පෘර්‍ථවි ගෝලයේ විශාලත් වය හා සසඳන කළ ප්‍රමාණයෙන් අප කුරා කුහුඹු සතුන් වැනිය. එබැවින් එවැනි අල්පේච්ඡයන්ට මේ සා දැවැන්ත වායුගෝලයකට කිනම් අතවරයක් කළහැකිදැ’යි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් පෘර්‍ථවිය පාපන්දුවකට සම කළොත් ප්‍රමාණයෙන් වායුගෝලය ඒ පාපන්දුව වටා එතූ පත්තර කඩදාසියකට නො වැඩිය. අපේ ආශ්වාසයට සුදුසු වාතය වුවද පොළෝ තලයේ කුදු මහත් හැම තැනක ම එක හා සමානව නොමැති බව අපි දනිමු.  එවරස්ට් කන්ද නගින අය ආශ්වාසය සඳහා ඔක්සිජන් රැගෙන යා යුතු වීම පසු කී කරුණට කදිම උදාහරණයකි.
පියවි ඇසින් බැලූ විට වායු ගෝලය අති දැවැන්ත දෙයක් ලෙස පෙනුණ ද වායුගෝලයේ ඇති සමස්ත වායු ප්‍රමාණය ඝනීභවනය කොට ද්‍රව කළ හොත් එහි ප්‍රමාණය සාගර ජලස්කන්ධයෙන් පන්සීයකින් එක කොටසකට වඩා වැඩි නොවේ. වායුගෝලයේ මේ  නිසර්ග ලක්ෂණ නිසා එහි ඇති වාතය දූෂණය වීම – ඕසෝන් සිදුර (ozone hole) , අම්ල වර්ෂා  (acid rain) සහ දේශගුණ විපර්යාසය – වැනි මානව වර්ගයා මුහුණ දෙන බරපතළ ම පරිසර ගැට‍ළු වලට හේතු වී තිබේ.  
වායුගෝලය බෙහෙවින් ක්‍රියාශීලී ය. ඔබ ප්‍රශ්වාස කළ වාතය ඒ තුළ මේ වන විටත් බොහෝ දුර කතර ගෙවා හමාර ය. පසුගිය සතියේ ඔබේ හුස්මෙන් පිටවූ කාබන් ඩයොක්සයිඩ්

මේ වන විටත් දුරු රටක ගහ කොල වලට හෝ ශීතල සාගරයක ජීවත් වන ප්ලවාංග යනුවෙන් හැඳින්වෙන ක්‍ෂුද්‍ර ප්‍ලැන්ක්ටනයන්ට (plankton)  ආහාර වන්නට ඇත. ඔබ මේ දැන් ප්‍රශ්වාස කළ වාතය තව මසක් දෙකක් තුළ දී මුලු පෘර්‍ථවිය වටා ම සංසරණය කරවීමට තරම් වායුගෝලය අතිශයින් ක්‍රියාශීලී ය.
එක ම කාල පරාසයක දී වායුගෝලයේ ඇතිවෙන වෙනස්කම් විවිධ ප්‍රදේශ වලට එකිනෙකට වෙනස් ප්‍රතිඵල අත් කරවන සුලු ය.  එක් සැණින් එක් දේශගුණික ස්ථාවරයකින් තවත් දේශගුණික තත්ත්වයකට මාරු වීමට වායුගෝලයට පුළුවන. වායුගෝලයේ මේ ස්වභාවය නිසා සුළි සුළං, නියඟ, ගංවතුර හෝ සුළං ප්‍රවාහ විවිධ පලාත්වල එක ම විටක දී හෝ මාරුවෙන් මාරුවට හෝ ඇතිවිය හැක.
වායුගෝලයේ ඉතාමත් වැදගත් මෙහෙවරක් නම් බොහෝ විකිරණශීලී ශක්තීන් (radiative energy) මහ පොළොව මත පතිත වීම වැළැක්වීමයි. අප අතුරින් බොහෝ දෙනෙකුගේ විශ්වාසය සූර්යයාගෙන් පොළොව මත පතිත වන්නේ දිවා කාලයේ අපේ පියවි ඇසට පෙනෙන සූර්යාලෝකය පමණක් බවයි. එහෙත් ඇත්ත වශයෙන් ම දිවා ආලෝකය යනු සූර්යයාගෙන් අප වෙත නිකුත් කරන විශාල කිරණ පරාසයකින් කුඩා ප්‍රමාණයකි.

වායුගෝලයේ ඇති හරිතාගාර වායු ඉහත කී කිරණ පරාසයෙන් වඩා දැඩි රශ්මි කදම්බයන්ගෙන් යුතු කිරණ අප කරා විකිරණය වීම වළක්වයි. කෙසේ වෙතත් මේ ක්‍රියාවලියේ දී හරිතාගාර වායු අස්ථායි බවට පත් වෙන අතර කලින් ඇද හිර කර ගත් රශ්මිය එහි ප්‍රතිඵලයක් වශයෙන් නැවත මුදා හැරේ. මෙසේ මුදා හැරෙන රශ්මියෙන් කොටසක් නිතැතින් ම මහ පොළොව දෙසට පතිත වේ. කාබන් ඩයොක්සයිඩ් ද ඇතුළුව වායුගෝලයේ ඇති සියලු ම හරිතාගාර වායු ප්‍රමාණාත්මක වශයෙන් අල්ප නමුත් ඉහත කී හේතුව නිසා  ඒ වායු මගින් දේශගුණය කෙරෙහි ඇති කරන බලපෑම අති මහත් ය. 
හරිතාගාර වායූ සංයුතිය නිසි ලෙස පැවති විට ඒ මගින් පෙරා පොළොවට මුදා හැරෙන රශ්මි ප්‍රමාණය පොළෝ වාසීන්ට අවශ්‍ය කරන තරමින් පොළොවට ආසන්න ව උණුසුම පවත්වා ගෙන යාමට  උපකාරී වේ.  එහෙත් හරිතාගාර වායු ප්‍රමාණය පමණට වඩා වැඩි වූ කළ පෘථිවි පරිසරය රත් වීම නොහොත් ගෝලීය උණුසුමට එය හේතුවේ. මන්ද, පෘථිවිය මගින් පරාවර්තනය කෙරෙන රශ්මිය අවකාශයට නිකුත් වීම වළක්වා හිර කොට තැබීමෙන් පොළොවට ආසන්න ව පිහිටි වායුගෝලය අවශ්‍ය පමණට වඩා රත් කිරීමට වායුගෝලයේ හරිතාගාර වායු සංයුතිය වැඩි වීම හේතු වන බැවිනි.  ”

හරිතාගාර වායුවල සංයුතිය කෙතෙක් දුරට වායුගෝලයේ උෂ්ණත්වය කෙරෙහි බලපාන්නේ ද යන බව අප අවට ඇති අනෙක් ග්‍රහලෝක විමසීමෙන් ද වටහා ගත හැකිය. උදාහරණයක් වශයෙන් ගත හොත් සිකුරු හෙවත් වීනස් ග්‍රහලෝකයේ වායුගෝලයෙන් 98%ක්ම කාබන් ඩයොක්සයිඩ් වලින් සමන්විත වන අතර ඒ හේතුව නිසා වීනස් ග්‍රහලෝකයේ පෘෂ්ඨය මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් 477°කි. මෙය පාන් පුළුස්සන පෝරණුවක ඇති සාමාන්‍යය උෂ්ණත්වය මෙන් තුන් ගුණයකට කිට්ටු ය.
වාතයේ ඇති මුළු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අපේ වායුගෝලයේ සමස්ත සංයුතියෙන් 1% දක්වා වැඩි වුව හොත් ඒ හේතුව නිසා පෘර්‍ථවිය මතුපිට උණුසුම ජලය නටන තාපාංකය වන සෙන්ටිග්‍රෙඩ් 100° දක්වා ඉහළ නැඟීමට ඉඩ ඇත.
වායුගෝලයේ ඇති ජල වාෂ්ප ද අපේ ප්‍රස්තුතය සම්බන්ධයෙන් තවත් අතිශයින් වැදගත් සාධකයකි. මන්ද, ජල වාෂ්ප වලාකුළු බවට පත් ව සූර්ය විකිරණ පරාවර්තනය කරමින් දිවා කාලයේ දී පොළොව මතුපිට උණුසුම පාලනය කිරීමට දායක වන බැවිනි. එහෙත් රාත්‍රිකාලයේ දී ජල වාෂ්ප හා වලාකුළු වාතයේ ආර්ද්‍රතාව (humidity) වැඩි කරමින් රස්නය වායුගෝලය තුළ රඳවා ගනී.

කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප අතර අන්තර් ක්‍රියාකාරීත්වය ඉතා වැදගත් කරුණකි.  කාබන් ඩයොක්සයිඩ් සංයුතිය මඳකින් ඉහළ ගිය විට වායුගෝලයේ උණුසුම  ද මඳකින් ඉහළ යයි. එවිට උණුසුමට සාපේක්‍ෂව වායුගෝලයේ ජල වාෂ්ප ධාරිතාව ද ආර්ද්‍රතාව ද ඉහළ යයි. මෙය කලින් පැවති උණුසුම තවදුරටත් වැඩි කිරීමට හේතුවෙයි.  මේ නිසා වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් සංයුතිය නිසැක වශයෙන් ම අපේ දේශගුණය උඩු යටිකුරු කරන ලීවරය වශයෙන් සැලකිය හැකිය.
ලක්‍ෂ සංඛ්‍යාත ශාක සත්ත්වාදී ජීවීන් දිරාපත් වී පොළොවට ජීර්ණය වන විට නිකුත් වන  කාබන් ඩයොක්සයිඩ්වලට අතිරේක ව විශේෂයෙන්ම කාර්මික යුගය ආරම්භයේ සිට පසුගිය දශක ගණනාව තුළ අප විසින් එදිනෙදා දවා ලූ ඉමහත් කාබනික බල ශක්ති ප්‍රමාණය වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය කෙරෙහි ඉතා අනතුරු දායක ලෙස බලපා ඇත.
මේ කරුණ අප නිශ්චය වශයෙන් ම දැන ගත්තේ දේශගුණ විද්‍යාඥයෙකු වන චාර්ල්ස් කීලින්ග් (Charles Keeling) 1950 සිට හවායි දූපතේ මවුනා-ලෝආ (Mauna Loa) කඳු මුදුනේ පිහිටි නිරීක්ෂණාගාරය පාදක කොට ගෙන වායුගෝලයේ ඇති කාබන් සංයුතිය පිළිබඳ දත්ත එක් රැස් කළ විටය.

මේ දත්ත පදනම් කර ගෙන ඔහු 1958 සිට 2000 දක්වා වායු ගෝලයේ කාබන් ප්‍රතිශතය සීඝ්‍රයෙන් වෙනස් වන ආකාරය ප්‍රස්තාර ගත කළේ ය. කීලින්ග් වක්‍රය (keeling curve) නමින් ලොව පුරා පතළ මේ ප්‍රස්තාරය අප වසන පරිසර පද්ධතිය හුස්ම ගැනීමට දරණ වෑයම කදිමට නිරූපණය කරයි.

මේ ප්‍රස්තාරය කියතක මෙන් දැති සහිත වීමට හේතුව වසරක් පාසා උත්තරාර්ධ ගෝලයේ වසන්තය  එළඹෙන විට ගහ කොල දළුලමින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීමත් සිසිර සෘතුවේ දී වැටී හැලෙන ශාක පත්‍ර ජීර්ණ වීමෙන් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීම වැඩි වීමත් නිසාවෙනි. ඒ සෘතුමාරුවේදී උච්චාවචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය දැති-දැති රේඛාව පෙන්වයි. වසරක් තුළ ඇතිවෙන ඒ වෙනස කුඩා ප්‍රස්තාරය දක්වයි.


  
කීලින්ග් වක්‍රයෙන් පෙන්වන අතිශයින් ම වැදගත් කාරණය නම් වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයේ සමස්ත සංයුතිය වසරක් පාසා ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමයි. 1960 දී වායු කොටස් මිලියනයක තිබූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කොටස් 320 කට වඩා අඩු වූ අතර වසර 2006 වන විට එම ප්‍රමාණය කොටස් 380 ක් විය[1] මේ වනක විට එය කොටස් 419 දක්වා ඉහළ නැග තිබේ. එය පූර්ව කාර්මික යුගයේ තිබුණාක් මෙන් දෙගුණයක වැඩිවීමකි.  බැලු බැල්මට බෙහෙවින් අහිංසක ප්‍රස්තාරයක් ලෙස පෙනුනද කීලින්ග් වක්‍රය  ගල් අඟුරු, ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන (fossil-fuel) මගින් යැපෙන අපේ වර්තමාන ශිෂ්ටාචාරය අප බලවත් ව්‍යසනයක් කරා ඇද ගෙන යන බව ප්‍රථම වරට  නිසැක ලෙස ම අනාවරණය කළේ ය.


අපේ වර්තමාන බලශක්ති පරිභෝජන රටාව හා බලශක්ති ප්‍රභව එලෙස ම තබා ගෙන අද්‍යතන දත්ත මත කීලින්ග් වක්‍රය විසි එක් වන සිය වසේ මැද භාගය දක්වා ප්‍රක්ෂේපණය (projection) කළ හොත් ඒ වන විට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සංයුතිය දෙගුණයකින් ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. එහි ප්‍රතිඵලය අපට වාසභූමිය වූ පෘථිවියේ උෂ්ණත්වයේ සාමාන්‍යය අවම වශයෙන් සෙන්ටිග්‍රෙඩ් 3° සිට 6° දක්වා  ඉහළ නැගීමයි.

ජයා පත්මපානී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending