දේශගුණය ගැන පැහැදිලි නිර්වචනයක්
දේශගුණය සහ කාලගුණය අතර වෙනස
අපි මුලින්ම දේශගුණය සහ කාලගුණය අතර වෙනස හඳුනාගමු
කාලගුණය සහ දේශගුණය අතර වෙනස අවුල් සහගත විය හැකිය. අපි කාලගුණය ගැන සිතන විට, අපට අපගේ මනසෙහි ස්වයංක්‍රීයව සිතුවම් ව්න්නේ වැසි දිනක් හෝ තද සුළං වැනි විශේෂිත සිදුවීම්ය. දේශගුණය විස්තර කරන විට, අපි විස්තර කරන්නේ විශේෂිත සිදුවීමක් නොවේ; අපි කාලාන්තරයක් තිස්සේ කාලගුණයේ හැසිරීම් වල ප්රවණතා හෝ රටා විස්තර කරන්නෙමු. උදාහරණයක් ලෙස, මම ජීවත් වන එක්සත් රාජධානියේ දේශගුණය සාමාන්‍යයෙන් මෘදු එසේනමුත් බොහෝ විට තෙත් සහ සුළං සහිත දේශගුණයක් ලෙස විස්තර කරමි. ගිම්හානය උණුසුම් වන අතර ශීත කාලය සීතල වෙනුවට සාමාන්යයෙන් සිසිල් වේ.
දේශගුණය විස්තර කරන විට, අප කරන්නේ වසර ගණනාවක් පුරා කාලගුණයේ සාමාන්ය හෝ ස්ථාපිත හැසිරීම විස්තර කිරීමයි. ඇත්ත වශයෙන්ම, සමහර විට කාලගුණය මෙම ප්‍රවණතාවයට බාධා කරන අතර, අපට ගිම්හානයේදී තාප තරංගයක් හෝ ශීත ඍතුවේ දී අධික හිම අත්විඳිය හැකිය. කෙසේ වෙතත්, මෙම තත්වයන් සති කිහිපයකට වඩා වැඩි කාලයක් පවතිනු ඇතැයි සිතිය නොහැක.
එක්සත් රාජධානියේ දේශගුණය ආශ්‍රයෙන්, අපි දේශගුණය ගැන තව විමසා බලමු.
එක්සත් රාජධානියේ දේශගුණය
සාමාන්‍යයෙන්, බ්‍රිතාන්‍යය සිසිල්, තෙත් ශීත සහ උණුසුම්, තෙත් ග්‍රීෂ්ම සෘතු අත්විඳින අතර අතිශයින් උෂ්ණ හෝ සීතල, නියඟ හෝ සුළඟ අත්විඳින්නේ කලාතුරකිනි. එක්සත් රාජධානියේ කාලගුණික තත්ත්වයන් ද බෙහෙවින් වෙනස් වන සුළුය. උදාහරණයක් ලෙස, මම මෙය ලියන්නේ ඔක්තෝම්බර් මාසයේදී වන අතර ඉදිරි දින තුන සඳහා BBCය පුරෝකථනය කරන්නේ අද හිරු දිනක්, හෙට තද වලාකුළු සහ මඳ වැසි සහ පසුදා ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
සාමාන්‍යයෙන් එක්සත් රාජධානිය පුරා දේශගුණය සමාන වුවත්, විවිධ ප්‍රදේශවල කාලගුණික රටා වල වෙනස්කම් තිබේ. උදාහරණයක් ලෙස, නිරිතදිග ඉතා තෙත් ශීත හා උණුසුම් හා තෙත් ගිම්හාන සසඳන විට, ගිනිකොන දෙසින් සීතල ශීත සහ උණුසුම් සහ වියළි ගිම්හාන ඇත. වයඹට මෘදු ශීත, සිසිල් ගිම්හාන සහ අධික වර්ෂාව වසර පුරා පවතින අතර, ඊසානදිගට වසර පුරා සීතල ශීත, සිසිල් ගිම්හාන සහ ස්ථාවර වර්ෂාව පවතී.
දේශගුණික කලාප
ලෝකයේ විවිධ ප්‍රදේශවල දේශගුණය වෙනස් වේ. සාමාන්‍යයෙන් අපි සමකයට වඩා ඈතට යන තරමට දේශගුණය වඩාත් සිසිල් වෙයි. මෙයට හේතුව සූර්යයා ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට වඩා සමක ප්‍රදේශ මත සෘජුවම වැටෙන බැවිනි. ධ්‍රැවීය ප්‍රදේශ ග්‍රහලෝකයේ ශීතලම උෂ්ණත්වය අත්දකියි. උතුරු ධ්‍රැව කලාපය බොහෝ දුරට ගොඩබිම් වලින් වට වූ මිදුණු සාගරයකි. ගිම්හානයේදී උෂ්ණත්වය 0 ° ඡ් සිට 20 ° ඡ් දක්වා පරාසයක පවතින අතර ශීත ඍතුවේ දී -60 ° ඡ් ට අඩු උෂ්ණත්වයක් සහිත තද ශීත සීතල වේ. දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශය යනු කිලෝමීටර් 3 කට වඩා වැඩි අයිස් තට්ටුවක් යට වැළලී ඇති කඳු සහ උස් සානුවලින් යුත් විශාල මහාද්වීපයකි. එහි දේශගුණය උතුරට වඩා සීතල වන අතර උෂ්ණත්වය බොහෝ විට -80 ° ඡ් දක්වා පහත වැටේ. කලාපයේ අභ්‍යන්තරය වියළි, ශීත කළ කාන්තාරයක් වන අතර ශාක ජීවීන් ප්‍රධාන වශයෙන් වෙරළබඩ ප්‍රදේශවල දක්නට ලැබේ. අභ්‍යන්තරයේ ඉතිරිව ඇති සත්ව ජීවයක් නොමැති තරම්ය.

අප ධ්‍රැවීය ප්‍රදේශවලින් ඉවත් වී සමකය දෙසට ගමන් කරන විට, දේශගුණය සාමාන්‍යයෙන් උණුසුම් වේ. සමක දේශගුණය ලෝකයේ වැසි වනාන්තරවල නිවහන වන අතර, වර්ෂාපතනය සහ ආර්ද්‍රතාවය ඉහළ ය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-35 අතර වෙනස් වේ, උණුසුම්ම මාස සිසිල් මාස , අංශක දෙක තුනකින් පමණක් වෙනස් වේ. සමකයට ආසන්න බැවින් දිවා රාත්‍රියේ දිග අවුරුද්ද පුරා එහෙමට වෙනස් නොවේ. සමක දේශගුණික ප්‍රදේශවල ජීවත් වන මිනිස්සු ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල අත්විඳින සෘතු හතරට වඩා තෙත් සහ වියළි කාලවලට අනුව ඔවුන්ගේ කාලගුණය විස්තර කිරීමට නැඹුරු වෙති.
සමක වැසි වනාන්තර, ඒවායේම දේශගුණයක් නිර්මාණය කරයි
ශාක, ඒවා ජීවත් වන දේශගුණයට ගැලපෙන පරිදි පරිණාමය වී ඇත. නිදසුනක් ලෙස, ශුෂ්ක ප්‍රදේශ වල ශාක ඒවායේ මාංසල පත්‍රවල තෙතමනය ගබඩා කරයි හෝ සීමිත වර්ෂාපතනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා පුළුල් මූල පද්ධති වර්ධනය කර ගනී. අනෙක් අතට, උණුසුම්, තෙත් සමක වැසි වනාන්තරවල වර්ධනය වන ශාක, කුණුවීම වැළැක්වීම සඳහා බහුලව වැටෙන වර්ෂාපතනය බිමට ගලා යාමට ඉඩ සලසන පත්‍ර තුඩු සහ (ජලය නො අල්ලන ආකාරයේ) ඉටි බඳු මතුපිට සහිත ඝන පත්‍ර වර්ධනය කර ගනියි. වැසි වනාන්තරයක පවතින බොහෝ පෝෂ්‍ය පදාර්ථ පසේ ඉහළ ස්ථරයේ ඇති බැවින් ගස්වල මුල් බොහෝ විට පවතින්නේ මතුපිටට සාපේක්ෂව සමීපවය. පළල් කයිරූ මුල්(wide buttress) ගස්වලට ආධාරක වන අතර පෝෂ්‍ය පදාර්ථ ද ලබා ගනී..

රූප සටහන 4.1 කයිරූ මුල් සහිත වැසි වනාන්තර ගස
දේශගුණයට අනුවර්තනය වී ඇති ශාක ප්‍රභාසංශ්ලේෂණයේදී ජල වාෂ්ප පිටවීම නිසා දේශගුණයට බලපෑම් කිරීමේ හැකියාවද ඇත. නිදසුනක් වශයෙන්, වැසි වනාන්තර විශාල ජල වාෂ්ප වාතයට මුදා හරින අතර එය වලාකුළු සෑදීමට මග පෑ දිය හැක. මෙම වලාකුළුවලට පෘථිවි පෘෂ්ඨයට ළඟා විය හැකි හිරු එළිය අඩු කිරීමට මෙන්ම වර්ෂාපතනය වැඩි කිරීමට හැකියාව ඇත. වැසි වනාන්තර දේශගුණයට විශාල බලපෑමක් ඇති කළ හැකිය. සමක සහ සෞම්‍ය කලාපවල වනාන්තර සිසිලන බලපෑමක් ඇති කරන අතර ඉහළ උතුරු අක්ෂාංශ වල ඇති උත්තර වනාන්තර (boreal forests) ඒවායේදේශගුණය උණුසුම් කරයි.
Eden Project වෙබ් අඩවිය මගින් පෘථිවි දේශගුණය නියාමනය කිරීමට වැසි වනාන්තර උපකාර වන ආකාරය පිළිබඳ පහත සාරාංශය සපයයි:
• වායු චලනයන්: වැසි වනාන්තර උණුසුම්, තෙත් වාතය ඉහළ යාම වැඩි දියුණු කරයි. මෙය ලොව පුරා වාතය සංසරණය කරන සුළං බලගන්වයි.
• සූර්ය පරාවර්තක: සූර්යාලෝකය පරාවර්තනය කරන වැසි වනාන්තරවලට ඉහළින් දැවැන්ත සුදු වලාකුළු සෑදේ.
• වැසි සාදන්නන්: වැසි වනාන්තර වැසි ඇති කරයි; එමෙන්ම වර්ෂාව වැසි වනාන්තර ඇති කරයි.
• ජල දාඩිය හෙළන්නන්: පත්‍රවලින් වලින් ජලය වාෂ්ප වී (විවර්තනය වේ). මෙය, (දාඩිය දානවා මෙන්) සිසිලන බලපෑමක් ඇතිකරයි.
.
• කාබන් හසුකරගන්නන්: වනාන්තර වර්ධනය වන විට වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබා ගනී.
• ගංවතුර ආරක්ෂකයින්: වැසි වනාන්තර මුල් සහ පස ස්පොන්ජියක් මෙන් ජලය රඳවා තබා ගනී.
සෞම්‍ය දේශගුණය
රූප සටහන දේශගුණික කලාප
එක්සත් රාජධානිය සෞම්‍ය දේශගුණයක් අත්විඳියි. නිවර්තන සහ ධ්‍රැව ප්‍රදේශ අතර මධ්‍යම අක්ෂාංශ වල සෞම්‍ය දේශගුණය ඇතිවේ. සෞම්‍ය කලාපවල ලක්ෂණයක්වන්නේ, සාපෙක්ෂව මඳ උෂ්නත්ව පැවතීමයි: ගිම්හානයේදී 10 ° C වැඩි සහ ශීත ඍතුවේ දී -3 ° C ට වැඩි උෂ්ණත්ව සාමාන්‍යාන් අත්විඳියි. සෞම්‍ය ප්‍රදේශ, ජීවත් වීම සඳහා වඩාත් ජනප්‍රිය බවක් උසුලයි, මන්ද වෙනත් සමහර දේශගුණික කලාපවල මෙන් සෞම්‍ය ප්‍රදේශ උෂ්ණත්ව අන්තයන් අත්විඳින්නේ නැත. විවිධ භෝග වර්ග විශාල ප්‍රමාණයක් වගා කිරීමේ හැකියාව මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාවට ප්‍රධාන වාසියකි. ස්වාභාවික වෘක්ෂලතාදියට, පතනශීලී සහ කේතුධර වනාන්තර යන දෙකම ඇතුළත් වේ.
ඍතු
සෞම්‍ය දේශගුණික ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයෝ, පැහැදිලිව වෙනස් ඍතු හතරක් අත්විඳිති. කාලගුණයේ මෙම සෘතුමය වෙනස්කම්වලට හේතුවන්නේ, සූර්යයාට සාපේක්ෂව පෘථිවි අක්ෂයේ ඇලවීම නිසා උතුරු හා දකුණු අර්ධගෝලයට ලැබෙන සූර්යාලෝකයේ තීව්රතාවය වසර පුරා වෙනස් වීමයි.
පෘථිවිය සූර්යයා වටා ගමන් කරන විට, පෘථිවියේ සූර්යයා දෙසට නැඹුරු වන කොටසට වැඩිපුරම හිරු එළිය ලැබේ. උතුරු අර්ධගෝලය සූර්යයා දෙසට නැඹුරු වූ විට, සූර්ය කිරණ සෘජුවම පෘථිවියේ මෙම කොටස මතට පතිතවන අතර, දිගු දින සහ උණුසුම් ගිම්හාන කාලගුණය නිර්මාණය කරයි. ඊට ප්‍රතිවිරුද්ධව, දකුණු ප්‍රදේශ සූර්යයාගෙන් ඉවතට නැඹුරු වී ඇති නිසා අඩු දිවා ආලෝකයක් සහ ශීත කාලගුණයක් අත්විඳියි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන විට, උතුරු අර්ධගෝලය සූර්යයාගෙන් ඉවතට නැඹුරු වන විට, තත්වය වෙනස් වන අතර ශීත තත්වයන් නිර්මාණය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස, දකුණු අර්ධගෝලයේ ප්‍රදේශ සූර්යයා දෙසට කෝණයක් ඇති බැවින් ගිම්හාන උෂ්ණත්වය අත්විඳියි. පෘථිවියේ ආනතියේ දිශාව සෑම විටම එලෙසම පවතින නිසා, දකුණු අර්ධගෝලය, සැමවිටම උතුරට ප්‍රතිවිරුද්ධ සෘතු අත්විඳියි.

පෘථිවි අක්ෂයේ ඇලවීම
ඍතුවල වෙනස්කම් ධ්‍රැවීය ප්‍රදේශ වල වඩාත් වෙනස් වන අතර, ඒවායේ වසරේ මාස හයක් පමණක් හිරු එළිය අත්විඳිති. අනෙක් අතට, මිනිසුන් ලැබෙන වර්ෂාපතන ප්‍රමාණයෙන් විවිධ ඍතු හඳුනා ගන්නා සමකය අවට ප්‍රදේශ මත පතිත වන ආලෝකයේ තීව්‍රතාවයට පෘථිවියේ ඇලවීම සැලකිය යුතු ලෙස බලපාන්නේ නැත.
තාරකා විද්‍යාත්මක සහ කාලගුණ විද්‍යාත්මක සෘතු
වර්ෂය සෘතුවලට බෙදීම, වෙනස්වන කාලගුණය අවබෝධ කර ගැනීමට සහ ඒ සඳහා සූදානම් වීමට අපට උපකාර කරයි. සෘතු දැන ගැනීම ගොවීන්ට සහ ගෙවතු වගාකරුවන්ට බෝග වගා කිරීම සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. ‘season’(සෘතුව) යන ඉන්ග්‍රීසි වචනයේ ප්‍රභවය ‘sowing’(වැපිරීම) යන අර්ථය ඇති ‘sationem’ යන ලතින් වචනයෙනි.
සෘතු ආරම්භයේ දිනයන් ඔබ යොමුවන්නේ තාරකා විද්‍යාත්මක හෝ කාලගුණ විද්‍යා පද්ධතියට ද යන්න මත රඳා පවතී. තාරකා විද්‍යාත්මක සෘතු යනු කලින් සාකච්ඡා කළ පරිදි සූර්යයාට සාපේක්ෂව පෘථිවි කක්ෂයේ පිහිටීමයි. උදාහරණයක් ලෙස, තාරකා විද්‍යාත්මක වසන්තය මාර්තු 20 වැනි දින හෝ ඊට ආසන්න දිනක ආරම්භ වන අතර ජුනි 21 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී අවසන් වේ. සූර්යයා වටා පෘථිවියේ ඉලිප්සාකාර කක්ෂය හේතුවෙන්, ඍතු සියල්ලම එකම දිග නොවේ.
කාලගුණ විද්‍යා සෘතු පදනම් වන්නේ පෘථිවි කක්ෂය මත පමණක් නොව, වසර පුරා සාමාන්‍ය උෂ්ණත්වය වෙනස් වන ආකාරය ද සැලකිල්ලට ගනී. කාලගුණ විද්‍යා පද්ධතිය මඟින් වර්ෂය මාස තුනකට බෙදා ඇති අතර, සෑම කන්නයක්ම පළමු මාසයේ ආරම්භයේදී ආරම්භ වේ. උදාහරණයක් ලෙස, කාලගුණ විද්‍යා දින දර්ශනයට අනුව, වසන්තය සෑම විටම මාර්තු 1 වැනිදා ආරම්භ වී මැයි 31 වැනිදා අවසන් වේ. ඍතු ලෙස අර්ථ දක්වා ඇත
වසන්තය (මාර්තු, අප්රේල්, මැයි), ගිම්හානය (ජූනි, ජූලි, අගෝස්තු), සරත් (සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්) සහ ශීත (දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි) වශයෙන් සෘත් දැක්වේ. ගිම්හානය උණුසුම්ම මාස සහ සහ ශීත කාලය, ශීතලම මාස ලෙස පුරෝකථනය කර ඇති අතර, සරත් සෘතුවේ සහ වසන්ත මාස වෙනස් වන කාලය වේ.
පෘථිවි වායුගෝලය අපව උණුසුම්කර තබාගන්නා ආකාරය
සෘතු පුරාවටම, සූර්යයා අපට ජීවත් වීමට සහ අපගේ පෘථිවිය උණුසුම් කිරීමට අවශ්‍ය ශක්තිය සපයයි. කෙසේ වෙතත්, සූර්යයාගේ තාපය ඉහ්ළට යා නොදී හසු කර එය නැවත අභ්‍යවකාශයට පිටවීම වළක්වන වායුගෝලයේ ඇති හරිතාගාර වායූන් නොවන්නේ නම් පෘථිවිය බොහෝ ශීතල තැනක් වනු ඇත. වායුගෝලය සෑදී ඇත්තේ වායූන් මිශ්‍රනයකිනි: ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් සහ ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් වායූ සුළු ප්‍රමාණයකද මිශ්‍රණයකිනි. කාබන්ඩයොක්සයිඩ් හරිතාගාර වායුවක් ලෙස හඳුන්වන්නේ එය හරිතාගාරයක්(a greenhouse) ලෙස ක්‍රියා කරන බැවිනි. එය සූර්යයාගේ තාපය මුහුද සහ ගොඩබිම උණුසුම් කිරීමට ඉඩ සලසන නමුත් එය(කාබන්ඩයොක්සයිඩ්) නැවත අභ්‍යවකාශයට පැන යාම වළක්වයි.

හරිතාගාරයක් උණුසුම්ව තබා ගන්නේ සූර්යයාගේ තාපය හසු කර ගැනීමෙනි. සූර්ය කිරණ වීදුරු වියන නැතිනම් වහළ හරහා ගමන් කරන විට, වාතය, ෆෝර් සහ ඇතුළත ඇති අනෙකුත් සියලුම දේ මගින් තාපය අවශෝෂණය වේ. මෙම තාපයෙන් වැඩි ප්‍රමාණයක් වීදුරුවෙන් ආපසු පිටවිය නොහැකි නිසා සිරවී ඇත. එබැවින් හරිතාගාර තුළ උෂ්ණත්වය පිටතින් වඩා උණුසුම් වේ. පෘථිවිය සඳහා ද එය එසේම වේ: පෘථිවි වායුගෝලය තුළ උෂ්ණත්වය අභ්යවකාශයේ පිටත උෂ්ණත්වයට වඩා උණුසුම් වේ. වායුගෝලය පෘථිවිය වටා ඔතා ඇති විශාල බ්ලැන්කට්ටුවක් වැනි ය, එය පෘථිවිය උණුසුම්ව තබා ගනිමින් දේශගුණය සහ කාලගුණය පාලනය කරයි.
සෘතු ගහන පදයට (සෘතුවල රිද්මයට අනුව) අනුකූලව පරිසර පද්ධති ‘නටයි‘
වසර පුරා ස්වභාව ධර්මයේ රිද්මයන් අපගේම හැසිරීම් සහ ස්වභාවික ලෝකයේ හැසිරීම් වලට මග පෙන්වයි. ස්වභාවධර්මයේ රිද්මයට හිරු සහ සඳ නැගීම සහ බැස යෑම, දිවා කාලයේ සිට රාත්‍රිය දක්වා වෙනස් වන ආලෝකය සහ උෂ්ණත්වය සහ සෘතුවෙන් සෘතුවට කාලගුණික රටා ඇතුළත් වේ. වෙනස්වන සෘතුවල රිද්මයට අනුව වනජීවීන්ගේ හැසිරීම සංවිධානය වන ආකාරය පිළිබඳ සෞම්‍ය වනාන්තර හොඳ උදාහරණ සපයයි. වසන්තය යනු වනාන්තරය ශීත සෘතුවේ විවේකයෙන් අවදි වන කාලයයි. හිරුගේ ශක්තිය ‘සොරකම් කිරීමට'(උරා ගැනීමට) තරම් ගස්වල පත්‍ර විශාල වීමට පෙර වසන්ත හිරු රශ්මියෙන් ප්‍රයෝජන ගනිමින් නව ජීව ශක්තියක් සමඟ වල් මල් එකවර හටගනී. ග්‍රීෂ්ම ඍතුවේ දී, ගස් වැඩීමට සහ ඒවායේ ඵල නිපදවීමට හිරු එළියෙහි ඒකාධිකාරී බලය නතුකර ගනී. සරත් සෘතුවේ දී, වනාන්තරය එළඹෙන ශීත ඍතුව සඳහා සූදානම් වේ. පලතුරු ඉදවීමට සහ බීජ බෙදා හරිනු ලබන්නේ අනාගතයේ දී ශාක විශේෂයන් පවත්වා ගැනීම සඳහා ජනිතයන් බිහි කිරීමේ අපේක්ෂාවෙනි. කාලයත් සමග ඩ්වස සිසිල් වන අතර ශීත ඍතුව ළං වන විට, පතනශීලී ගස්වල පත්‍ර හැලෙන අතර ඉදිරි වසර සඳහා සූදානම් වීම සඳහා විවේකයක් ගනී. ශීත ඍතුව යනු වනාන්තරය තමන්වම පිරිසිදු කිරීමට කාලයයි. පොළවෙහි අපද්‍රව්‍ය වන පත්‍ර සහ මැරුණු දැව මිරිස් ඇටයන්, ගොළුබෙල්ලන්, පණුවන් වැනි අපෘෂ්ඨවංශීන් විසින් බිඳ දමන අතර දිලීර හා බැක්ටීරියා මගින් දිරාපත් වේ. කිසිවක් අපතේ යන්නේ නැත. නැවත පසට පැමිණීමෙන් පසු, දිරාපත් වූ කොළ රොඩු වසන්තය එළඹෙන විට වර්ධනය වීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයන අතර වනාන්තරයේ ජීවය නියමිත වේලාවට සෘතු රිද්මයට අනුව එහි ‘නැටුම’ දිගටම කරගෙන යයි.
පරිසර පද්ධති සහ දේශගුණික විපර්යාස
අපි පරිසර පද්ධතියක් ගැන කතා කරන විට, අපි විස්තර කරන්නේ විශේෂිත පාරිසරික තත්ත්වයන් තුළ එකට ජීවත් වන එකිනෙකට යැපෙන සතුන් සහ ශාක සංකීර්ණ ජාලයකි. පරිසර පද්ධතියක් තුළ වන ජීවීන්ගේ යහපැවැත්ම කෙරෙහි දේශගුණය ප්‍රධාන වශයෙන් බලපායි. දේශගුණික දේශගුණයේ වෙනස් කම්, නියඟය, ගංවතුර සහ ලැව් ගිනි වැනි බරපතල බලපෑම් ඇති කළ හැකි අතර, සෘතුවල කාලය සහ රිද්මයට බාධා ඇති කළ හැකිය.
වුඩ්ලන්ඩ් පරිසර පද්ධති සියුම් ලෙස සමතුලිත වන අතර, වෙනස්වන සෘතුවල ස්ථාවර රිද්මය මගින් සිදුවීම් සංවිධානය කරනු ලැබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම රිද්මයට බාධා ඇති වුවහොත්, පරිසර පද්ධතිය තුළ සිදුවීම් තවදුරටත් සමමුහුර්ත නොවනු ඇත. උදාහරණයක් ලෙස වනාන්තර පරිසර පද්ධතිය ගනිමු. වසන්තය යනු බ්ලූබෙල්ස් සහ අනෙකුත් වල් පුෂ්ප වර්ධනය වීමට සංඥාවයි. ඒවායේ මල්, මී මැස්සන් සහ සමනලුන් සඳහා මුල් කාලයේ ආහාර සපයයි. මුහුර්තනය(timing) නැතිනම් නිශ්චිත් කලට සිදුවීම සකලාර්ථයෙන්ම වැදගත් වේ. දේශගුණික විපර්යාස නිසා වෙන් වල් පුෂ්ප පිපීමට පෙර පරාග වාහකයන්(pollinators) මතු වුවහොත්, ඔවුන් ජීවත් වීමට අරගල කරන්නට සිදුවිය හැකිය. මෙය කුරුල්ලන් සහ කුඩා ක්ෂීරපායින් විසින් අනුභව කරනු ලබන බීජ සහ පලතුරු ගස් හා පඳුරු පරාගණය කිරීමට ඇති පරාගකාරක සංඛ්‍යාව අඩු කිරීමට හේතු විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පරාග වාහකයන් අඩුවෙනවා යන්නෙන් අදහස් කරන්නේ ප්‍රාථමික පාරිභෝගිකයින් සඳහා ආහාර අඩුවන අතර, එය ආහාර දාමයේ ඉහළ සිටින ද්විතියික පාරිභෝගිකයින්ට බලපායි. දේශගුණික විපර්යාස දැනටමත් සෘතුවල රිද්මයට බලපායි. වසන්ත කාලගුණය කලින් පැමිණෙන අතර දිගු කාලයක් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස වනජීවීන්ගේ හැසිරීම පුරෝකථනය කළ නොහැකි තත්ත්වයට පත්වෙමින් පවතින අතර සමහර අවස්ථාවලදී විශේෂවල ජීවිත, තම පරිසර පද්ධතිය තුළ තවදුරටත් රඳා පවතින අය සමඟ සමමුහුර්ත නොවේ.
Big Ideas in Primary Science: Understanding the Climate Crisis by Peter Loxely(Routledge) හි 4වැනි පර්ච්ඡේදය වන Climate ඇසුරෙන් සැකසිණ





ප්‍රතිචාරයක් ලබාදෙන්න