සූර්යයා යනු ප්‍රවේසම් සහිත දුරකින් පිහිටා ඇති න්‍යෂ්ටික බලයයැ’යි කියමනක් තිබේ. දුරින් පිහිටා තිබුණ ද එහි රශ්මිය අප පිලිස්සීමට පවා සමත් බව අපි දනිමු. එහෙත් කළක් වළ දැමිය යුතු තාක්ෂණයක් වශයෙන් සැලැකුනු න්‍යෂ්ටික බලය දේශගුණ විපර්යාසයට අප මුහුණ පා සිටින මේ තීරණාත්මක යුගයේ දී ගැලවුම් කරුවෙකු වශයෙන් යලි හිස ඔසවමින් තිබේ. 

මේ පුනරාගමනය සුවිශේෂයෙන් සනිටුහන් වූයේ 2004දී බොහෝ පරිසරවේදීන් කම්පනයට පත් කරමින්  “ගයියා උපකල්පනයේ” (Gaia hypothesis) නිර්මාතෘ ආචාර්ය ජේම්ස් ලව්ලොක් (James Lovelock) දේශගුණ විපර්යාසය අවම කිරීම සඳහා ලෝකය පුරා න්‍යෂ්ටික බලාගාර තැනීමේ වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවට අවංකව ම ඉල්ලීමක් ඉදිරිපත් කළ අවස්ථාවේ ය. එම ප්‍රකාශය කරමින් ආචාර්ය ලව්ලොක් අප දැන් මුහුණ පා සිටින අවස්ථාව 1938 දෙවැනි ලෝක යුද්ධයට මොහොතකට පෙර ලෝකය මුහුණ පා සිටි අවස්ථාව හා සම කළේ ය. අදට හා සමානව එදාද ලෝකය අනවරත ව්‍යසනයක්  ඉදිරියේ කළ යුත්තේ කුමක්දැ’යි නො දැන අවිනිශ්චිත බවට පත් විය. කෙසේ වෙතත් ‘ග්‍රීන්පීස්’ (Greenpeace) හා ‘මිහිතලයේ මිතුරෝ’ (Friends of the Earth) වැනි පාරිසරික සංවිධාන ආචාර්ය ලව්ලොක් ගේ එම න්‍යෂ්ටික බල උත්කර්ෂය එකහෙලා ප්‍රතික්ෂේප කළේ ය.

එහෙත් ආචාර්ය ලව්ලොක් ගේ ප්‍රකාශයේ සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකි සත්‍යයක් ද ඇත. මන්ද සියලු ම පාහේ විදුලිබල ශක්ති ජාල අනවරතයෙන් ක්‍රියාත්මක ව පවත්වා ගෙන යාම පිණිස බේස්ලෝඩ් හෙවත් පාදක භාරය (baseload) දැරීමට සුදුසු විශ්වාසදායක බල ශක්ති ප්‍රභවයක් අවශ්‍ය වන බැවිනි. මේ පාදක භාරය දැරීම සඳහා යට කී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලට ප්‍රමාණවත් ශක්‍යතාවක් ඇත්දැ’යි තවමත් සැක සහිතය. ප්‍රංශය විදුලි බලයෙන් 80%ක් නිපදවන්නේ න්‍යෂ්ටික බලාගාර මගිනි. ස්වීඩනයේ විදුලි බලයෙන් 50%ක් හා බ්‍රිතාන්‍යයේ විදුලි බලයෙන් හතරෙන් එකක් ද නිපදවෙන්නේ න්‍යෂ්ටික බලය උපයෝගී කර ගැනීමෙනි.

ලෝකයේ මුළු විදුලි බල නිෂ්පාදන ධාරිතාවෙන් 9% නිපදවීමට න්‍යෂ්ටික බලය දැනටමත් යොදා ගැනේ. න්‍යෂ්ටික බලාගාරවලින් කාබන් ඩයොක්සයිඩ් විප්‍රේෂණය වීමක් සිදු නොවේ. මේ නිසා න්‍යෂ්ටික බලය ඉහළින් අනුදක්නා බොහෝ ප්‍රමාණිකයෝ එමගින් නිපදවන විදුලි බල ප්‍රමාණය තව තවත් වැඩිකළ යුතුයැ’යි අදහස් කරති. 

න්‍යෂ්ටික බලාගාර යනු අමුතු දෙයක් නොව හුදෙක් ජලය තාපාංකය දක්වා උණු කිරීමට යොදා ගන්නා උපද්‍රවශීලී සංකීර්ණ ජල උදුනකි. විදුලි බලය නිපදවෙන ටර්බයින කර කැවෙන්නේ න්‍යෂ්ටික බලයෙන් රත් වෙන මේ ජල උදුනෙන් නිකුත් වන ජල වාෂ්ප වලිනි.

ගල් අඟුරු බලාගාර මෙම සම්ප්‍රදායික න්‍යෂ්ටික බලාගාර ද අතිශයින් විශාලයි. සාමාන්‍ය බල ධාරිතාව මෙගාවොට් 1700ක් පමණ වන එක් න්‍යෂ්ටික බලාගාරයක් තැනීමට ඩොලර් බිලියන දෙකක් පමණ අති විශාල මුදලක් වැය වේ. කෙසේ වෙතත් එමගින් නිපදවෙන විදුලි බලයේ පිරිවැය සුළං බලයෙන් නිපදවෙන විදුලි බල ඒකකයක පිරිවැය තරම්ම තරඟකාරී ය. නමුත් න්‍යෂ්ටික බලාගාර තැනීමට වසර පහක් ද ඒ සඳහා අවසර ගැනීමට සාමාන්‍යයෙන් වසර දහයක කාලයක් ද වැය වේ. මෙසේ ඉදි කර විදුලිබලය නිපදවීමට වසර පහළොවකුත්, ආර්ථික ලාභ නෙලා ගැනීමට තවත් දිගු කළක් ගත වීමත් නිසා න්‍යෂ්ටික බලාගාර නොඉවසිලිමත් ආයෝජකයන්ගේ මනාපය සඳහා ගෝචර නොවේ. මේ නිසා ගත වු වසර විස්ස තුළ අමෙරිකා එක්සත් ජනපදයේ හෝ මහා බ්‍රිතාන්‍යයේ හෝ නව න්‍යෂ්ටික බලාගාර ඉදි කොට නොමැත.

Figure 1: Nuclear electricity production 1970-2023 (source: World Nuclear Association, IAEA PRIS)

World electricity production 2022
අනෙකුත් බල ශක්ති ප්‍ර‍රභවයන්ට සාපේක්ෂව විදුලි බලය නිපදවීම සඳහා ගෝලීය වසයෙන් 9% ක් යොදා ගනනේ න්‍යෂ්ටික බලයයි.

න්‍යෂ්ටික බලය ගැන සඳහන් කරන හැම විටක ම වැදගත් කරුණු තුනක් ගැන ජනතාවට සැක හා බිය පහළ වෙයි. එනම් අනතුරුදායක බව ,  විකිරණශීලී න්‍යෂ්ටික අප ද්‍රව්‍යය හා බෝම්බ බිය යන කරුණු තුනයි. 1986 චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමෙන් සිදූ වූ ව්‍යසනයේ ප්‍රතිඵල වසර 20ක් ඉකුත් වූ පසු ද තවමත් වාර්තාවෙයි. එම න්‍යෂ්ටික විසෙන් 70% කට ගොදුරු වු බෙලාරුස් රටේ මුළු බිම් ප්‍රමාණයෙන් විෂ පතනයෙන් ගැලවුණේ 1%කක් පමණි. විකිරණ අළු පතනය නිසා එහි ගොවි බිම් වලින් 25%ක් සදා කාලයට ම අතහැර දැමීමට සිදු විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ බලාගාර වල ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක වල ආරක්ෂක මට්ටම ඉහළ තත්වයක පවතින නමුදු 1979 පෙන්සිල්වේනියාවේ ත්‍රීමයිල් දූපතේ සිදු වූ න්‍යෂ්ටික අනතුරෙන් පෙනී යන්නේ එවැනි විපත්ති සිදු විය හැකි බවයි. කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ආරක්ෂා කොට න්‍යෂ්ටික බලාගාරවල ප්‍රවේසම සහතික කිරීමද අසීරුය. එක්සත් ජනපදයේ ඇති බොහෝ න්‍යෂ්ටික බලාගාර පිහිටා ඇත්තේ විශාල නගරවලට නුදුරින් බැවින් ත්‍රස්ත්‍ර ප්‍රහාරයකට ඒවා ගොදුරු වීමේ අවදානම බෙහෙවින් වැඩියැ’යි සැලකේ.

අනෙකුත් වැදගත් ප්‍රශ්නය න්‍යෂ්ටික බලාගාර වලින් නිපදවෙන විකිරණශීලී අපද්‍රව්‍ය (radioactive waste) ඉවත් කොට ප්‍රවේසම් සහිතව තැන්පත් කර තැබීමයි. ඒ හා සමාන තවත් අසීරු ගැටලුවක් නම් භාවිතා කළ නොහැකි පැරණි න්‍යෂ්ටික බලාගාර ගලවා දැමීම වේ. ඇමෙරිකානු එක්සත් ජනපදයේ දැනට ඇති න්‍යෂ්ටික බලාගාර 103 ගොඩනගනු ලැබුවේ වසර 30ක කාලයක් සඳහා භාවිතා කිරීම සඳහා වූවද එමෙන් දෙගුණයක පමණ කාලයක් තිස්සේ ඒවා පවත්වා ගෙන යාමට සිදුවී ඇත. මන්ද මේ බලාගාර වල ඇති න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක (reactor) ගලවා වෙන් කිරීම අතිශය වියදම් සහිත අසීරු සහ අප්‍රවේසම්කාරී කටයුත්තක් වන බැවිනි. එක න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරයක් ගලවා වෙන් කිරීම සඳහා ඩොලර් මිලියන 500ක් වියදම් වෙතැයි ගණන් බලා තිබේ.  එහෙත් මේ ආකාරයේ අවාසි ද තක්සේරු කර බැලිය යුත්තේ අනෙකුත් බල ශක්ති ප්‍රභව සම්බන්ධ කරුණු හා සංසන්දනාත්මකව ය. උදාහරණයක් වශයෙන් ගත් විට ගල් අඟුරු ආකර වල ඇතිවෙන අනතුරුවලින් හා ගල් අඟුරු බලාගාර දූෂණය නිසා ඇතිවෙන පෙණහැලි ආබාධ නිසා වසරකට මියයන සංඛ්‍යාව න්‍යෂ්ටික බලය සඳහා යුරේනියම් කැණීමෙන් හෝ න්‍යෂ්ටික බලාගාර තුළ සිදුවන අනතුරුවලින් වසරකට මිය යන සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩිය.

නව න්‍යෂ්ටික බලාගාර අතුරෙන් බොහොමයක් දැන් ඉදි වන්නේ සංවර්ධනය වන රටවල බව පෙනේ. ඉදිරි විසි වසර තුළ වසරකට දෙක බැගින් න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට චීනය සැලසුම් කර ඇත. දැන් චීනයේ විදුලිබල නිෂ්පාදනයෙන් 80% නිපදවෙන්නේ ගල් අඟුරු බලාගාර මගින් බැවින් චීනය න්‍යෂ්ටික බලය දෙසට තබා ඇති මේ ඥාණාන්විත පියවර පරිසර සංරක්ෂණයට අතිශයින් හිතකර ය. නුදුරු කාලයේ දී ප්‍රථම වරට චීනය ලොකයේ ඇති ඉතා ආරක්ෂාකාරී හා කාර්යක්ෂම න්‍යෂ්ටික තාක්ෂණය ලෙස හැඳින්වෙන ‘පෙබල්බෙඩ්’ (pebble bed) තාක්ෂණය යොදා ගත් කුඩා පරිමාණයේ (මෙගාවොට් 300) න්‍යෂ්ටික විදුලි බලාගාර ඉදි කරනු ඇත.

ඉන්දියාව, රුසියාව, ජපානය හා කැනඩාව යන රටවල් ද න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක ඉදිකිරීම ආරම්භ කොට තිබෙන අතර තවත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක තිස්හතක් ඉදිකිරීමට බ්‍රසීලය, ඉරානය, ඉන්දියාව, පකිස්ථානය, දකුණු කොරියාව, ෆින්ලන්තය හා ජපානය යන රටවලට අවසර ලැබී තිබේ.

මේ සියලු ම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක සඳහා අවශ්‍ය කෙරෙන යුරේනියම් සපයා ගැනීම සැලකිය යුතු අභියෝගයක් වනු ඇත. ලෝකයේ ඇති යුරේනියම් සංචිත විශාල ඒවා නොවේ. න්‍යෂ්ටික බලාගාර සඳහා අවශ්‍ය වන යුරේනියම් ප්‍රමාණයෙන් හතරෙන් එකක් දැනටත් සපයා ගනු ලබන්නේ භාවිත කළ නොහැකි න්‍යෂ්ටික ආයුධ නැවත පිළිසැකසුම් කිරීමෙනි. මේ කාරණය න්‍යෂ්ටික ආයුධ වැරදි කණ්ඩායම් අතට පත් වීමේ අනතුර සම්බන්ධයෙන් ද වැදගත් වෙයි. මන්ද යම්කිසිවෙකු සතුව ‘සඵල කළ යුරේනියම්’ (enriched uranium) තිබේ නම් ඒ තැනැත්තාට හෝ කණ්ඩායමට න්‍යෂ්ටික ආයුධයක් තැනීමේ හැකියාව ද පහසුවෙන් ම ලැබේ.  න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක මෙන් ම රජයන් ගෙන් බැහැර සන්නද්ධ බල කණ්ඩායම් ද ප්‍රමාණයෙන් වැඩි වන විට න්‍යෂ්ටික ආයුධ අනවශ්‍ය අය අතට පත්වීමට ඇති හැකියාව වැඩිය. මේ අනතුර අවම කරගැනීමට හැකි වන්නේ න්‍යෂ්ටික බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් ඇති අන්තර්ජාතික ගිවිසුම් පිළිපැදීමෙන් සහ ඒ ගිවිසුම්වල විධිවිධාන නියාමනය කිරීම සඳහා පවත්වා ගෙන යන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර න්‍යෂ්ටික බල ආයතනය(International Atomic Energy Agency) වැනි අන්තර්ජාතික සංවිධාන වල නිරන්තර අධීක්ෂණය පිළිගැනීමෙන් පමණි.

බල ශක්තිය සඳහා න්‍යෂ්ටික බලය යොදාගන්නා රටවල් ප්‍රමාණය අනුව අනුපිළිවෙලින්

දේශගුණ විපර්යාසය නිසා ඇතිවිය හැකි ව්‍යසන වැළැක්වීමේ ලා න්‍යෂ්ටික බලය යොදා ගැනීම කෙතරම් දුරට ඵලදායීදැ’යි සලකා බලමු. අවශ්‍යතාවට සරිලන පරිදි වෙනත් අඩු වියදම් විකල්ප බලශක්ති ක්‍රමයක් නොමැතිකම නිසා චීනය හා ඉන්දියාව න්‍යෂ්ටික බලය සිය විකල්පය වශයෙන් යොදා ගැනීමට තරයේ අධිෂ්ඨාන කොට ඇති බව පෙනේ. දැනටමත් න්‍යෂ්ටික අවි වලට හිමිකම් කියන බැවින් මේ දෙරට සම්බන්ධයෙන් න්‍යෂ්ටික අවි අවශේෂ බල කණ්ඩායම් සතු වීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නො නගී. කෙසේ වෙතත් සංවර්ධනය වූ රට වල න්‍යෂ්ටික බලය ඉන්ධන ප්‍රභවයක් ලෙස යොදා ගැනීම තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාව රඳා පවතින්නේ වඩාත් කාර්යක්ෂම හා ප්‍රවේසම්කාරී න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කාරක ඉදිකිරීමේ ක්‍රම සොයා ගැනීමට ඇති හැකියාව මතය.

විදුලි බලය ජනිත කිරීමට යොදා ගත හැකි තවත් අනවරත බලශක්ති ප්‍රභවයක් වන්නේ ජියෝතර්මල් යනුවෙන් හැඳින්වෙන භූ-තාපෝෂ්ණයයි (geothermal).

භූ-තාපෝෂ්ණය (geothermal) යනු අප පය තබන පෘර්‍ථවි පෘෂ්ඨය සහ භූගර්භයේ ගිනියම් ද්‍රවීභූත මැන්ටලයත් (molten mantle) අතර ගැබ් ව ඇති උෂ්ණත්වයි. ප්‍රත්‍යවර්ත්‍ය විදුලි ධාරාව (alternative current) වාණිජ මට්ටමේ නිෂ්පාදනයක් ලෙස යෙදීම මුල් වරට හඳුන්වා දුන් නිකොලා ටෙස්ලා (Nikola Tesla) පෙන්වා දුන් පරිදි අප පය යට බල ශක්තිය වශයෙන් යොදා ගත හැකි අති විශාල උෂ්ණත්වයක් භු-තාපෝෂ්ණය වශයෙන් ගැබ්ව තිබේ. එහෙත් ලෝකය පුරා භු-තාපෝෂ්ණය උපයෝගී කොට නිපදවන විදුලිබල ප්‍රමාණය මෙගාවොට් 10,000 කට වැඩි නොවේ. මෙයට හේතුව ඇතැම් විට භු-තාපෝෂ්ණය ලබා ගැනීමට අප උත්සාහ කර ඇත්තේ ඒ සඳහා වඩා සුදුසු ස්ථාන වල නොවීම විය හැකිය. භු-තාපෝෂ්ණය සඳහා මෙතෙක් උපයෝගී කරගත් ප්‍රදේශ යමහල් ලාවා ලක්ෂණ සහිත විය. එවැනි ප්‍රදේශවල භූගත ජලාශවල ඇති ජලය යමහල් නිසා ගිනියම් ව ඇති පාෂාණ අතරින් ගමන් කරන විට අතිශයින් උණුසුම් වු ජලය හා හුමාලය පොළොව මතුපිටට නිකුත් කරයි. මේ හේතුව නිසා භු-තාපෝෂ්ණය උපයෝගී කර ගැනීම සඳහා යමහල් ලාවා ලක්ෂණ සහිත ප්‍රදේශ යොදාගැනීම වඩාත් උචිත යැ’යි බැලු බැල්මට පෙනේ. එහෙත් භූගර්භ විද්‍යාවට අනුව එය එසේම නොවේ.

යමහල් ලාවා උද්ගත වන්නේ පෘර්‍ථවි පෘෂ්ඨය විදාරණය වී භූගර්භයේ පිහිටි ගිනියම් මැග්මා පොළොව මතුපිටට පැමිණි විට ය. උතුරු ඇමෙරිකාව හා යුරෝපය එකිනෙකින් වෙන්ව ප්ලාවනය (drift) වු විට සාගර පත්ලින් උතික්ෂිප්ත වූ අයිස්ලන්තය මේ තත්ත්වය සඳහා කදිම උදාහරණයකි. එවැනි තැන්වල විශාල තාප සංචිතයක් ගැබ්ව ඇතත් බොහෝ විට ප්‍රශ්නය වන්නේ ජල වාෂ්ප ජනිත කිරීම සඳහා නොකඩවා අවශ්‍ය වන භූගත ජල සැපයුම පවත්වා ගෙන යාමයි. පොළොව විද බැලු මුල් අවස්ථාවල දී සැලකිය යුතු භු-තාපෝෂ්ණයක් ලබාගත හැකි වුව ද කළක් ගත වීමෙන් පසු බලාගාර වල ටර්බයින ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මට්ටමේ ජල වාෂ්ප පීඩනයක් ඇති කිරීමට තරම් ප්‍රමාණවත් භූගත ජල ප්‍රවාහයක් ලබාගත නොහැකි වීමේ අර්බුදයට මුහුණ පෑමට භු-තාපෝෂ්ණ බලාගාර වලට සිදුවේ. 1980 දී එවැනි අවස්ථාවක මේ තත්ත්වය උද්ගත වු විට ජලය නැවත පොළොව යටට පොම්ප කිරීමෙන් අර්බුදය යම් පමණකට මග හරවා ගැනීමට හැකි විය. එහෙත් බොහෝ විට සිදු වූයේ එසේ පොම්ප කළ ජලය පොළොවේ පැළුම් අතරින් කිඳා බැස අතුරුදහන් වී යාමයි.

එහෙත් ස්විට්සර්ලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ මෙයට හාත්පසින් වෙනස් ආකාරයට වාණිජ වශයෙන් යොදා ගත හැකි භු-තාපෝෂ්ණ උල්පත් සොයා ගැනීමට හැකි ව තිබේ. උදාහරණයක් වශයෙන් දකුණු ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශවල ගෑස් වායු නිධි සොයමින් සිටි සමාගම් වලට පොළොව මතුපිට සිට කිලෝමීටර හතරක් ගැඹුරින් පිහිටි සෙන්ටිග්‍රෙඩ් 250°ක් ගිනියම් උෂ්ණත්වයක් ඇති දැවැන්ත ග්‍රැනයිට් පාෂාණ තට්ටුවක් සොයා ගැනීමට හැකි විය. මෙය මෙතෙක් සොයා ගනු ලැබූ යමහල් ලාවා නොවන උණුසුම් ම පාෂාණ තට්ටුව වශයෙන් සැලකේ.

මෙහි දී භූගර්භ විද්‍යාඥයන් උත්කර්ෂයට පත් කිරීමට හේතුව වූයේ මේ පාෂාණය පිහිටා තිබුණේ පෘර්‍ථවි පෘෂ්ඨය බෙහෙවින් සංකෝචනය වු ප්‍රදේශයක වීමයි. මෙනිසා පාෂාණ තට්ටුවෙ පැලුම් තිබුණේ තිරස් අතට ය.  සාමාන්‍යයෙන් මෙවැනි පැලුම් ඇති වන්නේ පාෂාණයේ සිරස් අතට නමුත් තිරස්  පැලුම් ඔස්සේ ජලය පහසුවෙන් ම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බැවින් විශාල පීඩනයක් සහිත අතිශයින් උණුසුම් හුමාල ප්‍රවාහයක් ලබාගත හැකිය. 

දුඹුරු ගල් අඟුරු භාවිත කිරීමේ වියදම හා සැසඳූ විට ඉහත කී ග්‍රනයිට් පාෂාණය සතු තාප ශක්ති ප්‍රමාණය කිසිදු කාබන් ඩයොක්සයිඩ් විප්‍රේෂෙණයකින් තොරව ඉදිරි වසර 75 හ තුළ සමස්ත ඔස්ට්‍රෙලියානු විදුලි බල ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් යැයි තක්සේරු කර ඇත. ලබාගත හැකි බලශක්ති ප්‍රමාණයේ විශාලත්වය සැලකූ විට දුර බැහැර ප්‍රදේශවලට විදුලිය බෙදාහැරීමේ දී සිදුවන සම්ප්‍රේෂණ හානිය (transmission lost) ලාභදායක ලෙස සමනය කර ගැනීමට තරම් මේ භු-තාපෝෂ්ණ නිධිය පොහොසත් ය.

මෙය අත්හදා බැලීමට බලාගාර ඉදිකිරීම සඳහා දැනටමත් දින වකවානු නියම කර ඇති බැවින් බල ශක්තියක් වශයෙන් මෙවැනි භු-තාපෝෂ්ණ උල්පත් යොදා ගැනීමේ කාර්යක්ෂමතාව වැඩිකල් නො යවා නිශ්චය කළ හැකි වේ. ලෝකය පුරා ලාවා ලක්ෂණ වලින් තොර අවශේෂ ප්‍රදේශ ද මේ හා සමාන භු-තාපෝෂ්ණ නිධි පවතින්නේ දැයි භූ විද්‍යාඥයන්ගේ තදබල විමසිල්ලට ලක් වෙමින් පවතී.

 මේ වර්ගයේ භු-තාපෝෂ්ණය උපයෝගී කර ගැනීම අපේ බලාපොරොත්තු බෙහෙවින් උද්දීපනය කිරීමට සමත් වන නමුත් භු-තාපෝෂ්ණය යොදාගැනීමෙන් විදුලි බලය නිපදවීම මෙතෙක් සිදු ව ඇත්තේ අල්ප ප්‍රමාණයෙන් බව අමතක නොකළ යුතුය. එබැවින් භු-තාපෝෂ්ණ තාක්ෂණය යොදා ලෝක විදුලිබල ඉල්ලුම සැලකිය යුතු ප්‍රමාණයකින් සපුරාලීමට තවත් දශක ගණනාවක් ගත විය හැකිය.

මානව වර්ගයා කිසියම් සන්ධිස්ථානයක් කරා යොමු කිරීමට යටවක බලශක්ති තාක්ෂණ හේතු වනු ඇත. මේ විවිධ බලශක්ති තාක්ෂණ අතුරෙන් අප තෝරා ගන්නා විකල්පය මගින් කිනම් බලපෑමක් ඇතිවිය හැකි ද?. හයිඩ්‍රජන් හා න්‍යෂ්ටික බලය මධ්‍යගත ක්‍රමවේදයක් මගින් නිපදවිය යුතු බැවින් එවැන්නක් තෝරා ගැනීම අපේ පැවැත්ම හුදෙක් විශාල සමාගම් වල කාර්යක්ෂමතාව මත රඳා පැවැතීමට හේතු වනු ඇත.

අනෙක් අතට සුළං බලය හා සුර්යතාපය බලශක්ති ප්‍රභවයන් වශයෙන් තෝරා ගැනීම තමන්ට අවශ්‍ය බල ශක්ති ප්‍රමාණය නිපදවා ගැනීමට හා පරිවහනය කිරීමට මහජනතාවට අවස්ථාව ලබා දීමක් වනු ඇත.

මේ නිසා විදුලි බල ජාලය කාබන් විරහිත කිරීම හෙවත් විකාබනය කිරීම (decarbonize) යනු  බලය විමධ්‍යය ගත කිරීමක් මෙන් ම බල උත්පාදනය මහජනතාවට පැවරීමක් වශයෙන් ද සැලකිය හැකිය.

“අප දේශගුණ කාරකයෝය” කෘතිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending