ඊයේ (2023 අගෝස්තු 30වෙනි බදදා) පෑයූ සඳ නිල් සඳ ලෙස දක්වනු ලබයි; ඇත්තවශයෙන්ම නිල් සඳ යනු කුමක්ද?

නිල් සඳ(තතු ඊයේ පල කළ ලිපිය හා සම්බන්ධයි)

ස්වදේශික ඇමරිකානුවන්ගේ ඇතුළු ලොව පුරා සංස්කෘතීන්, එක් එක් පූර්ණ චන්ද්‍රයන් සඳහා විවිධ නම් ලබා දී ඇති අතර, ඒ සෑම පුන් සඳක්ම පායන්නේ සාමාන්‍යයෙන් එක මාසයක් තුළ එක බැගිනි.

උදාහරණයක් ලෙස ‘Wolf Moon'(වෘක චන්ද්‍රයා)  යනු සාමාන්‍යයෙන් ජනවාරි මාසය තුළ පායන පූර්ණ චන්ද්ර යායි. චන්ද්‍රයාගේ කලා චක්‍රය ආසන්න වශයෙන් මාසයක් පවතින අතර, වසරකට මාස 12ක් පවතින නිසාවෙන්, අපට සාමාන්යයයෙන් සෑම වසරකම පූර්ණ චන්ද්‍රයින් 12ක් දැක ගත හැකිය.

කෙසේ වෙතත්, චන්ද්‍ර කලාවක් සම්පූර්ණ වීමට දින 29.5ක් ගතවේ, වෙන අන්දමකින් කීවොත් සම්පූර්ණ චන්ද්‍ර කලා 12ක් සඳහා ගත වන මුළු දින ගණන 354කි. මෙය ලිත් වර්ෂයක දින 365/366 ට වඩා යම් ප්‍රමානයක් අඩු බව පැහැදිලිය: එබැවින්, දළ වශයෙන් සෑම වසර දෙකහමාරකට වරක් 13 වන පූර්ණ චන්ද්‍රයා දැක ගත හැක. මෙම අතිරේක පූර්ණ චන්ද්‍රයා සාමාන්‍ය නම් කිරීමේ ක්‍රමය අනුව වෙන් කොට දැක්විය නොහැකිනිසා ඒ වෙනුවට ‘නිල් සඳ'(Blue moon) ලෙස හැඳින්වේ.

නිල් සඳ පිළිබඳ සම්ප්‍රදායික අර්ථ දැක්වීම

ඉඳ හිට වසරක පායන පූර්ණ චන්ද්රයින් 13 නා අතුරෙන් ‘නිල් සඳ’ යනුවෙන් දක්වනු ලබන්නේ කුමන සඳක් ද යන්න විවාද සම්පන්නය. සම්ප්රරදායිකව ගත් විට,  පූර්ණ චන්ද්‍රයින් හතරක් අයත් වන තාරකා විද්‍යාත්මක සෘතුවක හෙවත් වාරයක තුන්වන පූර්ණ චන්ද්රයා, නිල් සඳක් ලෙස  නිර්වචනවෙයි.  තාරකා විද්යාත්මක සෘතු ආරම්භ වී අවසන් වන්නේ විෂුව (equinoxes) හා සූර්ය නිවෘත්තින් දී(solatices) බැවින් (උදා:  ශීත සෘතුව සිසිර  සූර්ය නිවෘත්තියෙන් ආරම්භ වී වසන්ත විෂුවයෙන් අවසන් වන බැවින්, වසන්ත සමය වසන්ත විෂුවයෙන් ආරම්භ වී  ගිම්හාන සූර්ය නිවෘත්තියෙන් අවසන් වන බැවින් ද යනා දී වශයෙන්) සම්මත දින දර්ශනය භාවිතා කරන පුද්ගලයන් සඳහා මෙය වඩාත් සංකීර්ණ නිර්වචනය වේ.

[විෂූවය(equinox): අවුරුද්දේ මුළු පෘථිවිය පුරාම දහවලේත් ‍රැයේත් පැය ගණන දල වශයෙන් එක සමානවන දින දෙක. මාර්තු 21දා සහ සැප්තම්බර 23 දා. හිරු ඛගෝල සමකය හරහා යන්නක් මෙන් පෙණෙන්නේ මේ දින දෙකෙහි දී ය. — තාරකා විද්‍යා ශබ්දකෝෂය: ජිනේන්ද්‍රවංශ ද සිල්වා(සරසවි ප්‍රකාශකයෝ2010]

[සූර්ය නිවෘත්තිය(solatice): සූර්යා ඛගෝල සමකයෙන් දුරස්ථව පිහිටන අවස්ථා දෙක. මේ අනුව ගිම්හාන සූර්ය නිවෘත්තිය ජූනි මස 21 දා සිසිර සූර්ය නිවෘත්තිය දෙසැම්බර 22දාත් සිදුවේ]

නිල් සඳ පිළිබඳ දෙවන අර්ථ දැක්වීම

නිල් සඳ පිළිබඳ තවත් නිර්වචනයක් ඇත් අතර සමහර විට එහි සරල බව නිසා බහුලව භාවිතා වන්නේය. ඇත්ත වශයෙන්ම එය ආරම්භ වූයේ වැරදීමකිනි. , එම් ‘වැ‍රැද්ද’ 1940 ගණන්වල සිදු කරන ලද අතර 1980 ගණන්වල සිට ගුවන් විදුලි සංදර්ශන සහ Trivial Pursuit board ක්‍රීඩාව (a board game in which winning is determined by a player’s ability to answer trivia and popular culture questions.) මගින් දිගටම ප්‍රවර්ධනය කෙරින.

මෙම නිර්වචනය මගින් නිල් සඳ විස්තර කරනු ලබන්නේ පුර සඳ දෙකක් සහිත ඕනෑම දින දර්ශනයක දෙවන පූර්ණ චන්ද්‍රයා ලෙසයි. 2018 පෙබරවාරි මාසයේ පූර්ණ චන්ද්‍රයෙකු නොතිබූ බැවින්, ජනවාරි සහ මාර්තු දෙකම පූර්ණ චන්ද්රතයින් දෙකකින් අවසන් විය, එබැවින් මෙම නිර්වචනය අනුව මාස දෙකෙහි දීම අහසේ දිස්වූ පූර්ණ චන්දයින්, නිල් සඳ වල් විය.

කෙසේවෙතත් සිත් යොමුවන කරුණ නම්,  ලෝකයේ විවිධ ප්‍රදේශවලට විවිධ කාල කලාප(time zones) ඇති නමුත් චන්ද්ර්යා පූර්ණවන එක් මොහොතක් පමණක් තිබීම හේතුවෙන් වසරක් තුළ එකම නිල් චන්ද්‍ර සංඛ්යාාවක් හෝ පිහිටීමක් ලෝකයේ සෑම තැනකම අර්ථ දැක්වීම් දෙකටම අනුව අත්විඳ නොතිබුණි.

මෙම ලිපියට සම්බන්ධ තතු ඊයේ පල කළ ලිපිය පහත දැක්වේ

අද රාත්‍රී අහසේ දිස්වන ‘සුපිරි නිල් සඳ’ කෙතරම් දුර්ලභද?

ඇත්ත වශයෙන්ම එය නීල වර්ණ නොවන නමුත්  එය “නිල් සඳ” ලෙස හඳුන්වන්නේ ඇයි? කියවා බලන්න

2020 මාර්තු 9 වන දින වොෂින්ටන්, ඩීසී හි සුපිරි සඳක් උදාවේ. NASA / Joel Kowsky

වසර දෙකකින් සිදු නොවූ දෙයක් එනම් එක මාසයක් ඇතුලත දෙවන පූර්ණ චන්ද්‍රයා දැක බලා ගැනීමේ තරමක දුර්ලභ අවස්ථාව අද රාත්‍රියේ  අහස් කුස නිරීක්ෂකයනය කරන්නන්ට හිමිවෙනු ඇත.

මෙම අගෝස්තු මාසය ආරම්භ  වූයේ දීප්තිමත් පූර්ණ චන්ද්‍රයෙකු සමඟිනි; එය අලංකාර වූවත්,  උල්කා වැසි(meteor showers) නරඹන්නන්ට පුල පුලා සිටිය අයට නම් හිසරදයක් වන්නට ඇත(මන්ද, තරු නිරීක්ෂණයට සුදුසුම වේලාව අහසේ සුපිරි පුන් සඳක් පායා තිබෙන විට නොවන හෙයිනි). කෙසේවෙතත්, අගෝස්තු 30 වැනි බදාදා, එනම අද රාත්‍රියේ  “සුපිරි නිල් සඳ” නම් දුර්ලභ සංසිද්ධියක් හරහා *තවත් පූර්ණ චන්ද්‍රයෙක්’ අහස ආලෝකමත් කරයි.

මෙම විශේෂ සිදුවීම සාමාන්‍ය චන්ද්‍රයා සමබන්ධ ගති ලක්ෂණ දෙකක අහඹු සිදුවීමකි: වෙනදාට වඩා විශාල ලෙස දිස්වන  ‘සුපිරි සඳක්’ අහසේ දිස්වීම සහ නිල් සඳක් ඒ කියන්නේ එක  මාසයකදී පායන දෙවන පූර්ණ චන්ද්‍රයා යන ලක්ෂණ දෙකයි.  නාසා ආයතනය දක්වන අන්දමට, ‘නිල් සඳක්’ සාමාන්‍යයෙන් සෑම වසර දෙකකට හෝ තුනකට වරක් පමණක් ඇති වේ. තවද,  (වෙනදාට වඩා විශාල ලෙස දිස්වන) සුපිරි සඳක්, නිල් සඳක් වීම ඊටත් වඩා දුර්ලභ ය. “සුපිරි නිල් සඳ” ඉඳහිට මාස දෙකක් ඇතුළත දෙවරක් සිදු විය හැකි අතර, වෙනත් අවස්ථාවලදී, සංසිද්ධිය පුනරාවර්තනය වීමට වසර 20 ක් ගත විය හැකිය. සාමාන්‍යය ගතහොත්, එවැනි සිදුවීමක්  දශකයකට වරක් සිදුවන බව නාසා ආයතනය පෙන්වා දෙයි.

තාරකා විද්‍යා ලෝලීන්ට සුපිරි සඳ අත්විඳීමට ලැබෙන්නේ පෘථිවිය වටා ඇති චන්ද්‍රයාගේ කක්ෂය, පරිපූර්ණ වෘත්තයක්(කවයක්) නැතිනම් තනි රවුමක් නොවන බැවිනි. එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රයා අපගේ ග්‍රහලෝකය වටා ගමන් කරන විට අප හා චන්ද්‍රයා අතර ඇති දුර වෙනස් වේ. සෑම වසරකම දළ වශයෙන්, සඳ සමීමපකය(perigee) ලෙස හඳින්වෙන සඳ පෘථිවියට ආසන්නතම ස්ථානයේ පවතින අවස්ථාවේ තුන් හතර වතාවක් පූර්ණ චන්ද්‍රයා අපට දැක බලා ගැනීමට පුළුවන. මෙකී සුපිරි සඳවල් සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයාට වඩා සියයට 7ක් විශාල වන අතර භූ දුරකය(Apogee) ලෙස හඳුන්වනු ලබන, පෘථිවියට බොහෝ දුරින් පිහිටි අවස්ථාවේ චන්ද්‍රයාට වඩා සියයට 14ක් විශාලයි.

සාමාන්‍ය පූර්ණ චන්ද්‍රයකුට වඩා සියයට 7ක් පමණ විශාල ලෙස සුපිරි සඳක් දිස්වේ. NASA / JPL-Caltech staccato

අද පායන  “සුපිරි නිල් සඳ” විශාල ලෙස දිස්වනු ඇත, එය අසාමාන්ය වර්ණයකින් බැබළෙනු ඇතැයි දැකීමට ඔබ අපේක්ෂා කරනවා නම් කනගා‍ටුවෙන් වුවත් කිවයුත්තේ ඔබේ බලාපොරොත්තු සුන් වනු ඇති බවයි. “නිල් සඳක්” ලෙස දැක් වුව ද චන්ද්‍ර පෘෂ්ඨය එහි පැහැය වෙනස් නොකරනු ඇත – නමුත් නරඹන්නන්ට තවමත් එහි දුර්ලභත්වය අගය කළ හැකිය. අවසාන නිල් සඳ 2021 අගෝස්තු මාසයේදී පෑයූ අතර, අද පායන නිල් සඳට පසුව නිල් සඳක්  2026 මැයි දක්වා නැවත පායා නො එනු ඇත.

සෑම දින 29.53කට වරක්   දීප්තිමත් පූර්ණ චන්ද්‍රයෙකුගේ සිට අඳුරු නව සඳකට සංක්‍රමණය වීම සහ නැවත පූර්ණ චන්ද්‍රයා වෙත ආපසු යාම දක්වා චන්ද්‍ර කලා(phases of the moon) පූර්ණ චක්‍රයක් පසු කරයි. දින 29.53ක් යනු අපගේ දින දර්ශනයේ මාසවල දිගට සාපේක්ෂව ආසන්න බැවින්, බොහෝ මාසවලට ඇත්තේ එක් පූර්ණ චන්ද්‍රයෙකු පමණි. එහෙත් අපගේ දින දර්ශනය පදනම් වී ඇත්තේ චන්ද්‍රයාගේ කලා චක්‍රය නොව සූර්යයා වටා පෘථිවි චලිතය මත බැවින්, කාල පරිච්ඡේද හරියටම නොගැලපේ. එහි ප්රතිඵලයක් වශයෙන්, පූර්න චන්ද්‍රයන්  දෙකක් සමහර විට එක් මාසයකට ‘ඔබා’ ඇත. (පෙබරවාරි මාසයට ඇත්තේ දින 28ක් හෝ 29ක් පමණ නිසා ඒ මාසයේ  කිසිදා නිල් සඳක් දැකිය නොහැක.)

ඔබ සති දෙකකට වරක් පඩිපතක් ලබන්නේ යයි සිතන්න. දින 14 ක වැටුප් කාල සීමාවන් දෙකක් (එකතුව දින 28ක්) දින දර්ශනයේ මාසවල දිග සමග හරියටම නොගැලපෙන බැවින්, ඔබට ඉඳහිට මාසයක් ඇතුළත වැටුප් චෙක්පත් තුනක් ලැබෙනු ඇත.  හරය වශයෙන් ගත් කල අද රාත්‍රී සිදු වන්නේ ද එය නමුත් ඒ කොස්මික් පරිමාණයෙනි.

ඉතින්, නීල චන්ද්‍ර හෙවත් සඳ ඇත්ත වශයෙන්ම නිල් වර්න නොවන්නේ නම්, ඊට දී ඇති වර්ණවත් නම පිටුපස ඇති කතාව කුමක්ද? මෙම ‘නිල් සඳ’ යන පදයේ සම්භවය පැරණි ජනප්‍රවාදයේ කොටසක් ලෙස නිතර හුවා දක්වනු ලැබුවද, එය ඇත්ත වශයෙන්ම එසේ නොවේ යයි කැනඩාවේ අනුස්මරණ විශ්ව විද්‍යාලයේ(Memorial University in Canada) ජනප්‍රවාද පිළිබඳ මහාචාර්යවරයෙක් වන Philip Hiscock 2012 දී Sky & Telescope සඟරාවෙහි සඳහන් කර තිබුණි.  ඒ වෙනුවට, නිල් සඳ යන යෙදුමේ කතාව “පැරණි දෙයක් ලෙස වෙස්ගන්වනු ලැබූ, එහෙත් සැබවින් නම් නවීන ජනප්‍රවාද හෑල්ලකි, ” යනුවෙන් Hiscock  ලිවීය.

Smithsonian magazine Science (updated 28th august, 2023) හී පළ වූ How Rare Is the ‘Super Blue Moon’ Appearing in Skies Later This Week? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending