කෘතිම බුද්ධිය(AI) පුද්ගලයෙකුගේ විශ්ලේෂණ කුසලතා වැඩි දියුණු කරයිද නැතහොත් අඩපණ කරයිද? Getty Images Plus හරහා Yevhen Lahunov/iStock

පන්ති කාමර තුළ AI වලට අවසර දිය යුතුද? විද්වත්තු 4 ක් අදහස් දක්වති

විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල අතර පවතින වඩාත් තියුණු සාකච්ඡාවක් වන්නේ පන්ති කාමරය තුළ  කෘතිම බුද්ධිය භාවිතා කිරීමට සිසුන්ට අවසර දිය යුතුද යන්නයි. මෙම කාරණය පිළිබඳ ඉදිරිදර්ශනයක් ලබා ගැනීම සඳහා, AI ඉගෙනීමේ මෙවලමක් ලෙස යොදා ගැනීම සහ ඔවුන් එය ඔවුන්ගේ පන්තිවල කොටසක් බවට පත් කිරීමට හෝ නොකිරීමට හේතු දැක්වීම සඳහා The Conversation විද්වතුන් හතර දෙනෙකුගේ අදහස් විමසීය.

Nicholas Tampio, Fordham විශව විද්යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය: ‘සිතන්නට ඔබම ඉගෙන ගන්න’

මහාචාර්යවරයෙකු ලෙස, මම විශ්වාස කරන්නේ,  විශ්ව විද්‍යාල පන්තියක අරමුණ  සිසුන්ට සිතීමට උගැන්වීම බවයි: එනම්, දැනුම ලබාගැනීම සඳහා කියවීමට, ප්‍රශ්න ඇසීමට, නිබන්ධනයක් සැකසීමට, දත්ත රැස්කර විශ්ලේෂණය කිරීමට, රචනයක් කෙටුම්පත් කිරීමට, උපදේශකවරයාගෙන් සහ අනෙකුත් සිසුන්ගෙන් ප්‍රතිපෝෂණ ලබා ගැනීමට සහ අවසාන කෙටුම්පතක් ලිවීමට හැකිවීමයි.

ChatGPT සම්බන්ධයෙන් ඇති එක් ගැටළුවක් වන්නේ, එය සිසුන්ට තමන්ම සිතන්නේ නැතුව හෝ තමන්ම ලියන්නේ නැතුව  හොඳ නිබන්ධන යක් ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි.

ඇමරිකානු දේශපාලන චින්තන පිළිබඳ මාගේ පන්තියේදී, මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) සහ මැල්කම් X විසින් පවත්වන ලද දේශන විමසා බලා, වත්මන් ඇමරිකානු දේශපාලන විවාද ගැන කිං සහ එක්ස් පැවසිය හැකි දේ ගැන රචනයක් සම්පාදනය කරන ලෙස මම සිසුන්ගෙන් ඉල්ලා සිටිමි.

සිසුන්ට ඔවුන්ගේ නිබන්ධන “ලියන්න” ChatGPT භාවිතා කළහොත් හොඳ ලකුණු ලබා ගත හැකිය. එහෙත්  ඇමරිකාවේ උසස් අධ්‍යාපනය සහ ඇමරිකානු සමාජය යළි හැඩගස්වාගත හැකි මාතෘකාවක් පිළිබඳව තුයුණු චින්තකයින් දෙදෙනෙකු සමඟ ‘සංවාදයකට’ පිවිසීමේ අවස්ථාවක් ඔවුන්ට මග හැරී යනු ඇත.

ලිවීමට ඉගෙනීමේ පර්මාර්ථය, හුදෙක් තම බුද්ධිමය වර්ධනයම නොවේ. මාගේ සිසුහු, පුවත්පත් කලාව, නීතිය, විද්‍යාව, ශාස්ත්‍රීය සහ ව්‍යාපාර යන වෘත්තීන් වෙත යොමු වෙති. ඔවුන්ගේ සේවා යෝජකයන් බොහෝ විට ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ මාතෘකාවක් ගැන පර්යේෂණ කිරීමට සහ ලිවීමට ය.

දෝෂ සහ පක්ෂග්‍රාහී දත්ත සමුදායන් පරිහරණය කරන ඇල්ගොරිතමයක් මත යැපෙමින් විශාල භාෂා ආකෘති භාවිතා කරන්නාවූ සේවකයෙකු බඳවා ගැනීමට උත්සුකවන සේවා යෝජකයින් අල්පය.  යම් මාතෘකාවක් පිළිබඳව පර්යේෂණ කර ඒ ගැන බුද්ධිමත්ව ලිවීමට හැකි වූ විට සේවකයෝ සාර්ථකත්වයට පත්වෙති.

කෘත්‍රිම බුද්ධිය යනු විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අරමුණක්වන  – තමන් වෙනුවෙන් තමන්ම සිතන්නට සහ ලිවීමට ඉගෙන ගැනීමේ  අරමුණ පරාජය කරන මෙවලමකි.

Patricia A. Young, Baltimore ප්‍රාන්තයේ, Maryland  විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය: ‘ChatGPT උසස් චින්තනය ප්රවර්ධනය නොකරයි

පහසුව තකන හෝ අයිතිවාසිකම් පතන ඒ කියන්නේ, ‘මට ලබා ගත හැකි කුමණ හෝ තාක්ෂණයක් වේවා භාවිත කිරීමට මට අයිතියක් ඇත’  –  යන  චින්තනයෙන් පසුවන  උසස් අධ්‍යානය ලබන  සිසුහු, සිය මහචාර්යවරයාගේ අනුමැතිය ඇතිව හෝ නැතිව නිතැතින්ම  ChatGPT භාවිතයට යොමුවෙති.

සිසුන් විසින් මූලාශ්‍රය ලෙස  ChatGPT  දක්වනු ලබන තාක් සමහර මහාචාර්යවරු ChatGPT භාවිතයට ඉඩ දෙති.  අධ්‍යාපනයේ දී තාක්‍ෂණික භාවිතය පිළිබඳ විශේෂඥ පර්යේෂකයෙකු ලෙස ලෙස මා විශ්වාස කරන්නේ මෙම පරිචය ගැන නැවත් සිතා බැලිය යුතු බවයි. මෙයින් අදහස් කරන්නේ ChatGPT එහි මූලාශ්‍ර උපුටා දැක්වීමට අත්‍යවශ්‍ය බවද? එවිට සිසුන්ට, උපුටන දැක්වීමේ සම්මත ශාස්ත්‍රීය විලාසයක් පරිදි ChatGPT ද්විතියික මූලාශ්‍ර වර්ගයක් ලෙස උපුටා දැක්විය හැකි බව ද?  ChatGPT භාව්ත කරන සමහර පරිශීලකයින් වාර්තා කරන්නේ ChatGPT, කිසි විටෙකත් එහි මූලාශ්‍ර හෙළි නොකරන බවයි.

නොමිලේ AI ප්‍රචලිත වීම යන්නෙන් අදහස් වන්නේ සිසුන්ට ලිවීමේදී බොහෝ දේ ගැන සිතන්නට අවශ්‍ය නොවන බවයි – කල යුත්තේ හුදෙක බහුලව පිටපත් කර ඇලවීම පමණකි. “අපි ඉස්සර ඕකට කිව්වේ රචනා චෞරය(plagiarism) කියලයි. AI සහාය ඇති රචනා චෞරය, ශාස්ත්‍රීය විෂමාචාරයේ නව යුගයක් ඇතිකිරීම සඳහා ඉඩ කඩක් සලසයි.

සිසුන් ඉහළ මට්ටමක පාඨමාලා හදාරන විට හෝ රැකියාවක් ලබා ගත්තත් සුවිශේෂී මට්ටමකින් ‍රැකියාව කර ගෙන යාම සඳහා අව්ශය ලේඛන කුසලතා නොමැති විට කනස්සල්ලට පත් වනු ඇත.  විචාරයට ලක් කිරීම, සංසන්දනය කිරීම හෝ විලක්ෂණය කිරීම වැනි – දියුණු චින්තනයක නියැලීමේ හැකියාවක් නොමැති වැඩකට යොදා ගත හැකි සාක්ෂරතාවයෙන් තොර වැඩිහිටි පරම්පරාවක් අප විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

ඔව්, සිසුන්ට බුහුටි මෙවලම් භාවිතා කළ හැකි විය යුතු මෙන්ම භාවිත කළ යුතු ද වන්නේය, එසේ වුවත් අපි මානව දක්ෂතාවයට සහ මානව වර්ගයාගේ අනාගතය සඳහා වන කැපකිරීම් උපකල්පනය කරමින් කිරා මැනිය යුතුය.

Asim Ali : Richmond  විශ්වවිද්‍යාලයේ,තොරතුරු පද්ධති කළමනාකරණය පිළිබඳ උපදේශක: ‘AI කියන්නේ තවත් ගුරුවරයෙකි’

මම තොරතුරු පද්ධති කළමනාකරණය උගන්වමි,  2023 වසන්තයේ දී මම සිසුන්ට රචනා පැවරුමක් සඳහා ඡට්ඝ්ඵ්ඨ් භාවිතා කර පසුව AI ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට බලපාන ආකාරය සාකච්ඡා කරන වීඩියෝ පොඩ්කාස්ට් එකක් පටිගත කරන්නැයි උපදෙ දුන්නෙමි. මෙම අධ්‍යයන වාරයේ දී,  එක් එක් පැවරුම සඳහා AI මෙවලම්වල ශක්‍යතා සහ සීමාවන් පිළිබඳ මග පෙන්වීම ලබා දීමෙන් මම වඩාත් චේතනාන්විතව ක්‍රියා කරමින් සිටින්නෙමි. උදාහරණයක් ලෙස, ස්වයං-ප්‍රත්‍යවේක්ෂණ(self-reflection) පැවරුමක උත්පාදක AI භාවිතා කිරීම උදව් නොවන බව සිසුන් ඉගෙන ගන්නා අතර  එනමුත් සිද්ධි අධ්‍යයනයක් විශ්ලේෂණය කිරීමට AI භාවිතා කිරීම ඔවුන් විසින් නොසලකා හරිනු ලැබ ඇති ප්‍රතිවේධය සොයා ගැනීමට විශිෂ්ට ක්‍රමයක් විය හැකිය. මෙය ඔවුන්ගේ කාර්ය ප්‍රතිදානයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා AI මෙවලම් භාවිතා කිරීමට සිදු විය හැකි ඔවුන්ගේ අනාගත රැකියා කාර්යයන්අනුකරණය කරයි.

මගේම පාඨමාලාවක් සඳහා AI අනුවර්තනය කරගැනීමේ මගේ අත්දැකීම, මගේ සියලු සගයන් සඳහා ද ප්‍රයෝජනවත් සම්පතක් නිර්මාණය කිරීමට මා තුළ පෙලඹීමක් ඇති කළේය. උගැන්වීම සහ ඉගෙනීම වැඩිදියුණු කිරීම සඳහා වූ Biggio මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ ලෙස, මම Auburn විශ්ව විද්‍යාලයේ උපදේශන සැලසුම් සහ අධ්‍යාපන සංවර්ධන කණ්ඩායම් අධීක්ෂණය කරමි. අපි ‘AI සමඟ ඉගැන්වීම'(Teaching With AI) යනුවෙන් නම් කෙරුණු ස්වයං-වේගවත්, මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කළෙමු.

දැන් Auburn හි පීඨවල 600කට අධික සංඛ්‍යාවක් සහ වෙනත් බාහිර ආයතන 35කට ආසන්න ප්‍රමාණයක පීඨවල සිය ගණනක් සාකච්ඡා මණ්ඩල සහ ප්‍රායෝගික අභ්‍යාස හරහා අන්තර්ගතය සහ එකිනෙකා සමඟ සම්බන්ධ වී ගනුදෙනු කරති.

තම පැවරුම් වෙනස් කරන ආකාරය හෝ සිය සිසුන් සමඟ AI ගැන සාකච්ඡා කරන ආකාරය බෙදා හදා ගන්නා ආකාර ගැන පීඨවලින් පණිවිඩ මට ලැබේ. ඇතැම්මු AI මිනිසුන්ට තර්ජනයක් ලෙස සලකති; නමුත් AI පිළිබඳව මගේ සිසුන් සහ රට පුරා සිටින සගයන් සමඟ සාකච්ඡා කිරීම ඇත්ත වශයෙන්ම මට මානව සම්බන්ධතා වර්ධනය කර ගැනීමට උපකාරී වී ඇත.

Shital Thekdi, Richmond විශ්වද්‍යාලයේ විශ්ලේෂණ සහ මෙහෙයුම් සහකාර මහාචාර්ය: ‘AI ට කළ නොහැකි (එහෙත්), ඔබට කළ හැක්කේ කුමක්ද?’

මෙම අධ්‍යයන වාරයේදී, මම ‘ව්‍යාපාර සහ ආර්ථික විද්‍යාව සඳහා සංඛ්‍යාලේඛන’ නම්  මගේ  පාඨමාලාවේ සිසුන්ගෙන් “AI මෙවලම්වලින් ඔබ්බට ඔබේ වටිනාකක් ඇත්නම් ඒ කුමක්ද?” යන ප්‍රශ්නය සාකච්ඡා කරමුයි  ඉල්ලා සිටින්නෙමි. මට අවශ්‍ය ඔවුන් ශාස්ත්‍රීය ගත් ලක්ෂනවලින් ඔබ්බට ගොස් අභියොගය ක් ලෙස භාර ගෙන සිය සංවාදය යළි  සකස් කරණු දැකීමයි. (අනාගතයේ තමන් වෙනුවෙන්) පවතිනු ඇතැයි සිතන රැකියා, මෙම නව තාකෂණ මගින් ඉවත් කළ හැකි බව සිසුන් විසින් හඳුනාගනු ලැබිය යුතු යැයි මම විශ්වාස කරමි. එබැවින් මෙම මෙම මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න පමණක් නොව ඒවාට (මෙම)මෙවලම්වලට වඩා තමන් දක්ෂ  වන්නේ කෙසේද යන්න තේරුම් ගනු වස් සිසුන්ට පීඩනයක් ඇත.

මගේ සිසුන් සදාචාරාත්මක තර්කනය සහ මානව සම්බන්ධතා වල කාර්යභාරය සලකා බලනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.  අගය මත පදනම් වූ තීරණ ගැනීමට AI තාක්ෂණය පුහුණු කළ හැකි අතර, පුද්ගලයන් සහ කණ්ඩායම් සතුව ඔවුන්ගේම අගයන් තිබිය හැකි අතර එය AI විසින් භාවිතා කරන ඒවාට වඩා සැලකිය යුතු ලෙස ඒවා වෙනස් විය හැකිය. තවද AI මෙවලම්වලට මානව සම්බන්ධතා සහ අත්දැකීම් සැකසීමේ හැකියාවක් නොමැත.

AI මෙවලම් වර්ධනය වන විට සිසුන්, ව්‍යාපාර අංශවලට සහ සමාජයට අත්‍යවශ්‍ය දායකයින් බවට පත්වනු  ඇත. ශීඝ්‍රයෙන් විකාශනය වන සංස්කෘතික හා තාක්‍ෂණික වටපිටාවක් සඳහා අපගේ සිසුන් සූදානම් කිරීම අධ්‍යාපනඥයින් වශයෙන් අපගේ වගකීම බව මම විශ්වාස කරමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending