අප දන්න කියන කෙනෙකුගේ වයස නම් ඒ අයගෙන් හෝ ඒ අය දනන්නා හඳුනන කෙනෙකුගෙන් අසා දැනගන්න පුලුවන්. නන්නාඳුනන කෙනෙකුගෙ වුණත් හැඳුනුම් පත හෝ උප්පන්න සහතිකේ ඇත්නම දැනගත හැකියි. අඳුනන්නේ නැතිවුණත් ප්‍රකට පුද්ගලයන්ගේ උපන් දින නම් බොහෝ විට පුවත් පත්, පොත පත, සඟරා සහ අද කාලේ නම් අන්තර් ජාලයෙත් පළවෙයි. ඒත් ඉතින් සුර්ය දිව්‍ය රාජයාගේ වයස කාගෙන් කියලා අහන්නද? මොකෝ සූර්ය දිව්‍ය රාජයා කීවාට, සුර්යයා දෙවියෙකුවත්, රජෙකුවත් නොවෙයි නේ. හිරු නැතිනම් සූර්යයා කියන්නේ තාරකාවක්. ඔව් සමහරු හිතාගෙන ඉන්න ආකාරයට ග්‍රහයෙකු නොවෙයි තරුවක්. තවත් නිවැරදිව කිව්වොත් G පංතියේ ප්‍රධාන අනුක්‍රමයේ තාරකාවක්. ඉතින් තරුවකින් වයස අසා දැනගන්න පුළුවනැයි?.

විද්‍යාඥයෝ නම් සූර්යයාගේ වයස හොයාගන්න විවිධ ක්‍රම අනුගමනය කරති. ඉන් එක ක්‍රමයක් පදනම් වී ඇත්තේ සූර්ය ග්‍රහ මණ්ඩලය(සූර්යයා, ග්‍රහයන්, ධූමකේතු, ග්‍රහක ආදිය අතුළත්) සමකාලික ඒකකයක්ය(coeval unit), ඒ කියන්නේ එක කාලයක උපත ලත් වස්තූන්ය යන අවබෝධය මතයි. ඒ අනුව නම් සූර්යයා අඩුම තරමින් ග්‍රහලෝක, ග්‍රහක, ධූම කේතු සහ සූර්ය ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් වස්තූන් තරමටවත් වයස් ගතයි. ෆොසිල වාර්තා සහ පැරණිතම පාෂාණවල වයස සැලකිල්ලට ගන්නා විට පෘථිවිය අඩුම තරමින් වසර බිලියන 4.55ක් වත් වයසක් විය යුතුයි. ඒ අනුව සූර්යයාත් අඩුම තරමින් ඒ වයසේ විය යුතුයි.
දෙවැනි වශයෙන් ඇති, තවත් ක්‍රමයක් ලෙස හැඳින්විය හැක්කේ තාරකා හැඩගැසීමේ සහ න්‍යෂ්ටික දහනය පිළිබඳ සෛද්ධාන්තික ආකෘතියක් උපයෝගී කරගන්නා ක්‍රමයකි. එම ආකෘතිය, තාරකාවක වයස එහි උෂ්ණත්වයට, දීප්තියට සහ ස්කන්ධයට සම්බන්ධ කරයි. තාරකාවක පරිණාමය ඉඳුරාම රඳා පවතින්නේ එහි ස්කන්ධය මතයි. තරුවක ස්කන්ධය වැඩිවෙත්ම එය, එහි හයිඩ්‍රජන් වේගයෙන් දහනය කර දමයි. ඉතින් තරුවක ස්කන්ධය දැනගත් විට, එහි දීප්තිය සහ උෂ්ණත්වය තාරකාවේ පරිණාමීය වයස් කාලය තුළ එය සිටින්නේ කොතනද නිර්ණය කිරීමට අපට උපකාරිවෙයි. එම තොරතුරු වලින් තාරකාවේ වයස තීරණය කල හැකියි.
මෙම ආකෘතියට හෙවත් මොඩලයට, සාමාන්‍ය තාරකාවක්වන අපගේ සූර්යයා බඳු තාරකා ඇතුළුව විවිධ වර්ගයේ තාරකා සිය ගණනක් සම්බන්ධකර ගනිමින් සත්‍යාපනය කරනු ලැබ ඇත. ඒ අනුව මොඩලය, සූර්යයාගේ වයස ලෙස දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත්තේ වසර බිලියන 4.6ක් පමණ කාලයකි.

අවසාන වශයෙන්, මෑතක වැඩි දියුණු කරන ලද ශිල්ප ක්‍රමයක් වන න්‍යෂ්ටිවිශ්වකාලානුක්‍රම විද්‍යාව(nucleocosmochronology) නම් ක්‍රම්ය අපට විශ්ව වස්තූන්ගේ වයස නිර්ණය කිරීමට මග පාදන්නේ ඒවායේ විකිරණශීල මූලද්‍රව්‍යවල ක්ෂයවීම පාදක කරගනිමිනි. මෙය කාබන්-14 කාලනිර්ණයට සමාන ක්‍රමයකි. තාරකා සහ ඛගෝල වස්තූන් සඳහා වඩාත්ම ප්‍රයෝජනවත් මූල ද්‍රව්‍ය වනුයේ දීර්ඝ අර්ධ ජීව කාලයන්(half-lives) ඇති යුරේනියම් හෝ තෝරියම්ය. සියළු ක්‍රම අතුරෙන් මෙය වඩාත්ම නිවැරදි ක්‍රමය ලෙස සැලකේ. න්‍යෂ්ටිවිශ්වකාලානුක්‍රම විද්‍යාව පෘථිවිය, උල්කාෂ්ම මෙන්මා සූර්යයාටම යොදා ගෙන ගණන් බැලීමෙන් සූර්යයාගේ වයස වසර බිලියන 4.57 + මිලියන 200ක් ලෙස සැලකිය හැකිය.
A Question and Answer Guide to Astronomy (2010) නම් ග්‍රන්ථයෙහි How old is the Sun? සහ How old are the stars? යන කොටස් ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න