
දරුවෙකු හදා වඩා ගැනීමට ගමක්ම අවශ්‍ය වේ – අප එකිනෙකා හා කතා කරන්නට පටන් ගත්තේ ඒ නිසා යැයි පරිණාමීය ජීව විද්‍යාඥවරියක් තර්ක කරයි.
මෑත දශක කිහිපය තුළ මානව පරිණාමයේ කතාව පැහැදිලි ලෙස ස්ත්‍රීවාදී මුහුණුවරක් ගෙන ඇත. නැතහොත්, එය සමතුලිත කිරීමක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදිය: එනම්, පිරිමින්ගේ බල පරාක්‍රම, සටන් කිරීම් සහ ලිංගික ක්‍රියාකාරකම් මගින් සියල්ල මෙහෙයවූ අතර, ගැහැනුන් නිහඬව ඒ හා ගමන් කළ පිරිසක් පමණක් යැයි අපට වසර 150ක් පුරා පැවසීමෙන් අනතුරුව, අත්‍යවශ්‍යව තිබූ ප්‍රාග් ඉතිහාසය සමතුලිත කිරීමක් සිදු වීමයි. මෙම විමසා බැලීම අවසානයේ භාෂාව ඇතිවීම කරා ද ළඟා වී තිබේ.
අප අයත් සත්ව විශේෂයේ සුවිශේෂී සන්නිවේදන කුසලතාවන්ගේ මූලාරම්භය, පුළුල් පරිණාමීය ආඛ්‍යානයේ වඩාත් අපැහැදිලි කලාපවලින් එකක් ලෙස පවතී. මන්ද යත්, සන්නිවේදනය සඳහා අපට ඉඩ සලසන මානව ව්‍යුහ විද්‍යාවේ බොහෝ කොටස් – විශේෂයෙන්ම මොළය සහ ස්වරාලය – මෘදු වන අතර ඒ නිසා ඒවා පොසිල බවට පත් නොවන බැවිනි. 1870 දී පමණ පැරිසියේ සහ ලන්ඩනයේ භාෂා විද්‍යා සංගම් භාෂාවේ පරිණාමය පිළිබඳ කතාබහ තහනම් කළ අතර, එම විෂය නැවතත් සෙමින් කරළියට පැමිණියේ ඉන් සියවසකට පමණ පසුවය. එතැන් සිට, ප්‍රධාන වශයෙන් පිරිමින් විසින් මෙම සාක්ෂිමය හිඩැස පිරවීම සඳහා න්‍යායන් රාශියක් ඉදිරිපත් කර ඇතත්, දැන් සිඩ්නි විශ්වවිද්‍යාලයේ පරිණාමීය ජීව විද්‍යාඥවරියක වන මැඩලින් බීක්මන් මෙම ගැටලුව දෙස ඇයගේ ස්ත්‍රී දෘෂ්ටිය යොමු කර ඇත.
ඇස් පනාපිටම සැඟවී තිබූ බව ඇය විස්තර කරන ඇගේ න්‍යාය ඉතා සිත්ගන්නාසුලුය: ඒ අනුව භාෂාව පරිණාමය වූයේ අපගේ “අසම්පූර්ණව වැඩුණු” අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීමට සමගාමීවය. මන්දයත්, අප්‍රිකාවේ අනතුරුදායක තැනිතලාවල සිටින මිනිස් බිළිඳෙකු තරම් අසරණ ජීවියෙකු රැකබලා ගැනීම සඳහා එක් අත් (සහ පා) යුගලකට වඩා අවශ්‍ය වූ බැවිනි. ඒ සඳහා ආහාර රැස් කිරීම, දරුවන් රැකබලා ගැනීම සහ ආරක්ෂාව සැපයීම වැනි කාර්යයන් බෙදා ගත හැකි කණ්ඩායමක් අවශ්‍ය විය. කණ්ඩායමක් යනු සමාජ ජීවිතයකි. එහි අරුත අන්තර් සන්නිවේදනයයි.
බීක්මන්ගේ න්‍යාය සනාථ කිරීමට සාක්ෂි සම්පූර්ණයෙන්ම නොමැතිවා නොවේ, නමුත් ඒවායින් බොහොමයක් වක්‍ර සාක්ෂි වීම ස්වාභාවිකය. දෙපයින් ඇවිදීම සහ දිනෙන් දින ප්‍රසාරණය වන මොළය යන තරඟකාරී ව්‍යුහ විද්‍යාත්මක අවශ්‍යතා සමබර කිරීම සඳහා ස්වභාවික වරණය විසින් ඇති කරගත් සම්මුතිය වූයේ, මොළය සහ එහි අස්ථිමය ආවරණය සම්පූර්ණයෙන් සෑදීමට පෙරම, ළදරුවන් ඉක්මනින් බිහිවීම බව අපි දනිමු.
පරිණාමීය විද්‍යාවේ මෙම නව ස්ත්‍රීවාදී රැල්ලේ එක් සොයාගැනීමක් වූයේ, ‘ඇලෝපේරන්ට්ස්’ (alloparents) – එනම්, ජානමය දෙමාපියන් නොවන නමුත් දරුවන් රැකබලා ගැනීමට දායක වන පුද්ගලයන් – අඩක් වැඩුණු මෙම මිනිස් දරුවන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවයි. තවත් සොයාගැනීමක් නම් ශිලා යුගයේ කාන්තාවන් පිරිමින් සමඟ එක්ව දඩයමේ ගිය බවයි. අතීතයේ දී, දඩයම් කණ්ඩායම් පිරිමින්ට පමණක් සීමා වූ බවට උපකල්පනය කෙරුණු අතර, එක් න්‍යායකින් කියැවුණේ ඔවුන්ට සහයෝගයෙන් කටයුතු කිරීමට භාෂාව බිහි වූ බවයි. නමුත් දරු රැකවරණය යනු පැය කිහිපයකට හෝ දින කිහිපයකට පමණක් නොව, වසර ගණනාවක් පුරා, බොහෝ විට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතරම සහයෝගීතාව ඉල්ලා සිටි තවත් කාර්යයකි.
වාසනාවකට මෙන්, විශාල වන මොළයට ඉඩ සැලසීම සඳහා අවශ්‍ය වූ හිසෙහි සහ බෙල්ලෙහි ප්‍රතිසංවිධානය, අපේ උගුර ප්‍රතිනිර්මාණය වීමේ අතුරු ප්‍රතිඵලයක් ඇති කළේය. එමගින් අපගේ මුතුන් මිත්තන්ට ඔවුන්ගේ උච්චාරණයන් කෙරෙහි වඩාත් නිරවද්‍ය පාලනයක් ලැබුණි. විශාල පරාසයක ශබ්ද ජනනය කිරීමේ හැකියාව සමඟ, අපට විශාල පරාසයක අර්ථ ප්‍රකාශ කිරීමේ හැකියාව ද ලැබුණි. ආරම්භයේදී, මෙය දරුවන් රැකබලා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට ප්‍රයෝජනවත් වූ නමුත්, කථනය වඩාත් සංකීර්ණ වෙත්ම, ඇලෝපේරන්ට්ස් (alloparents) – විශේෂයෙන්ම ආච්චිලා සීයලා – ඔවුන් රැස් කරගත් දැනුම ලබා දීමට එය භාවිතා කළහ. එමගින් ජීවත් වීමට වඩාත් හොඳින් සන්නද්ධ වූ ළදරුවන් පෝෂණය විය. මෙම ධනාත්මක ප්‍රතිපෝෂණ චක්‍රයේ ප්‍රතිඵලය වූයේ, එක් කලෙක විවිධත්වයකින් යුත් මානවරූපී ( Hominid) පෙළපතක එකම දිවි ගලවා ගත් විෂේශය ‘හෝමෝ සේපියන්ස්’ (Homo sapiens) බිහි වීමයි.
කනගාටුවට කරුණ නම්, බීක්මන් මෙම උද්වේගකර අදහසට පැමිණීමට බොහෝ කාලයක් ගත කිරීමයි. ඇය පොතෙන් අඩක් පමණ වැය කරන්නේ එහි හරය බිඳ වැටේවි යැයි බියෙන් මෙන්, අනවශ්‍ය කෙටි කතාන්දර වලින් එය පුරවමින් ඊට පදනම සකස් කිරීමටය. කෙසේ වෙතත්, ඇය එම අදහසට ළඟා වූ පසු, චින්තනය අවුස්සන නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කරයි. අපේ සම්පූර්ණ භාෂා හැකියාව බොහෝ විට මීට වසර 100,000 කට පමණ පෙර මතු වන්නට ඇතැයි ඇය සිතන නමුත්, එය අපගේ මානව විශේෂයේ පමණක් සිදු වූවකි. “අපි නියැන්ඩර්තාල්වරුන් (Neanderthals) සහ ඩෙනිසෝවන්වරුන් (Denisovans) සමඟ දරුවන් හැදුවා විය හැකියි, නමුත් මම හිතන්නේ නැහැ අපිට කතා කරන්නට තරම් දෙයක් තිබුණා කියා,” ඇය ලියයි.
‘හෝමෝ සේපියන්ස්’ට (Homo sapiens) පෙර භාෂාව පැවතිය යුතු බවට තවත් අය තර්ක කර ඇත. මන්දයත්, භාෂාව නොමැතිව, පැරණි විශේෂයක් වන ‘හෝමෝ ඉරෙක්ටස්’ (Homo erectus) හට ආසියාව සහ ඕස්ට්‍රේලියාව වෙන් කරන ගැඹුරු දිය මාර්ගය වන, තරණය කිරීමට අපහසු ‘වොලස් රේඛාව’ (Wallace Line) තරණය කළ නොහැකිව තිබූ බව ඔවුන්ගේ මතයයි. නමුත් බීක්මන්, සමාජශීලී කෘමීන් පිළිබඳ සිය ගැඹුරු දැනුම උපයෝගී කර ගනිමින් පෙන්වා දෙන්නේ, මී මැස්සන්ගේ හෝ කුහුඹුවන්ගේ මෙන් සාපේක්ෂව නොදියුණු සන්නිවේදනයකින් වුවද එම කාර්යය ඉටු කර ගත හැකිව තිබූ බවයි.
භාෂාවේ පරිණාමය සඳහා ඇලෝපේරන්ට්ස්ගේ (alloparents) භූමිකාව පිළිබඳව පිළිගත හැකි තර්කයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, බීක්මන් නිගමනය කරන්නේ අපගේ මූලික සංවිධාන ඒකකය විස්තෘත පවුලේ සිට න්‍යෂ්ටික පවුල දක්වා හැකිළීමෙන් අප අපටම හානියක් කර ගත් බවයි. සමහර විට එය එසේ විය හැකියි, නමුත් පීටර් ලැස්ලට් ඇතුළු ඉතිහාසඥයන් මෙම වැදගත් මාරුව, ඇය පවසන කාර්මික විප්ලවයට බොහෝ කලකට පෙර, එනම් මධ්‍යතන යුගයට අයත් බව පෙන්වා දෙයි. එමෙන්ම, එහි හානිය තවමත් පැහැදිලි නැත. භාෂාව තවමත් කුඩා දරුවන් විසින් උරා ගනු ලබයි; එය තවමත් පරම්පරා අතර ඉගෙනීම සඳහා වන වාහකයකි. දරුවෙකු ඇති දැඩි කිරීමට ගමක් අවශ්‍ය විය හැකිය, නමුත් බීක්මන් විසින්ම ඉඟි කරන පරිදි, ගමක් විවිධ ආකාරවලින් සැකසිය හැකිය.





ප්‍රතිචාරයක් ලබාදෙන්න