජානයනය කරන සෑම විටම එම ස්මරණය වෙනස්වීමයි. එහි මානසික නිරූපණය වඩාත් ශක්තියත් එමෙන්ම වඩාත් ස්ථාවර හා වඩාත් පහසුවෙන් ලබාගත හැකිවෙයි.

එය එසේ විය යුත්තේ ඇයි? ‘අප අභිමුඛයට එන සියල්ල අපට කොහෙත්ම මතක තබා ගත නොහැක යන්න සලකන විට මෙහි අරුතක් දැකිය හැකිය’යි පර්ඩූ සරසවියේ ප්‍රජානන මනෝවිද්‍යා මහාචාර්ය ජෙෆ්රි කාර්පික් පවසයි. අපේ ස්මෘතිය අවශ්‍යයෙන්ම වරණීයයි. එහෙයින්, යම් කාරණාවක හෝ අදහසක උපයෝගීතාව, ප්‍රයෝජනවත් බව එය තෝරා ගැනීම පිණිස ප්‍රබල පදනමක් සපයයි. ‘අනාගතයේ යම් මොහොතක දැනුම අපට අවශ්‍යවීමේ හැකියාව ගැන අපේ මනස සංවේදීය. අපි මේ මොහොතේ කිසියම් තොරතුරු බිඳක් ප්‍රත්‍යානනය කළොත් අපට එය නැවත වුවමනා වීමට ඇති ඉඩකඩ වැඩියි’ යනුවෙන් කාර්පික් පෙන්වා දෙයි.

පරීක්ෂණ කිරීම පිටුපස ඇති ස්නායුක යාන්ත්‍රණ neural mechanisms) කාර්යබද්ධ චුම්බක අනුනාද ප‍්‍රතිරූපණ magnetic resonance imaging  යොදා ගනිමින් සිදු කෙරෙන අධ්‍යයනයන් මගින් හෙළි දරව් කිරීමට පටන් ගෙන තිබේ. මෙතෙක් සිදු කර ඇති අධ්‍යයන අතළොස්ස මගින් විද්‍යාඥයින්ට පෙන්නුම් කර ඇත්තේ හුදෙක් නැවත නැවත පාඩම් කිරීම හා සසඳන විට ස්මෘතියෙන් තොරතුරු ප්‍රත්‍යානයනය කිරීම මොළයේ සුවිශේෂී ප්‍රදේශ තුළ ඉහළ ක්‍රියාකාරිත්වයක් ඇති කරවන බවයි. මොළයේ මෙම කොටස් හෙවත් කලාප මතකයන් තහවුරු කිරීම හෝ ස්ථායිබවට පත් කිරීම මෙන්ම පසුව පහසුවෙන් ලබාගත හැකිවන විදිහේ ඉඟි ජනනය කිරීම හා සම්බන්ධය. උගෙනීමේ ආරම්භක සැසියක දී මෙම කලාප උද්‍යෝගීමත් වන තරමට, සති හෝ මාස කිහිපයකින් පසුව එය ප්‍රත්‍යානයනය කිරීමේ සාර්ථකත්වය වැඩි බව අධ්‍යයන කිහිපයක් මගින් පර්යේෂකයෝ පෙන්නුම් කරති.

9E10E016-2B54-45C1-962B9B4FEE45EE30_articleඉගෙනීම සිදුවන ප්‍රධාන විදිහ යළි මතකයකට නඟාගැනීම හෙවත් මතක් කර ගැනීම බව කාර්පික් පවසයි. ‘මතකයේ අපි දැනටමත් ගබඩා කර ඇති තොරතුරු ප්‍රත්‍යානයනය කිරීම මුලින්ම මතකයේ එම තොරතුරු තැන්පත් කිරීමට වඩා බලගතු ඉගෙනීමේ අවස්ථාවක්’ බවයි ඔහු පෙන්වා දෙන්නේ. නව මතකයන් තහවුරු කිරීමේ අත්‍යන්ත ක්‍රියාදාමය සමුද්ධරණයයි. සුවිශේෂී තොරතුරු මතක තබාගැනීමට පමණක් නොව පරීක්ෂණයට කෙළින්ම ලක් නොකළ තොරතුරු ද ධාරණය කරගැනීමටද සමුද්ධරණය ආධාර වේ. කිසියම් නිශ්චිත තොරතුරක් සෙවීම පිණිස අපේ මනස පීරා බලා සොයද්දී අදාළ අනෙකුත් මතකයන් ද පිරික්සන අතර එසේ කිරීම නිසා එම තොරතුරු ද මතකයෙහි තහවුරු වන බව පර්යේෂකයන්ගේ අදහසයි. අනෙක, සිසුන් වර්තමානයේ ඉගෙන ගන්නා කාරණා කලින් උගෙන ගත් දේ සමග පටලවා ගැනීම වැළැක්වීමට ද සමුද්ධරණය කිරීමේ භාවිතය ආධාර වෙයි. එපමණක් නොව පරීක්ෂාකිරීමට පසුව යළි එම තොරතුරු හමු වූ විට වඩා පරිපූර්ණව එම තොරතුරු අවශෝෂණය කර ගැණීමට පවා මග පාදන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

අනික, පරීක්ෂණ කිරීම මගින් හුදෙක් හුදකලාව ඒ ඒ කාරණා ප්‍රත්‍යානයනය වර්ධනය කරනවා පමණක් නොව මතකයේ තොරතුරු එළියට ඇද ගැනීමේ ක්‍රියාදාමය ‘ගැඹුරු ඉගෙනීම’ ද (deep learning)පෝෂණය කරයි. ගැඹුරු ඉගෙනීමේ යෙදී සිටින සිසුනට ‍තමන් දන්නා කාරණාවලින් අනුමානයන් කිරීමට මෙන්ම එම කරුණු අතරේ සම්බන්ධතා ඇතිකිරීමට ද හැකියාව ඇතිවේ. එමෙන්ම ඔවුන්ෙග් දැනුම විවිධ සන්දර්භ තුළ දී යොදා ගැනීමට ද හැකිය. (මෙය අධ්‍යාපනඥයන් හඳුන්වන්නේ සංක්‍රාමණය ෙහවත් transfer ලෙසිනි.) ඇත්තටම සංක්‍රාමණය, එනම් එක් සන්දර්භයක් තුළ උගෙන ගත් දැනුම තවත් සන්දර්භයකදී යොදා ගැනීම, ගැඹුරු ඉගෙනීමේ අවසාන ඉලක්කයයි.

වඩාත් ඵලදායිවන්නේ උකහාගත් දෙය යළි සමාලෝචනය කිරීමද නැතොත් පරීක්ෂා කිරීමද යන්න සොයා බැලලීම සඳහා ඇමරිකාවේ කොලොම්බියා මැදි පාසලේ පර්යේෂණයක් සිදු කෙරිණ. මෙයට ගුරුවරු නව දෙනෙකු සහ සිසුන් 1400ට වැඩි පිරිසක් සහභාගි කරවා ගනු ලැබූහ. ඔවුන් කොටස් දෙකකට බෙදා එක පිරිසකට උගැන්වූ කොටස ගුරුවරුන් සමග එක්වී තුන් වරක් සමාලෝචනය කළ අතර ඉතිරි පිරිසගෙන් එම කොටස ගැන ප්‍රශ්න අසන ලදි. මෙම ප්‍රවේශයන් දෙකෙහි ප්‍රතිඵලවල අතර පැහැදිලි වෙනසක් විය. සමාලෝචනය කළ පිරිසට වඩා ප්‍රශ්න කිරීමට ලක් වූ සිසුන්ගේ ප්‍රතිඵල වඩාත් සාර්ථක විය. මාස අටකට පසු, පසුවිපරම් පරීක්ෂා කිරීමක් කළ අවස්ථාවේදී ද ප්‍රශ්න කිරීමට ලක්වූ සිසුන්ගේ මතකය වඩා හොඳ විය.

SCIENTIFIC AMERICAN හි Researchers Find That Frequent Tests Can Boost Learning  ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending