
ග්‍රීසියේ, චීනයේ හා ඉන්දියාවේ පුරාණ ශිෂ්ඨාචාරවල වාසය කළ අය අහම්බෙන් වගේ එක ම ආකරයට හිතලා සියලූ ම ද්‍රව්‍ය සැදී තිබෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි එහෙම නැත්නම් සුළඟ, ජලය, ගින්දර සහ පස් යන සතර මූලද්‍රව්‍යයන්ගෙන් බව විශ්වාස කළා. ඒත් මේ කාරණය ගැන සත්‍යට වඩාත් ම සමීප අදහස පළ කලේ මීට අවුරුදු 2400 කට පමණ පෙර විසූ ඩිමොක‍්ක්‍රිටස් කියන ග්‍රීක ජාතිකයායි. ඩිමොක‍්ක්‍රිටස් කල්පනා කළ ආකාරයට යම් කිසිදෙයක් අනුක්‍රමයෙන් කුඩා කැබැලි වලට කපාගෙන කපාගෙන යන කොට තවදුරටත් එය කුමන ආකාරයකටවත් කැපිය නොහැකි කිසියම් ම අවස්ථාවක් එළඹෙනවා. කපනවාට ග්‍රීක භාෂාවෙන් කියන්නේ ටොමොස් (tomos) කියලායි. ග්‍රීක වචනයකට ඉස්සෙල්ල a අකුර යාකෙරුවොත් බොහෝ විට එයින් අදහස් වෙන්නේ ‘නොවේ’ නැත්නම් ‘නො කළහැකි’ යන තේරුමයි. ඒකත් හරියට සිංහල භාෂාවේ ඇතැම් වචන ඉදිරියට ’නො’ යන යෙදුම පාවිච්චි කිරීමෙන් තේරුම වෙනස් කරනවා හා සමානයි. ඒ අනුව atom කියන ග්‍රීක යෙදුමින් අදහස් වෙන්නේ තවදුරටත් කපා වෙන් කර ගත නොහැකි යන්නයි. ඒ ග්‍රීක යෙදුම අනුව ම ද්‍රව්‍යක තවදුරටත් කපා වෙන් කළ නොහැකි කුඩා ම අංශුවට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නෙත් ‘ඇටොම්’ කියලායි. සිංහලෙන් ඒකට කියන්නේ ‘පරමාණුව’ කියලායි. රත්තරන් පරමාණුවක් කියලා කියන්නේ රන් කියන මූල ද්‍රව්‍යයේ තවදුරටත් කපා වෙන් කළ නොහැකි කුඩා ම අංශූවට. යම්කිසි ආකාරයකින් ඒ කුඩා ම අංශුව කපා වෙන්කෙරුවොත් ඒ ද්‍රව්‍ය තවදුරටත් රත්තරන් නෙවෙයි. ඒ වගේ ම යකඩ පරමාණුවක් කියන්නෙත් යකඩ කියන මූල ද්‍රව්‍යයේ තවදුරටත් කපා වෙන් කළ නොහැකි කුඩා ම අංශුවට. ඔය විදියටම අනිකුත් මූලද්‍රව්‍ය ගැනත් කියාගෙන යන්නට පුළුවන්.
රත්තරං පරමාණුව, යකඩ පරමාණුව ආදී වශයෙන් ඔය විදියට විවිධාකාර මූලද්‍රව්‍ය පරමාණු ජාති 100න් විතර තියෙනවා. එයින් 90ක් විතර ස්වාභාවිකව හොයා ගන්නට පුළුවන්. අනික් ස්වල්පය විද්‍යාඥයන් විසින් ඉතා සුළු ප්‍රමාණවලින් රසායනාගාර තුළ දී නිපදවු මූලද්‍රව්‍ය පරමාණු. එක වර්ගයකට අයත් පරමාණු විතරක් අඩංගු ශුද්ධ ද්‍රව්‍ය වලට කියන්නේ මූලද්‍රව්‍ය කියලා. ( මෙහි දී මේ මූලද්‍රව්‍ය කියන යෙදුම පුරාණ කාලෙ විශ්වාස කළ මූලද්‍රව්‍ය වන සුළඟ, ජලය, ගින්දර සහ පස් වලට වඩා මුළුමනින් ම වෙනස්වයි යෙදෙන්නේ.* අප මේ කියන මූලද්‍රව්‍ය වලට උදාහරණ තමයි හයිඩ්‍රජන්, ඔක්සිජන්, යකඩ, ක්ලෝරීන්, තඹ, සල්ෆර්, රන්, කාබන්, රසදිය සහ නයිට‍්‍රජන්. ඇතැම් මූලද්‍රව්‍ය පෘථිවියේ අතිශයින් ම විරලයි. එහෙත් විශ්වයේ අනෙකුත් තැන්වල බහුලයි. එයට හොඳ උදාහරණයක් තමයි මොලිබ්ඩෙනම් (Molibdenum) නමැති මුලද්‍රව්‍ය. මොලිබ්ඩෙනම් කියන නම ඔබ අසාවත් නැත්තේ ඔක්සිජන්, කාබන් වගේ අනෙකුත් බොහෝ මුලද්‍රව්‍ය මෙන් නොව එය පෘථිවියේ දක්නට නොලැබෙන නිසායි.
ලෝහයන් වෙන යකඩ, ඊයම්, තඹ, තුත්තනාගම්, ටින් සහ රසදියද මුලද්‍රව්‍ය විශේෂයි. එමෙන්ම ඔක්සිජන්, හයිඩ්‍රරජන්, නයිට්‍රොජන් හා නියන් වැනි වායු වර්ගත් මූලද්‍රව්‍යයයි. එහෙත් අප අවට ඇති බොහෝ දේවල් සැදී තියෙන්නේ මූලද්‍ර්‍යවලින් නොවෙයි සංයෝග (compound) වලින්. සංයෝගයක් යනු පරමාණු ජාති දෙකක් හෝ වැඩි ගණනක් එක්තරා ආකාරයකට එක් වීමෙන් සැදෙන ද්‍රව්‍යයක්. ඔබ ඇතැම් විට දන්නා පරිදි ජලය හඳුන් වන රසායනික නම H2O. එහි තේරුම ජලය යනු ඔක්සිජන් පරමාණු එකක් හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා එක්වීමෙන් සෑදෙන සංයෝගයක් බවයි. මේ අන්දමට පරමාණු කිහිපයක් සංයෝගයක් තැනීම සඳහා එක් වූ විට ඒ පරමාණු කණ්ඩායමට අප කියන්නේ අණුවක් නැත්නම් මොලෙකියුලයක් (Molecule) කියලායි. මෙයින් ඇතැම් අණු ඉතා සරලයි. උදාහරණයක් විදියට ජලය අණුවක් හැදෙන්න අවශ්‍ය කරන්නේ පරමාණු තුනක් විතරයි. ඉන් එකක් ඔක්සිජන් අනෙත් දෙක හයිඩ්‍රජන්. එහෙත් වෙනත් අණුවර්ග, විශේෂයෙන්ම ප්‍රාණීන් හැදිලා තියෙන ඇතැම් අණු සමන්විත වෙලා තියෙන්නේ පරමාණු සිය ගණනාවක් නිශ්චිත විශේෂ ආකාරයන්ට එකතු වීමෙන්. එහෙම එක්වන පරමාණු ජාති වගේම ඒ පරමාණු එකිනෙක එකතු වෙන ආකාරයත් අනුවයි කිසියම් සංයෝගයක් ඒ සංයොගය මිස වෙනත් සංයෝගයක් බවට පත් නොවෙන්නේ.
එකම මූලද්‍රව්‍යට අයත් පරමාණු දෙකක් හෝ වැඩිගණනක් එක්වීමෙනුත් අණුවක් හැදෙන්නට පුළුවන්. අපට හුස්ම ගැණීමට අවශ්‍ය ඔක්සිජන් වායුවේ අණුවක් හැදිලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එක් වීමෙන්. එහෙත් ඇතැම් අවස්ථාවක් ඔක්සිජන් පරමාණු තුනක් එක් වීමෙන් ඕසෝන් යනුවෙන් හැඳින් වෙන වෙනත් ආකාරයක අණුවක් ඇතිවෙනවා. එක ම ජාතියක පරමාණුවලින් හැදුනත් කිසියම් අණුවක ඇති පරමාණු සංඛ්‍යාව ඒ අණුව නිසා ඇති වෙන ද්‍රව්‍යයේ ස්වාභාවය තීරණය වීමේ ලා ඉතා වැදගත් වෙනවා.
අප ආශ්වාස කරන පරමාණු දෙකකින් යුත් ඔක්සිජන් අණු වගේ නෙවෙයි ඔක්සිජන් පරමාණු තුනක් එක් වීමෙන් හැදෙන ඕසෝන්. ඕසෝන් ආශ්වාස කිරීම හානිදායකයි. ඒත් පොළොව වටා ඇති වායුගෝලයේ ඉහළ ස්තරයේ ඇති ඕසොන් පටලය නිසා සූර්යයාගෙන් නිකුත් වන අහිතකර කිරණ වලින් අපට ආරක්ෂාව ලැබෙනවා. වායුගෝලයේ දකුණුදිග ඕසෝන් ස්තරයේ හිලක් ඇති වෙලා තියෙන නිසා ඔස්ටේ‍්‍රලියාවේ වාසය කරන අය ඉරුරැස් නාන කොට ප්‍රවේසම් විය යුතුයි.
ස්ඵටිකය – පරමාණු පෙළපාලියකි
දියමන්ති කැටයක් කියලා කියන්නේ කාබන් පරමාණු මිලියන ගණනාවක් නිශ්චිත ආකාරයකට එක්වීමෙන් හැදුනු දැවැන්ත අණුවක් කියලා කියන්න පුළුවන්. දියමන්ති කැටයතූළ කාබන් පරමාණු කොයිතරම් ක්‍රමාණුකූලව පෙළ ගැහිලා තියෙනවාද කිව්වොත් ඒක හරියට සොල්දාදුවො පෙළපාලියක යනවා වගෙයි. එකම වෙනස ඒ පෙළපාළිය හරියට මාළු රංචුවක් වගේ ත්‍රිමාණ ආකාරයකටයි සැකසිලා තියෙන්නේ. ඒත් පුංචි ම දියමන්තියක් ගත්තත් ඒ මාළු රංචුවෙ ඉන්න මාළු සංඛ්‍යාව නැත්නම් කාබන් පරමාණු සංඛ්‍යාව කොයිතරම් සුවිශාලද කිව්වොත් එහි මුළු ගණන මේ ලෝකේ ඉන්නා ඔක්කෝම මාළුවන් ගණනටත් වඩා වැඩියි. මෙතෙන් දී කාබන් පරමාණු එකට එකතු වීමෙන් අණුවක් හැදෙනව කියලා අප කිව්වාට පරමාණු එකිනෙක අතර හිඩසක් නැතිව එකට ඇලිලා ඝනයක් වගේ ම එකතු වෙන්නෙත් නැහැ. ඇත්තට ම බැලූවොත් බොහොමයක් ඝන ද්‍රව්‍ය වල පරමාණු එකතු වෙලා හිටින්නේ හිඩසක්, පරතරයක් ඇතිවයි. මේක තරමක් විස්තර වශයෙන් කතා කළ යුතු කාරණයක් නිසා ඒ ගැන අපි පසුව කතා කරමු.
සියලූම ආකාරයේ ස්ඵටික හැදිලා තියෙන්නේ අර සොල්දාදුවෝ පෙළපාලි යන අන්දමට අනුපිළිවෙලකට පරතරයක් ඇතිව පිහිටල තියෙන පරමාණු වලින්. ඒකයි ස්ඵටික වලට නිශ්චිත ස්වරූපයක් තියෙන්නේ. සොල්දාදුවෝ විවිධාකාරයට පෙළපාලි යන්න සමර්ථ වගේ ම ස්ඵටික වලට විවිධාකාර ස්වරූප ලබා දීම සඳහා නොයෙක් විදියට පෙළගැහෙන්න පරමාණුත් හරි සමර්ථයි. ඒ අන්දමට කාබන් පරමාණු එක්තරා අකාරකට පෙළපාලිය වගේ ඉන්න කොට තමයි කාන්තිමත් ලෙස තදට දියමන්ති හැදෙන්නේ. ඒත් කාබන් පරමාණු තවත් ආකාරයකට පෙළපාලියෙ ඉන්න කොට හැදෙන්නේ මෘදු කැඩෙන සුලු මිනිරන් ස්ඵටික. ඒ ස්ඵටික කොයිතරම් මෘදුද කියලා කිව්වොත් ඇතැම් ලිහිසි තෛලෝද හදන්නත්් ගන්නේ මිනිරන්. ඒත් තද දියමන්තිත් ඉතා මෘදු මිනිරන් හැදෙන්නෙත් වෙනස් ආකාර වලට පිහිටන එකම ජාතියෙ කාබන් පරමාණු වලින්.
පළිඟු කියන්නෙත් ස්ඵටික වලට. විනිවිද පේන බොහොම ලස්සණ දෙයක් විදියටයි අප පළිඟු හඳුනන්නේ. පිරිසිදු දියපාරක් දැක්කත් අපි කියනව ඒකෙ වතුර පළිඟු වගේ පැහැදිලියි කියලා. ඒත් ඇත්තට ම බැලූවොත් බොහෝමයක් ඝන ද්‍රව්‍ය හැදිල තියෙන්නේ පළිඟු වාගෙම ස්ඵටික වලින්. ඒත් ඒවා සියල්ල පළිඟු මෙන් විනිවිද පේන්නේ නැහැ. යකඩ කුට්ටියක් කියන්නේ තදින් එකට එකතු වුන ඉතා පුංචි යකඩ ස්ඵටික ගොඩකට. අර කාබන් පරමාණු දියමන්ති වල පෙළ ගැහිල තියෙනවා වගේම යකඩ පරමාණු මිලියන ගණනාවක් පෙළ ගැහිලයි යකඩ ස්ඵටික හැදිල තියෙන්නේ. ඒ වගේමයි ඊයම්, ඇලූමිනියම්,රත්තරන්, තඹ ඔය කොයිවත් හැදිල තියෙන්නේ ඒවායේ පරමාණු ඒවාට ආවේනික ආකාරයකට පෙළගැසීමෙන්. ඒ වගේමයි කලූගල්, වැලිගල් වගේ පාෂාණ ද්‍රව්‍යත්. එකම වෙනස පාෂාණ ද්‍රව්‍ය හැදෙන්නේ නොයෙකුත් වර්ගයේ ස්ඵටික ජාති එකට එක්වීමෙනුයි.
පොළොවේ හැමතැනම වගේ තියෙන වැලිකැට කියලා අපි කියන්නෙත් ස්ඵටික වලට. ඇත්තට ම කිව්වොත් වැලිකැට කියන්නේ ඉතාමත් පුංචි පාෂාණ ද්‍රව්‍ය වලට. වැලි කැට හැදෙන්නේ පාෂාණ ද්‍රව්‍ය සුළඟ, ජලය වගේ දේවලින් ඛාදනය වීම නිසායි. මඩ හැදෙන්නෙත් ඒ වගෙයි. වෙනස මඩ හැදෙන්න ජලය හරි වෙනත් ද්‍රව ජාතියක් හරි එකතු වෙන්නට ඕනැ. බොහෝවිට වැලිකැට සහ මඩ එකතු වීමෙන් තමයි අවසාදිත පාෂාණ හැදෙන්නේ. ඒවාට ‘අවසාදිත’ කියලා කියන්නේ වැලි පස් වගේ සියුම් ඝන ද්‍රව්‍ය කැබැලි වතුරේ අවසාදනය වෙලා නැත්නම් යටට බැහැලා තැන්පත් වෙලා කලක් ගියාම ඝන වීමෙන් ඒ පාෂාණ හැදෙන නිසායි. වැලිගල්වල තියෙන වැලිකැට බොහෝ විට හැදිලා තියෙන්නේ පොළෝ පෘෂ්ඨයේ තියෙන ක්වාර්ට්ස් සහ ෆෙල්ඞ්ස්පාර් කියන ස්ඵටික වර්ගවලින්. හුණුගල් හැදෙන්්නේ ඊට වඩා වෙනස් විදියකට. රටහුනු වගේම හුණුගලූත් හැදෙන්නේ කැල්සියම් කාබනේට් වලින්. කැල්සියම් කාබනේට් ඇති වෙන්නේ මුහුදේ තියෙන කොරල්, බෙලි කටු, එතකොට ෆොරැම් කියන ඒකශෛලික සතුන්ගේ කටු වගේ දේවල් කුඩු වී ඝන වීමෙන්. මුහුදු වෙරළේ වැලි ඉතාමාත්ම සුදුපාට නම් බොහෝ විට ඒකෙන් එත්තු යන්නේ ඒ වැලි අර බෙලිකටු වගේ දේවල් කුඩු වීමෙන් ඇති වූ කැල්සියම් කාබනේට් වලින් හැදිලා තිබෙන බවයි.
ඇතැම් ස්ඵටික හැදිලා තිබෙන්නේ එකම මූලද්‍රව්‍යකට අයත් පරමාණු කිසියම් නිශ්චිත ආකාරයකට පෙළගැසීමෙන්. ඒකට උදාහරණ තමයි දියමන්ති, රත්තරන්, තඹ සහ යකඩ. ඒත් තවත් සමහර ස්ඵටික හැදිලා තියෙන්නේ දෙයාකාරයක පරමාණු එකතු වීමෙන්. ඊට උදාහරණයක් තමයි ලූණු. ලූණු කියලා කියන්නෙ එක මූලද්‍රව්‍යයක් නෙවෙයි, සෝඩියම් සහ ක්ලෝරීන් යන මූලද්‍රව්‍ය දෙකක සංයෝගයක්. මෙතෙන් දී ඒ මූලද්‍රව්‍ය දෙජාතියේ ම පරමාණු එක් වෙන්නේ නිශ්විත විදියකට මාරුවෙන් මාරුවට පෙළ ගැහිලා. ඇත්තට ම කිව්වොත් මෙවැනි අවස්ථාවල දී පරමාණු වෙනුවට පාවිච්චි වෙන්නේ ‘අයන’ කියන යෙදුමයි. ඒත් ඒකට හේතුව විස්තර කිරීමක් දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙන් දී හැම සෝඩියම් අයනයකට ම අසල් වැසියො විදියට ක්ලෝරීන් අයන හයක් තියෙනවා. මේ ක්ලෝරින් අයන හය පිහිටන්නේ එකිනෙකට සෘජුකොණාකාරීව සෝඩියම් අයනයට ඉදිරියෙන්, පිටුපසින්, වමෙන්, දකුණෙන්, උඩින් සහ යටින්. ඒ ආකාරයට ම හැම ක්ලෝරීන් අයනයක් ම සෝඩියම් අයන වලින් වට වෙලා තියෙනවා. මේ සම්පූර්ණ සැකැස්ම චතුරශ‍්‍රවලිනුයි හැදිලා තියෙන්නේ. ඒකයි කුඩා දේවල් ලොකු කරන කණ්නාඩියකින් බැලූවොත් ලූණු ස්ඵටික ඝනාකාරව පේන්නේ. මොකද ඝනයක් කියන්නේ චතුරශ‍්‍රයක ත‍්‍රිමාන ස්වරූපයටයි. ඒ වගේ ම ගල්, වැලි හා පස්වල දකින්නට ලැබෙන අනෙකුත් බොහෝමයක් ස්ඵටික වර්ග සෑදී තිබෙන්නේත් ජාති දෙකක හෝ වැඩි ගණනක පරමාණු එකට එකතු වීමෙන්.
ඝන ද්‍රව්‍ය, ද්‍රව හා වායු
ස්ඵටිකයැ‘යි කියන්නේ ඝන ද්‍රව්‍යක්. ඒත් හැම දෙයක්ම ඝන ද්‍රව්‍යයක් නොවෙයි. ඝන ද්‍රව්‍ය හැරෙන කොට ද්‍රව ජාති සහ වායු වර්ගත් තියෙනවා. ස්ඵටිකයක වාගේ වායුවක අණු එකට ඇලිල පිහිටන්නේ නැහැ. වායුවක අණු එය අඩංගුවෙල තියෙන භාජනේ නැත්නම් අවකාසයේ ඉඩ කඩ පිරෙන්න විසිරිලයි පිහිටන්නේ. එහෙම අවකාසෙ පිරෙන්න වායු අණු ගමන් කරන්නේ හරි කෙළින් හරියට බිලියඞ් මේසෙක බෝලේ ගමන් කරනවා වගෙයි. එකම වෙනස බිලියඞ් බෝල වගේ නෙවෙයි, වායුවක අණු ත්‍රිමාණාකාරව, ඉහළට පහළට හරහට වශයෙන් හැම පැත්තටම ගමන් කරනවා. ඒ අන්දමට වායු අණු එය අඩංගු බාජනයේ බිත්ති හරි වෙනත් අණුවක හරි වැදිලා ආපහු හැරෙන කම් සෑහෙන්න වේගයකින් ගමන් කරනවා. වායු තෙරපල පීඩනයට ලක්කරල තියා ගන්න පුළුවන් වීමෙන් පෙන්නුම් කරන්නේ වායුවල පරමාණු, අණු ආදිය පිහිටල තියෙන්නේ සෑහෙන්න පරතරයක් ඇතිව බවයි. වායුවක් තෙරපා පීඩනයට ලක් කළ විට ස්ප්‍රිං දුන්නක් වගේ ආපස්සට තෙරපෙන්නයි බලන්නේ. බයිසිකල් පොම්පයක් අගට ඇ`ගිල්ල තියල පොම්පෙන් වාතය තෙරපුවාම මේ ස්ප්‍රිං තෙරපුම් ගතිය ඇඟිල්ලට හොඳට දැනෙනවා. මේ තෙරපුම් ගතියට තමයි පීඩනය කියලා කියන්නේ. වාතයේ අඩංගු නයිටුජන්, ඔක්සිජන් සහ අනෙකුත් මිලියන ගණනක් වායු අණු පොම්පයේ තෙරපුමට ප්‍රතිවිරුද්ධව බැට දෙන එකෙනුයි පීඩනය ඇති වෙන්නේ. පීඩනය වැඩිවෙන කොට එයට අනුරූපව වායු අණුවල බැට දෙන එකත් වැඩිවෙනවා. එහෙම වෙන්නේ එකම වායු අණු සංඛ්‍යාවක් කුඩා පරිමාවක් තුළ සිරකර තැබීමට තැත්කිරීම නිසායි. ඒ හැරෙන කොට උෂ්ණත්වයේ වැඩි වීමක් සිදු වුනත් වායු අණු ඒ විදියට බැට දෙන වේගය වැඩි වෙනවා.
ද්‍රවයක අණු ක්‍රියා කරන්නෙත් එක්තරා දුරකට වායුවක අණු ක්‍රියාකරන ආකාරයට සමානවයි. ඒත් ද්‍රවයක තියෙන අණු වායුවක අණු වලට වඩා බොහොම එකිනෙකට ලංවෙලයි පවතින්නේ. වායුවක් භාජනයකට දමල ඒකෙ කට මුද්‍රා තැබුවහම කට ළ`ගට එනකම් ම වායුව මුළු භාජනය පුරා ම පිරිලා ඉන්නවා. ද්‍රවයක් බාජනයකට දැම්මොත් එක්තරා සීමාවක් දක්වා භාජනය තුළ විසිරිලා පැතිරිලා හිටිනවා. වායු වගේ නෙවෙයි ද්‍රවයකට නිශ්චිත ප්‍රමාණයක් සඳහා නියමිත පරිමාවක් තියෙනවා. මේ විදියට නිශ්චිත පරිමාවක් ඇති වෙන්නේ ගුරුත්වාකර්ෂණය මගින් ඒ ද්‍රව ප්‍රමාණය පොළොව පිහිටි දෙසට අදින නිසායි. ඒ නිසා භාජනයක පතුලේ සිට අවශ්‍ය කරන ප්‍රමාණය දක්වා පමණයි ද්‍රවයකින් බඳුනක් පිරෙන්නේ. මේකට හේතුව ද්‍රවයක අණු එකිනෙකට බොහොම ළ`ගින් පිහිටීම නිසයි. ඒත් ඝනයක අණුවගේ නොවෙයි ද්‍රවයක අණු හැසිරෙන්නේ. ද්‍රව අණු එකිනෙකා වටා ලිස්සායන ස්වභාවයක් ගන්නවා. ද්‍රවයක් තරලයක් ලෙස ගලායන ආකාරයකින් හැසිරෙන්නේ ඒකයි.
ඒත් ඝන ද්‍රව්‍යයක් භාජනයක දැම්මොත් එය භාජනයේ ස්වරූපය අරගන්න පුංචි උත්සාහයක්වත් දරන්නේ නැහැ. ඝන ද්‍රව්‍යයට අවශ්‍ය තමන්ගේම ආවේණික ස්වරූපය රැුක ගැණීමට පමණයි. ඒකට හේතුව ද්‍රවයක වගේ ඝන ද්‍රවයයක් අණු එකිනෙකා වටා ලිස්සා යන්නේ නැති නිසයි. ඒ වෙනුවට ඝන ද්‍රව්‍ය වල අණු බොහෝවිට අසල්වැසි අණුවලට සාපේක්ෂව එක ම තැනකයි රැුඳී පවතින්නේ. මෙතෙන් දී බොහෝවිට කියලා කිව්වේ රත්කිරීමක දී සිදුවන උෂ්ණත්වයේ වැඩි වීම අනුව ඝන ද්‍රව්‍යවල අණු ඉහත කී ආකාරයට වෙනස් අයුරකින් හැසිරිය හැකි නිසායි.
සමහරක් ද්‍රව වර්ග පැණි වගේ උකුයි. උකුද්‍රව වර්ග වලටත් ගලා යන ස්වාභාවයක් තිබුණත් එම ගලා යෑම සිදු වන්නේ ඉතා සෙමිනුයි. ඇතැම් ද්‍රව වර්ග කොතෙක් උකුදැයි කිවහොත් ඒවා ඝනයක් මෙන් දැඩි ස්වාභාවයක් ගන්නා අතර ඒවායින් බඳුනක පතුල පිරෙන්නට සෑහෙන වේලාවක්ද ගතවෙනවා. මෙවැනි ද්‍රව වර්ග, ඝනයක මෙන් ස්ඵටික වලින් සෑදී නැති නමුත් ඝනයකට බොහෝදුරට සමාන හැසිරීමක් පෙන්නුම් කරනවා.
ඝන, ද්‍රව හා වායු යනු ද්‍රව්‍යයක් පැවැතිය හැකි තුන් ආකාරයක ස්වාභාවයන්ට යෙදෙන යෙදුම්. උෂ්ණත්වයේ වෙනස් වීම්වලට අනුකූලව බොහෝ ද්‍රව්‍යවලට ඉහත සඳහන් ආකාර තුනට ම හැසිරීමේ හැකියාව තියෙනවා. මහ පොළොවේ දී මීතේන් වායුවක් ලෙස හැසිරෙනවා. (මීතේන් වලට වගුරු වායුව යන නමද යෙදෙනවා. ඇතැම් විටක පල් වගුරුවලින් ගිණි ගන්නා සුළු මීතෙන් වායුව බුබුලූ දමන අන්දම ඔබට දැක ගත හැකියි.* එහෙත් සෙනසුරු ග්‍රහයාගේ අතිශයින් සීතල චන්ද්‍රිකාවක් වන ටයිටන්හි ද්‍රව මීතේන් වලින් සුසැදුනු විශාල විල් පවා තිබෙනවා. ඊටත් වඩා ශීතලකින් යුත් කිසියම් ග්‍රහලොවකදී දී මිදුනු මීතේන් ගලක් මෙන්වූ ඝන ද්‍රව්‍යක් ලෙස සොයා ගැනීමට අපහසු වන්නේ නැහැ. ම’කරි නැත්නම් රසදිය අප සාමාන්‍යයෙන් හඳුනන්නේ ද්‍රවයක් ලෙසයි. එහෙත් රසදිය එසේ ද්‍රවයක් ලෙස හැසිරෙන්නේ සාමාන්‍ය උෂ්ණත්වය යටතේ පමණයි. උත්තර ධ්‍රැවයේ පවතින තරම් තද ශීතලකට නිරාවරණය කොට තිබුනොත් රසදිය ඝන ලෝහයක් බවට පත් වෙනවා. අවශ්‍යතරම් ඉහළ උෂ්ණත්වයකට නැංවූ විට යකඩ පවා ද්‍රව බවට පත්වෙනවා. ඇත්තට ම පෘථිවි ගෝලය මැද අගාධය සැදී ඇත්තේ යකඩ සහ නිකල් මිශ්‍රමහා ද්‍රව සාගරයකින්. ද්‍රව යකඩ වලින් සැදුම් ලත් මහා සාගර ඇතැම් ග‍්‍රහ වස්තු වල මතුපිටද තිබෙන්නට පුළුවන්. අපිට පුරුදු උෂ්ණත්වයට අනුව නම් යකඩ මිදෙන හිමාංකය (යකඩයක් මෙන් සීතලයි!* උණුසුම් වෙන විට, ම’කරි (රසදිය) මිදෙන හිමාංකය ශීතලයි කියලා කියන්නට පුළුවන්. අනෙක් අතට පවතින උෂ්ණත්වය ප්‍රමාණවත් ලෙස වැඩිකිරීමෙන් අපට රසදිය වගේම යකඩත් වායු බවට හරවන්නට පුළුවන්.
පරමාණුවක ඇතුළත

අප මුල දී විස්තර කළ අන්දමට කිසියම් ද්‍රව්‍යක් කොටස් වලට කපා ගෙන කපා ගෙන යන කොට ඇති වෙන්නට පුලූවන් කුඩාම අංශුව පරමාණුව යැ’යි සැලකූ තැනින් නැවතුන බව ඔබට මතක ඇති. ඒ අනුව නම් ඊයම් පරමාණුවක් යනු තවමත් ඊයම් යනුවෙන් හැඳින්විය හැකි කුඩාම අංශුමාත‍්‍රය වශයෙන් සැලකිය හැකි විය යුතුයි. ඒත් ඇත්තටම පරමාණුවක් ඊටත් එහාට කපා වෙන් කරන්නම බැරිද? ඒ වගේම ඊයම් පරමාණුවක් ඇත්තටම පුංචි ම ඊයම් කෑල්ල විදියට ම සැලකිය හැකිද? නැහැ! ඊයම් පරමාණුවක් පුංචිම ඊයම් කෑල්ලක් විදියට පේන්නේ නැහැ. ඒකට හේතුව ප්‍රබල අණ්වීක්ෂයකින් බැලූවත් බලාගන්න බැරි තරමට පරමාණුවක් කුඩා වැඩි වීමයි. ඇත්තටම කිව්වොත් පරමාණුවක් ඊටත් වඩා කුඩා කොටස් වලට කැපිය හැකියි. ඒත් එත කොට තවදුරටත් ඒ පරමාණුව එය අයත් ව තිබූ මූලද්‍රව්‍යයේ පරමාණුවක් ලෙස සැලකෙන්නේ නැහැ. ඒකට හේතුව අපි පස්සෙ කතා කරමු. අනිත් එක පරමාණුවක් කඩන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. පරමාණුවක් කඩන කොට හිතාගත නොහැකි තරම් අති විශාල ශක්ති ප්‍රමාණයක් නිකුත්වෙනවා. පරමාණු පුපුරණ එක ඒ තරම් ම අසුබ දෙයක් විදියට සමහරක් අය සලකන්නේ ඒකයි. පරමාණුවක් පුපුරණ හැටි පළමුවෙන් ම සොයා ගත්තේ 1919 දී නවසීලන්ත විද්‍යාඥයෙකුවූ අර්නස්ට් රදර්ෆොඞ්.
අපිට පරමාණුවක ඇතුළ බලන්නට බැරි බව ඇත්ත. ඒ වගේ ම වෙනත් ස්වරූපයකට හැරෙන්නට නොදී පරමාණුවක් පුපුරුවන්න බැරි බවත් ඇත්ත. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පරමාණුවක් ඇතුළ මොන විදියේ වෙන්න ඕනෑ ද කියලා වටහා ගන්න බැහැ කියලා. පළමුවෙනි පරිච්ඡේදයේදී දී මා විස්තර කළ අන්දමට යමක් සෘජු ලෙස දැක වටහා ගන්න බැරි අවස්ථාවල දී විද්‍යාඥයෝ ඒ සඳහා පාවිච්චි කරන්නේ අදාළ දේ මොනවාගේ විය යුතුදැ’යි උපකල්පනය කරමින් නිපදවන ආකෘතියක්. විද්‍යාත්මක ආකෘතියක් කියන්නේ යමක් පැවතෙන ආකාරය හිතින් හිතලා කරන නිර්මාණයක්. ඒ අනුව පරමාණුවක ආකෘතියක් කියලා කියන්නේ පරමාණුවක අභ්‍යන්තරය කෙසේ විය යුතු ද යන්න පිළිබඳ මනෝමය චිත‍්‍රයකට. විද්‍යාත්මක ආකෘතියක් ගැන හිතනවා කියන්නේ අහසින් යනවා වගේ වැඩක් විදියට පෙනුනාට ඒක නිකම් ම ඔහේ හිතට එන විදියට ආවට ගියාට හදන්න බැහැ. විද්‍යාඥයෝ කරන්නෙ නිකම් ම විද්‍යාත්මක ආකෘතියක් යෝජනා කිරීමක් නෙවෙයි. ඔවුන් ඒ ආකෘතිය මනාව පරීක්ෂාවට ලක් කරල තහවුරු කරගත්තා ම තමයි ආකෘතියක් වශයෙන් පිළිගැනෙන්නේ. ‘මං මේ හිතන ආකෘතිය නිවැරදි එකක් නම් ඒ අනුව යථා ලොකයේ අහවල් ආකාරයේ ප්‍රතිඵල ඇති වෙන්න ඕනෑ’යි කියලා විද්‍යාඥයා තීරණය කරනවා. ඒ අනුව නිශ්චිත මාණකයන් යොදාගෙන ආකෘතිය භාවිතා කරමින් කෙරෙන පරික්ෂණ වලින් අනිවාර්යෙන්ම අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නට ඕනෑ. සාර්ථක විද්‍යාත්මක ආකෘතියකින් විතරයි එහෙම පරීක්ෂා කරන කොට අපේක්ෂිත ප‍්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. ඒ විදියට අපේක්ෂිත ප්‍රතිඵල හරියටම ලැබුනාම අපි කියනවා ඒ ආකෘතිය සාර්ථක විද්‍යාත්මක ආකෘතියක් කියලා.
එසේ පුරෝකථනය කළ ආකාරයට ආකෘතිය ක්‍රියා නොකළහොත් විද්‍යාඥයෝ කරන්නේ ආකෘතියට අවශ්‍ය කරන වෙනස්කම් කරමින් අර පර්යේෂණ නැවත නැවත කර විමර්ශනය කිරීමයි. කොහොම කළත් තමන්ට වටහා ගැනීමට අපහසු දේවල් සම්බන්ධයෙන් මිනිසුන් විසින් මිථ්‍යා කතා නිර්මාණය කරනවාට වඩා විද්‍යාත්මක ක‍්‍රමයක් වශයෙන් හඳුන්වන ආකෘතියක් අනුව කරන පර්යේෂණවලින් යමක යථා ස්වාභාවය දැනගැනීමට ඇති හැකියාව වැඩියි.
පරමාණුවක මුල්ම ආකෘතියට කිව්වේ ‘මිදි බනිස් ගෙඩිය’ කියලායි. ඒ ආකෘතිය යෝජනා කළේ 19වන ශත වර්ෂයේ අග භාගයේ විසූ ඉංග්‍රිසි ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ජේ.ජේ. තොම්ප්සන් විසින්. ඒ මුල් ආකෘතිය ගැන මෙහිදී විස්තර කරන්නට මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව, ඒ ආකෘතියට වඩා සාර්ථක ආකෘතියක් පසුව යොදාගත් නිසායි. රදර්ෆඞ් ආකෘතිය නමින් හැඳින්වෙන ඒ සාර්ථක ආකෘතිය හැදුවේ අර ප්‍රථම වතාවට පරමාණුවක් කඩාපු අර්නස්ට් රදර්ෆෝඞ් නැමැති විද්‍යාඥයා විසින්මයි. රදර්ෆෝඞ් නිව්සීලන්තෙ ඉඳල එංගලන්තටෙ ඇවිත් ජේ.ජේ. තොම්ප්සන්ගෙ ගෝලයෙක් විදියට වැඩකරලා ඔහුගේ අනුප්‍රාප්තිකයා විදියට කේම්බ්‍රිජ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය ධූරයට පත් වුනා. මේ කියන රදර්ෆෝඞ් ආකෘතිය රදර්ෆෝඞ්ගෙ විශිෂ්ඨ ශිෂ්‍යයෙක් වූ ඩෙන්මාර්ක් ජාතික නීල් බෝහ්ර් විසින් වැඩි දියුණු කළා. ඒ වැඩි දියුණු කළ ආකෘතියට අනුව පරමාණුවක ව්‍යුහය ශූක්ෂ්ම සෞර ග්‍රහ මන්ඩලයක් වගේයි. ඒ අනුව පරමාණුවේ ඇති ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් අඩංගුවෙන න්‍යෂ්ඨිය පිහිටල තියෙන්නේ පරමාණුවේ මැදයි. ඒ න්‍යෂ්ඨිය වටේ කක්ෂයක ආකාරයට ඉලෙක්ට්‍රෝන නමින් හැඳින්වෙන කුඩා අංශු සීස් ගාගෙන කරකැවෙනවා. මෙතෙන් දී ඉලෙක්ට්‍රෝන කක්ෂයක භ්‍රමණය වෙනව කියලා කිව්වාට ඒක සූර්යයා වටේ කරකැවෙන ග්‍රහලෝක වගේමත් නෙවෙයි. මොකද ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ නිශ්චිත තැනක පිහිටලා තියෙන රවුම් හැඩයකින් යුතු දේවල්මත් නොවෙයි නිසායි.
රදර්ෆොඞ්-බෝහ්ර් ආකෘතිය මගින් නිරූපණය කරන එක් සත්‍යක් තමයි ඝන තද දියමන්තියක වුනත් එක පරමාණුවක න්‍යෂ්ටියේ සිට ඊළ`ග න්‍යෂ්ඨියට ඇති දුර ප‍්‍රමාණය පරමාණුවක පරිමාවෙන් බැලූවොත් අති විශාල වීම. ඒ කියන්නේ ද්‍රව්‍යක පරමාණු න්‍යෂ්ඨි පිහිටල තියෙන්නේ සංසන්දනාත්මකව ගත්තොත් සෑහෙන පරතරයකින්. කලින් කී අන්දමට මෙන්න මේ කාරණය තමයි මට විශේෂයෙන් අවධාරණය කරන්න ඕනෑ කම තිබුණේ.
ඔබට මතක ඇති දියමන්ති ස්ඵටිකයක් කියන්නේ ති‍්‍රමාන ආකාරයකට සොල්දාදුවෝ පෙළපාලි යනව වගේ එකට පෙළ ගැහිල තියෙන කාබන් පරමාණු වලින් සමන්විත දැවැන්ත අණුවකටයැ’යි මා පැවසූ බව. හොඳයි! දැන් අපිට පුළුවන් අපේ ඒ දියමන්ති ස්ඵටික ‘ආකෘතිය’ ප්‍රමාණය හා දුර අතර ඇති සාපේක්ෂතාවය සලකා වැඩි දියුණු කරන්න. මොහොතකට අපි සොලදාදුවො පැත්තකින් තියල ඒ වෙනුවට දියමන්තියෙ තියෙන හැම කාබන් පරමාණුවක ම න්‍යෂ්ඨියක් පාපන්දුවක් තරම් විශාලයැයි හිතමු. ඒ පරිමාණය අනුව සැලකුවහොත් දියමන්තියක ඇති එක පරමාණුවක න්‍යෂ්ඨියෙ ඉඳල ඊළ`ග පරමාණුවේ න්‍යෂ්ඨියට ඇති දුර ප්රමාණය කිලෝමීටර් 15ක් විතර ඇති.
එතකොට ඒ න්‍යෂ්ඨි අතර ඇති කිලොමීටර් 15ක පරතරය ඇතුළත තමයි න්‍යෂ්ඨිවටා භ‍්‍රමනය වෙන ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ. අපි ඒ න්‍යෂ්ඨිය පාපන්දුවෙ ප‍්‍රමාණයෙන් සැලකුවොත් න්‍යෂ්ඨිය වටා භ්රමණය වෙන හැම ඉලෙක්ට්‍රෝනයක්ම ප‍්‍රමාණයෙන් හෝහපුටුවෙකුට වඩා විශාල නැහැ. මේ හෝහපුටු ප‍්‍රමාණයේ ඉලෙක්ට්‍රෝන, පරමාණුවේ ඇති පාපන්දු ප‍්‍රමාණයේ න්‍යෂ්ඨියෙන් කිලෝමීටර කිහිපයක් දුරිනුයි භ‍්‍රමණය වෙන්නේ. මේ අනුව අරුමය නම් ඉතාමත්ම තද දියමන්තියක උනත් වැඩි වශයෙන් තියෙන්නේ හිස් අවකාශය බවයි.
කොයිතරම් තදට ඝණේට තිබුනත් හැම පාෂාණයකටත් එය අදාළයි. යකඩ,ඊයම් වගේ තද ලෝහවලත් පරමාණුව අභ්‍යන්තරය එහෙමයි. අවකාශ සහිතයි. ද්‍රව්‍ය සංයෝග වීමෙන් සුසැදුනු ඔබ සහ මම සම්බන්ධවත් කියන්න තියෙන්නේ ඒකමයි. ඝන ද්‍රව්‍ය වල පරමාණු ඝනසැරේට ඇහිරිලා තියෙනවා කියලා අපි කිව්වට ඇහිරිල තියෙනවා කියන කීම ම එක විදියක විකාරයක්. මොකද පරමාණුවක ඇතුලත වැඩියෙන් ම තියෙන්නේ හිස් අවකාශය නිසා. ඝන ද්‍රව්‍යක උනත් පරමාණු දෙකක න්‍යෂ්ඨි අතර ඇති දුර ප‍්‍රමාණය කොයිතරම්ද කිව්වොත් අපි න්‍යෂ්ඨියක් පාපන්දුවක් තරම් විශාලයැයි මොහොතකට හිතුවොත් න්‍යෂ්ටි දෙකක අතර ඇති දුර ප්රමාණය කිලෝමීටර් 15ක් තරම්. ඒ දුර අතර තමයි අර හෝහපුටු ප‍්‍රමාණයේ ඉලෙක්ට්‍රෝන කර කැවෙන්නේ.
ඒ කොහොමද? ගලක පදාර්ථවල අඩංගු පරමාණු න්‍යෂ්ඨි අතර ඔය කියන ආකාරයේ සැලැකිය යුතු හිස් අවකාශයක් තියෙනවා නම් ඒ ද්‍රව්‍ය ඝන තද දෙයක් විදියට අපට දැනෙන්නේ කොහොමද? අපි ඒ ගල උඩ වාඩි වුනොත් ගල කෑලි වලට කැඩිල සුණු විසුනු වෙන්නේ නැත්තේ ඇයි? එහෙමත් නැත්නම් ඒ ගල විනිවිද පේන්නේ නැත්තේ ඇයි? තවත් විදියකට කිව්වොත් බිත්තිය වගේම මාද හැදිලා තියෙන්නේ න්‍යෂ්ඨි අතර සෑහෙන අවකාශයක් තියෙන පරමාණුවලින් සැදුනු ද්‍රව්‍යය වලින් නම් ඇයි මට බැරි බිත්තියක් පසාරු කරගෙන ගමන් කරන්න? ගල්, බිත්ති වගේ දේවල් තදට දැනෙන්නේ කොහොමද? ඒවායේ තියෙන අවකාශත් එක්ක අපේ ඇෙ`ග් තියෙන අවකාශ ඒකාබද්ධ කරන්න බැරි ඇයි?.
ඝන තද දේවල් විදියට අපිට දැනෙන ද්‍රව්‍ය හුදෙක්ම අර කියූ පාපන්දු හා හෝහපුටුවන්ට අනුරූපව පිහිටල තියෙන න්‍යෂ්ටි හා ඉලෙක්ට්‍රොන ඉක්මවා යන දෙයක් බව මෙහි දී අප තේරුම් ගත යුතුයි. මේ විෂයේ දී විද්‍යාඥයන් සැලකිල්ලට ගන්නා අනෙකුත් අදාළ දෑ අතරට බලයන් (Forces) බන්ධනයන් (bonds) ක්ෂේත්‍ර (fields) වගේ වෙනත් දේවලූත් ගණන් ගත යුතු වෙනවා. ඒ දේවල් මගින් තමයි අර කියු හැම ‘පාපන්දුවක් ම’ එකිනෙකින් ඈත්ව තබන්නේත් ‘පාපන්දුව’ තුළ ඇති දේවල් එකට එක් කොට තබන්නේත්. දැන් ඉතිං අන්න ඒ කියූ බලයන් හා ක්ෂේත‍්‍රයන් ආදිය නිසයි ඒවා ඝන වස්තු මෙන් අපට දැනෙන්නේ.
පරමාණු න්‍යෂ්ඨි වගේ සූක්ෂම දේවල් ගැන කතා කරන කොට ‘ද්‍රව්‍යමය’ හා ‘හිස් අවකාශය’ වගේ යෙදුම් අතර ඇති වෙනසේ තේරුමක් නැති වෙන්නට පටන් ගන්නව. ඇත්තට ම කිව්වොත් පරමාණුවක න්‍යෂ්ඨියක් පාපන්දුවක් වගේ ‘ද්‍රව්‍යක්යැ’යි කීමත් එයත් ඊළඟ න්‍යෂ්ඨියත් අතර අවකාශයක් ඇතැයි කීමත් හරියට ම හරි නැහැ.
අප ඝන ද්‍රව්‍යයක් යනුවෙන් හඳුන්වන ද්‍රව්‍යක් හරහා සාමාන්‍යයෙන් විනිවිද ගමන් කරන්නට බැහැ. බිත්තියක් හරහා අපට විනිවිද ගමන් කරන්න බැරි හේතුව එහි ඇති පරමාණු න්‍යෂ්ඨි එකිනෙක නිශ්චිත ආකාරයකට ස්ථාන ගත කරන අර පුදුම බල බන්ධනයන් නිසයි. ඝන ද්‍රව්‍යක් කියන එකේ තේරුම ඒකයි.
ද්‍රවයක් කියන්නේත් ඊට ටිකක් සමාන දෙයක්. ඒත් ද්‍රවයක පරමාණු බන්ධනය කරන බලයන ක්‍රියාත්මක වෙන්නේ ඝනයක දී තරම් තදින් ම නෙවෙයි. ඒ නිසයි ද්‍රවයක පරමාණු එකිනෙක මත ලිස්සා යන්නේ. ඒකයි වාතයේ දී තරම් ම වේගයකින් නොවුනත් ද්‍රවයක් විනිවිද අපට ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. වාතය(වාතය කියන්නේ වායු කීපයක එකතූවක්) විනිවිද ගමන් කරන්න පහසුයි. ඒකට හේතුව ඝනයක මෙන් එකට ඇහිරිල තියෙනවාට වඩා වායුවල තියෙන පරමාණු බොහොම නිදහස්ව ඔබිනොබ ගමන් කරන නිසයි. වායු හරහා ගමන් කරන එක අසීරු වෙන්නේ එහි ඇති පරමාණු බොහොමයක් එකම අතකට ගමන් කරන විට ඊට විරුද්ධ දිසාවට ගමන් කිරීමට තැත් කරන අවස්ථාවක දී පමණයි. ඒකයි හුළං අතට විරුද්ධව ගමන් කිරීමේ දී සිදු වෙන්නේ. ඉතින් මේ අනුව කුණාටුවකට විරුද්ධව ගමන් කරණ එකත් අමාරු දෙයක්. ඊටත් වඩා අමාරුයි සුළිසුළ`ගකට හරි ජෙට් යානාවක ප්‍රවාහයකට හරි විරුද්ධව ගමන් කරන්න.
ඝන ද්‍රව්‍යක් විනිවිද ඇවිදින්න අපට බැරි බව ඇත්ත වුනත් පෝටොන් කියන අති ක්ෂුද්‍ර අංශුවලට එය කළ හැකි දෙයක්. අප ආලෝක කදම්බයක් කියන්නේ පෝටෝන් ධාරාවකට. ඒවාට පාරදෘෂ්‍ය නැත්නම් විනිවිද දැකිය හැකි ඇතැම් වර්ගයේ ඝන ද්‍රව්‍ය හරහා ගමන් කළ හැකියි. අර කලින් කියූ ‘පාපන්දු’ උපමාව ගත්තොත් වීදුරු, ජලය එහෙමත් නැත්නම් මැණික් කැට වගේ ද්‍රව්‍ය වල ‘පාපන්දු’ සැකසිල තියෙන ආකාරයට අනුකූලව වෙනස් වෙන වේගයකින් පෝටොන් වලට ඒ ද්‍රව්‍ය විනිවිද ගමන් කරන්නට පුළුවන්.
තිරුවාණා ස්ඵටික වගේ දේවල් හැරෙන කොට සාමාන්‍යයෙන් පාෂාණ විනිවිද පෙනෙනසුලූ ද්‍රව්‍යක් නොවෙයි. ඒ නිසා පෝටෝන් වලට පාෂණ විනිවිද ගමන් කරන්න බැහැ. ඒවෙනුවට පාෂාණයේ පාට අනුව පෝටෝන් පාෂාණය මගින් අවශෝෂණය කිරීම හෝ පරාවර්තණය කිරීම හෝ කරනවා. මේ ක්‍රියාව බොහෝමයක් ඝන ද්‍රව්‍ය වලටත් අදාළයි. ඝන ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් පෝටොන් පරාවර්තණය කරන්නේ සුවිශේෂී ආකාරයක සෘජු රේඛාවන් ලෙස. එවැනි ද්‍රව්‍ය වලට අප කියන්නේ කැටපත් නැත්නම් කණ්නාඩි කියලායි. ඒත් බොහෝමයක් ඝන ද්‍රව්‍ය කරන්නේ පෝටෝන් අවශෝෂණය කිරීමයි. ඒවා විනිවිද පේන ඝනද්‍රව්‍ය නෙවෙයි. කැටපත් විදියට ක්‍රියා නොකරන ඝන ද්‍රව්‍ය පෝටෝන් පරාවර්තනය කරන්නේ විසිරිල යන විදියටයි. අවශෝෂණය හා පරාවර්තණය කරන පෝටෝන වල ස්වාභාවය අනුව එම ද්‍රව්‍ය පාරාන්ධ වෙන්න හරි කිසියම් පැහැයක් ගන්න හරි පුළුවන්. මං මේ ගැන තවත් විස්තර ඇතුව විමසන්නම් 7 වැනි පරිච්ෙඡ්දයේ දී දේදුන්නක් යනු කුමක්දැ’යි සාකච්ඡා කරන විට. ඒ අතර තුර අපේ අවධානය මොහොතකට පරමාණුවක ඇති අතිශයින් ම සූක්ෂ වූ න්‍යෂ්ඨියේ අභ්‍යන්තරය දෙසට යොමු කරමු.
සියල්ලෙන් ම කුඩා ම දෙය.
පරමාණුවක න්‍යෂ්ඨියක් පාපන්දුවක් වගේමත් නෙවෙයි. අප කලින් වතාවේ න්‍යෂ්ඨියේ සාපේක්ෂ පිහිටීම විස්තර කිරීමට පාපන්දුවේ උපමාව යොදාගත්තේ හුදෙක් පාපන්දුව දළ ආකෘතියක් විදියට සලකලායි. කොහොම උනත් පරමාණුවක න්‍යෂ්ඨිය පාපන්දුව වගේ ගෝලාකාර දෙයක් නොවෙයි. පරමාණුවක න්‍යෂ්ටියක් කිසියම්ම ආකාරයක ස්වරූපයක් සහිත දෙයක් වශයෙන් සැලකිය යුතුු ද? කියන එකත් ලොකු ප්‍රරශ්ණයක්.
පරමාණුවක න්‍යෂ්ටිය වගේ අත්‍යන්තයෙන්ම අංශුමාති‍්‍රක ඛුද්දක දේවල් ගැන කතා කරන විට සාමාන්‍ය පියවි දේවල් සම්බන්ධයෙන් යොදන ස්වරූපය, ඝනය වගේ වචන වල තේරුම ගිලිහී යනව. අප මේ කතාකරන්නේ ඉතාමත්ම පුංචි අංශුමාත‍්‍රික දේවල් ගැන. ඒවා කොයිතරම් පුංචිද කිව්වොත් මේ වාක්‍ය අග නැවතීමේ ලකුණ මුද්‍රණය කරඇති තිත හැදිලා තියෙන්නේ තීන්ත පරමාණු මිලියන මිලියනකින් විතර ප්‍රමාණයකින්.
හැම පරමාණු න්‍යෂ්ටියක්ම පෝට්‍රෝන් සහ නියුට්‍රොන් නමින් හැඳින්වෙන අංශු (particles) වලින් සමන්විතයි. අප න්‍යෂ්ටිය පාපන්දුවකට උපමා කළා වගේ අවශ්‍ය නම් මේවාත් පුංචි පන්දු විදියට සලකන්න පුළුවන්. ඒත් ඇත්තට ම මේ අංශුත් පන්දු වගේමත් නොවෙයි. ප්‍රරමාණය අතින් ගත්තොත් ප්‍රොට්‍රෝන් හා නියුට්‍රෝන් බොහෝ දුරට එක සමානයි. කොයිතරම්ම පුංචි වුණත් ඒවා න්‍යෂ්ඨිය වටා භ්රමණය වෙන අර අපි කලින් හෝහපුටොවන්ට උපමා කළ ඉලෙක්ට්‍රෝන වලට වඩා එක්දහස් වාරයක් පමණ විසාලයි. ඉලෙක්ට්‍රොන වලට ඇති විද්‍යුත් ආරෝපණය ප්‍රොටෝන වලට ප්‍රතිවිරුද්ධයි. ප්‍රොට්‍රෝන් හා නියුට්‍රෝන් අතර තියෙන මූලික වෙනස ප්‍රොටෝන් වලට විද්‍යුත් ආරොපනයක් තිබීම හා නියුට්‍රෝන වලට විද්‍යුත් ආරෝපණයක් නොතිබීමයි.
පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන් එහි ඇති නියුට්‍රෝන් සහ ප්‍රෝටෝන් වලටත් වඩා අත්‍යන්තයෙන් ම කුඩා ඉතා අංශුමාත්‍රික වූ දෙවල්. එනිසා පරමාණුවක ස්කන්ධය වශයෙන් සැලකෙන්නේ එහි ඇති නියුට්‍රෝන් සහ ප්‍රෝටෝන් වල මුළු එකතුවයි. ස්කන්ධය යන්නෙන් අප මෙහි දී අදහස් කරන්නේ කුමක්ද? ස්කන්ධය කියන එක අපට මොහොතකට බරට සමාන කරන්නට පුළුවන්. බර මනින්න පාවිච්චි කරන ඒකක වන ග්‍රෑම් සහ රාත්තල්, ස්කන්ධය මනින්නත් පාවිච්චි කරන්නට පුළුවන්. ඒත් බර කියලා කියන්නේ ස්කන්ධයමත් නෙවෙයි.
යම් කිසි වස්තුවක ස්කන්ධය රැඳී පවතින්නේ එම වස්තුවේ සියළු ම පරමාණුවල කොයිතරම් නියුට්‍රෝන් සහ ප්‍රෝටෝන් ප්‍රමාණයක් ඇත්ද යන කාරණාව මතයි. එකම මූලද්‍රව්‍යක පරමාණු න්‍යෂ්ඨිවල ඇති ප්‍රොටෝන් ප්‍රමාණය හැම විටම එක සමානයි. ස්කන්ධය ගණනය කිරීමේ දී ඒ තරම් සැලකිල්ලට නොගත්තද පරමාණුවක න්‍යෂ්ඨිය වටා භ්රමණය වෙන ඉලෙක්ට්‍රෝන් ප්‍රමාණය න්‍යෂ්ඨිය තුළ ඇති ප්‍රොටෝන් ප්‍රමාණයය සමානයි. ඒ අනුව හයිඩ්‍රජන් පරමාණුවකට එක් ප්‍රෝටෝනයක් හා එක ඉලෙක්ට්‍රොනයක් තියෙනවා. යුරේනියම් පරමාණුවක ප්‍රොටෝන් 92 කකුත්, ඊයම් පරමාණුවක ප්‍රෝටෝන් 82කකුත් තිබෙන අතර කාබන් පරමාණුවක තියෙන්නේ ප්‍රෝටෝන් 6 යි. මේ අන්දමට 1 සිට 100 දක්වා නිශ්චිත ප්‍රෝටෝන් සංඛ්‍යාවකින් යුක්ත වීම ඒ ඒ මූලද්‍රව්‍ය වලට පමණක් ම ආවේනිකවූ ස්වාභාවයක්. මේ නිසා එක මූලද්‍රව්‍යක ඇති ප්‍රෝටෝන් සංඛ්‍යාව ම තවත් මුලද්‍රව්‍යයකට පිහිටන්නේ නැහැ.
කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක ඇති ප්‍රෝටෝන් සංඛ්‍යාව එම මූලද්‍රව්‍යයේ පරමාණුක ක‍්‍රමාංකය වශයෙන් සැලකෙනවා. ඒ අනුව කිසියම් මූලද්‍රව්‍යක් එකී මූල ද්‍රව්‍යයේ නමින් පමණක් නෙවෙයි එම මූලද්‍රව්‍යයේ පරමාණුක ක‍්‍රමාංකයෙන් ද හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මූලද්‍රව්‍ය 6 යනුවෙන් හැඳින් වෙන්නේ කාබන්. මූලද්‍රව්‍යය 82 වශයෙන් හැඳින් වෙන්නේ ඊයම්. මේ අන්දමට ඒවායේ පරමාණුක ක‍්‍රමාංකය අනුව මූලද්‍රව්‍ය සියල්ල ආවර්තිතා චක‍්‍රය යනුවෙන් හැඳින් වෙන සටහනක අපූරුවට ස්ථානගත කර තිබෙනවා. ඒකට ආවර්තිතා චක‍්‍රය කියලා කියන්නට හොඳ හේතුවක් තිබුනත් ඒ ගැන කතා කරන්න දැනට අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අර මං කලින් කියු අන්දමට ඊයම් වැනි කිසියම් ද්‍රව්‍යක් කපන්න පුළුවන් ඉතාමත් කුඩා කෑල්ලෙන් ඔබ්බට කැපුවොත් තවදුරටත් එම ද්‍රව්‍ය ඊයම් නොවන්නේ මන්ද කියන කාරණය විමසා බලමු. ඊයම් වල කුඩා ම අංශුව වන ඊයම් පරමාණුවක ප්‍රෝටෝන් 82 කක් තියෙනවා. එම පරමාණුව තවත් දුරට කැඩුවොත් එයට ප්‍රෝටෝන 82ක් හිමිවන්නේ නැහැ. ඒකයි කුඩා ම අංශුව වන පරමාණුවෙන් ඔබ්බට කැඩුවොත් ඒ ඊයම් තවදුරටත් ඊයම් නොවෙන්නේ.
මූලද්‍රව්‍ය පරමාණුවක න්‍යෂ්ඨියේ ප්‍රෝටෝන් නියමිත සංඛ්‍යාවක් පවතින නමුත් එහි ඇති නියුට්‍රෝන් සංඛ්‍යාව සැම විට ම නියමිත සංඛ්‍යාවක් නොවෙයි. බොහෝ මූලද්‍රව්‍ය එම මූලද්‍රව්‍යයේ සමස්ථානික :සිදඑදචැි* යනුවෙන් හඳුන්වන විවිධ මාදිළි වශයෙන් පවතිනවා. උදාහරණයක් වශයෙන් ගත් විට කාබන් මූලද්‍රව්‍ය කාබන්-12, කාබන්-13 හා කාබන්-14 යනුවෙන් හැඳින්වෙන සමස්ථානික මාදිළි තුනකින් පවතිනවා. මේ අංකයන්ගෙන් හැඳින්වෙන්නේ එම කාබන් සමස්ථානිකයේ ස්කන්ධයයි. තවත් අන්දමකින් කිවහොත් ඒ අංකය එම සමස්ථානිකයේ පරමාණු න්‍යෂ්ටියේ ඇති පෝට්‍රෝන් හා නියුට්‍රෝන්වල එකතුවයි. ඉහත දැක්වු කාබන් සමස්ථානික වර්ග තුනේම පරමාණු න්‍යෂ්ඨියේ ඇත්තේ ප්‍රෝටෝන් හය බැගින්. ඒත් කාබන්-12 සමස්ථානිකයේ නියුට්‍රෝන් 6ක්ද, කාබන්-13 සමස්ථානිකයේ නියුට්‍රොන් 7ක්ද කාබන් -14 සමස්ථානිකයේ නියුට්‍රෝන් 8ක්ද තියෙනවා. කාබන්-14 වැනි ඇතැම් සමස්ථානික විකිරණශීලීයි. එහි තේරුම ඒවා නිශ්චිත අනුපාතයකට අනුව වෙනත් මූලද්‍රව්‍යක් බවට පරිවර්තනය වෙන බවයි. විකිරණශීලි සමස්ථානික වල මේ ලක්ෂණය විද්‍යාඥයන් විසින් ඇතැම් ෆොසිල හා පුරාවස්තුවල කාලය මැනීම සඳහා යොදාගන්නවා. මෙසේ කාබන්-14 සමස්ථානිකය උපයෝගි කර කාල වකවානු නියම කල හැක්කේ ෆොසිල වර්ග වලට වඩා මෑතකාලීන, පැරණි නාවික යාත‍්‍රා වැනි, පුරාවස්තු සම්බන්ධයෙන් පමණයි.
හොඳයි, ඉතිං යමක් එහි ඉතාම කුඩා අංශුමාත‍්‍රික කොටස දක්වා කැඞීමට අප කළ වෑයම ඇත්තට ම එහි ඉලෙක්ට්‍රෝන්, ප්‍රොටෝන් හා නියුට්‍රොන් යන අංශු හඳුනා ගැනීමෙන් අවසන් කල හැකිද?. සැබවින්ම නැහැ. පරමාණු න්‍යෂ්ඨියක ඇති ප්‍රෝටෝන් සහ නියුට්‍රෝන් වලටද අංශුකා :ුම්රනි* වලින් යුත් අභ්‍යන්තරයක් තිබෙනවා. එහෙත් ඒ ගැන විස්තර විමසීම මේ පොතේ අභිප‍්‍රාය නොවෙයි. එයට හේතුව ඒවායේ ස්වාභාවය වටහා ගැනීමට ඔබට අසීරු විය හැකි නිසා නොව ඒ ගැන නිසි අවබෝධයක් මට නොමැති වීම නිසයි. මේ කියන ඉතාමත් ක්ෂුද්‍රවූ ක්ෂේත‍්‍රයට පිවිසීම යනු සැබැවින්ම අරුම වූ පුදුම ලෝකයකට පිවිසීමක්. එහෙත් අපට තේරුම්ගත හැකි සීමාව කුමක්දැයි අවබෝධකර ගැනීම එම සීමාවට ළ`ගාවන විට දැන සිටීම ඉතා වැදගත් දෙයක්. හේතුව ඒ සීමාවෙන් ඹබ්බෙහි ඇති දේවල් අපට කෙදිනකවත් අවබෝධ කරගත හැකි නොවන දේවල් නිසා නොවෙයි. ඇත්ත වශයෙන් ම මේ කියන මොහොතේත් විද්‍යාඥයෝ ඒ ගැන ඉතා උනන්දුවෙන් හදාරමින් සිටිනවා. එහෙත් නොදන්නා දෙයක් දැන ගැනීමට පෙර එය නොදන්නා දෙයක් බව වටහා ගැනීම අත්‍යවශ්‍යය කාරණයක්. මේ අත්‍යන්තයෙන්ම ක්ෂුද්‍ර වු වස්තූන් පිළිබඳ යම් අවබෝධයක් ඇති විද්‍යාඥයන් සිටින නමුත් මා ඉන් කෙනෙකු නොවෙයි. මගේ සීමාවන් මා මැනවින් දන්නවා.
හැම මූලද්‍රව්‍යක්ම එයට ම ආවේනික විවිධාකාර ලක්ෂණ නිසා සුවිශේෂයි. එහෙත් ඒ අතරින් කාබන් නැමැති මූලද්‍රව්‍ය කෙතරම් සුවිශේෂීදැ‘යි කිවහොත් කාබන් වල ඇති ඒ සුවිශේෂ ලක්ෂණ කෙටියෙන් කතා කිරීමෙන් මේ පරිච්ෙඡ්දය අවසන් කළ යුතුයැ‘යි මා සිතුවා. කාබන් කොතරම් සුවිශේෂීිදැ‘යි කිවහොත් රසායන විද්‍යාවේ අනෙක් අංශවලික් වෙසෙසින් හුවාදැක්වීමට කාබනික රසායනය හඳුන්වන්නේ ඓන්ද්‍රීය රසායන විද්‍යාව යන නමින්. ඒ වගේ ම රසායන විද්‍යාවේ අනෙකුත් සියලූම කොටස් හඳුන්වන්නේ අකාබනික රසායන විද්‍යාව යනුවෙනුයි. ඉතිං කාබන් වල ඇති මේ සුවිශේෂී ස්වාභාවය කුමක්ද?
එයට පිළිතුර නම් කාබන් පරමාණු අනේකවිධ ආකාර දම්වැල් ජාලයන් සේ එකිනෙක හා බන්ධනය වන බවයි. පැට‍්‍රල් වල අඩංගු ඔක්ටේන් නමැති රසායන ද්‍රව්‍ය හැදී තිබෙන්නේ කාබන් පරමාණු අටක් බැගින් වු දම්වැලක පැත්තක හයිඩ‍්‍රජන් පරමාණු ඇමිණීමෙනුයි. කාබන්වල ඇති අරුමය නම් කාබන් පරමාණු සිය ගණනකින් යුතු දිගකින් දම්වැලක් ලෙස ඇමිනීමට විවිධාකාර කාබන් අණු වලට ඇති හැකියාවයි. මෙවැනි ඇතැම් දම්වැලක් වළලූ මෙන් සැදෙන්නටද පුළුවන්. උදාහරණයක් වශයෙන් ගතහොත් රෙදි කාවුන් කෑම වැලැක්වීම සඳහා භාවිතාකරන වැඩි දෙනො කපුරුබෝල යන නමින් හඳුන්වන නැප්තලීන් සැදී ඇත්තේ හයිඩ‍්‍රජන් ඇමිණූ කාබන් පරමාණු වළලූ දෙකකිනුයි.
කාබනික රසායනය තමන්ට කැමැති කැමැති ආකාරයකට කෑලි අමුනා සෙල්ලම්බඩු සදාගත හැකි ලෝගෝ සෙල්ලම් බඩු කට්ටලයක් වගෙයි. රසායනාගාරවල දී නොයෙකුත් ආකාරවලට කාබන් පරමාණු බන්ධනය කිරීමෙන් විවිධාකාර රසායනිකද්‍රව්‍ය නිපදවීමට විදයාඥයෝ සමත්ව සිටිනවා. මෙයින් ඇතැම් බන්ධන එකිනෙක හා ඇමිණුන දැවැන්ත පලංචි වාගෙයි. ඇතැම් ඒවා බන්ධන ගත වී ඇත්තේ බකිබෝල් නමින් ගෘහනිර්මාණ ශිලපයේ දී හැඳින් වෙන යෝධ ගෝලාකාර ගොඩනැගිලිවල කුරුපා ඇමුණුම් වාගෙයි. මෑතක දී මෙවැනි අපූරු ආකාරයකට බන්ධනගත වූ කාබන් අණු අභ්‍යවකාශයෙන්ද සොයාගනු ලැබුවා. අසීමිත ලෙස බන්ධන ගත වීමෙන් විවිධාකාර වූ කාබනික අණු සැකසීමට කාබන් රසායනයට හැකියි. අපූරු ලෙස බන්ධනගත වූ අනේකවිධ වූ මෙවැනි කාබන් අනු ජීවීන්ගේ සිරුරුවල බොහෝ සේ ගැබ් වී තිබෙනවා.
උදාහරණයක් වශයෙන් ගත් විට මයිග්ලොබින් නමින් හැඳින්වෙන සුවිශාල කාබන් අණුවේ පිටපත් මිලියන ගණනින් අපේ සියළු මාංසපේශි වල අඩංගුවී තිබෙනවා. මයිග්ලොබින් අණුවේ ඇති හැම පරමාණුවක් ම කාබන් නොවෙයි. එහෙත් දැවැන්ත පලංචියක් මෙන් මයිග්ලොබින් අණුවේ පරමාණු බන්ධනගතවී ඇත්තේ කාබන් පරමාණු නිසයි. මිහිපිට ජීවය ඇතිවීමටද හේතු වුනේ කාබන් වල මේ හැකියාව නිසයි. ජීවී ශෛලවල ඇති දහස් සංඛ්‍යාත සංකීර්ණ කාබනික රසායනික දුව්‍ය අතරින් මයිග්ලොබින් එක් ද්‍රව්‍යක් පමණයි. අති විශාල ලෝගෝ සෙල්ලම්බඩු කට්ටලයකින් අපමණ ආකාරයේ සෙල්ලම් බඩු තැනීමට ඇති හැකියාව වගේම ජීවීයෙකු වැනි අතිශයින් සංකීර්ණ වස්තුවක් නිපදවීමට අවශ්‍ය අනේක විධ රසායනික ද්‍රව්‍ය ඉපදවීමට කාබනික රසායනයට හැකියි.
මේ ගැන මිථ්‍යා කතාවක් නැත්තේ ඇයි?
සූර්යයා, දේදුන්න හෝ භූමිකම්පා වැනි පියවි ඇසට අසුවන දේවල් හැරෙන විට අංශූමාත‍්‍රික ලෝකයේ අපූරුව ප්‍රාථමික යුගවල ජීවත් වු මනුෂ්‍යයන්ගේ විෂය පථයට හසු වුනේ නැහැ. කල්පනා කර බලන විට මෙය පුදුමවීමට කාරණාවකුත් නෙවෙයි. මන්ද, ක්ෂුද්‍ර වස්තූන් තිබෙන බවක් ආදිකාලීන මිනිසුන් දැන සිටියේ නැහැ. පියවි ඇසින් දැක ගැනීමට නොහැකි ඔබේ සිතැ`ගි වලට අනුව අලංකාර වූ හෝ බියජනක වූ හෝ ලෙස සැලකිය හැකි ඉතා ක්ෂුද්‍ර වු ජීවීන් දස දහස් ගණනින් ජලයේත් අපේ ශරීර තුළත් අප අවටත් වෙසෙන බව දැනගැනීමට 16 වැනි සියවසේ දී අණ්වීක්ෂය නිපදවන තෙක්ම අපට හැකි වූයේ නැහැ.
ධුවිලි මැක්කන් සහ සාමාන්‍ය මකුළුවන් අතර ඥාති සම්බන්ධ කමක් ඇති නමුත් ධූවිලි මැක්කන් පියවි ඇහැට දැක ගැනීමට අසීරු තරම් ඉතා කුඩායි. හැම නිවසකම ඇතිරිල්ලක්, පලසක් පාසා බඩගාමින් ධූවිලි මැක්කන් දස දහස් ගණනාවක් වාසය කරනවා. ඒ ධූවිලි මැක්කන් ගැන ආදිකාලීන මිනිසුන් දැන ගෙන සිටියේනම් මොන තරම් මිථ්‍යා කතන්දර කන්දරාවක් ඒ අරභයා නිර්මාණය වෙන්නට ඉඩ තිබුණේදැ’යි අපට සිතාගත හැකියි. එහෙත් අන්වීක්ෂය නිපදවන තෙක් ධූවිලි මැක්කන් ගැන හීනෙකින්වත් හිතා ගැනීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. එබැවින් උන් ගැන මිථ්‍යා කතා ඇති නොවීම පුදුමයකට කාරණයක් නොවෙයි. එසේ පියවි ඇහැට නොපෙනෙන තරම් කුඩා වුනත් එක ධූවිලි මැක්කෙකු තුළ ඇති පරමාණු සංඛ්‍යාව ට්‍රිලියන ගණනාවකටත් වැඩියි.
අපේ පියවි ඇහැට ධූවිලි මැක්කන් නොපෙනෙනවා සේම ඒ මැක්කන්ගේ සිරුරු සැදී ඇති ශෛලයන්ද අපට පෙනෙන දේවල් නොවෙයි. ඒතූළ හා අපතුළද වෙසෙන ශත සහස‍්‍ර සංඛ්‍යාත බැක්ටීරියාවන්ද අපේ පියවි ඇසට පෙනෙන්නෙත්් නැහැ.
පරමාණු යනු එවැනි බැක්ටීරියාවන්ටත් වඩා ඉතාමත් අංශුමාත‍්‍රික ක්ෂුද්‍ර වූ දේවල්. මේ මුළු ලොව ම පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින්ගෙන් හා අංශූමාත්‍රික වස්තූන්ගෙන් පිරී තිබුණත් එකදු මිථ්‍යා කතන්දරයක හෝ සර්වබලධාරීයැ’යි කියන දෙවියන්ගේ ඊනියා ශුද්ධවු ග්‍රන්ථවල හෝ ඒ පිළිබඳ කිසිදු සඳහනක්් නැහැ. හොඳින් විමසා බැලූ විට එකී මිත්‍යා කතා හා ශූද්ධවූ යැයි සැලකෙන ආගමික පොත්වල එන කතන්දරවල කිසිසේත් ම විද්‍යාව මගින් උරගා සොයාගත් දැනුම අබමල් රේණුවක්වත් අඩංගු නොවෙන බව පෙනී යනවා. අපේ මේ විශ්වය කොතෙක් විශාලද කොතෙක් පැරණිද යන්න එම කයිකතන්දර වලින් කියැවෙන්නේ නැහැ. පිළිකාවකට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද යන්න එම කතන්දර වලින් කියා දෙන්නේත් නැහැ. අභ්‍යන්තර දහන යන්ත‍්‍රයක් ක්‍රියාකරන්නේ කෙසේද? ගුරුත්වාකර්ෂණය යනු කුමක්දැ‘යි එම කතන්දර වලින් විස්තර කෙරෙන්නේත් නැහැ. විෂබීජ, න්‍යෂ්ටික දහනය, හෝ විද්‍යුත් බලය ගැන එම කතන්දර වලින් පහදා දෙන්නේත් නැහැ. එක අතකට ප්‍රාථමික යුගවල ජීවත් වූ මිනිසුන් දැන සිටි දෑට වඩා වැඩි තොරතුරක් එකී ඊනියා ශුද්ධවු ග්‍රන්ථවල නොතිබීම පුදුමයකට කාරණයක් නොවෙයි. මන්ද ඔය කියන ශුද්ධයැයි සැලකෙන පොත්වල එන කතන්දර මුලින්ම කියන ලද්දේ ආදි කාලයේ විසූ ඒ මනුෂ්‍යන් විසින් ම බැවිනුයි. ඒ නිසා මේ කියන ශුද්ධ වූ පොත් ලියා ඇත්තේ දිව්‍ය දේශනා වලට අනුව නම් ඒ සා සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් අප මෙතෙක් කතාකළ මේ අපූරු දේවල් ගැන කිසිවක් සඳහන් නොකිරීම අතිශයින්ම විකාරවූ අපභ්‍රංසයක් නොවන්නේද?
ආචාර්ය රිචඩ් ඩෝකින්ස් ලියූ Magic of Reality (ඇත්තක අරුමය) කෘතියෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න