මීට වසර මිලියන 86 කට පමණ පෙර, කිසියම් ඩයිනොසෝරයෙක් වර්තමාන චීනයේ හුබෙයි පළාතේ පිහිටි, නිතර භාවිත කළ බිත්තර දමන ස්ථානයකට පැමිණ සිය බිත්තර දැමුවේය. ඇගේ පැටවුන්ගෙන් සමහරෙකුට බිහිවීමට අවස්ථාවක් නොලැබුණි; කෙසේ හෝ එම කූඩුව වැළලී ගිය අතර, එය බිත්තර ෆොසිල බවට පත්වීමට හේතු විය. දැන්, Frontiers in Earth Science සඟරාවේ අද දින ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින්, පර්යේෂකයන් වාර්තා කරන්නේ ඔවුන් මෙම සංරක්ෂණය වූ බිත්තර කටු සෘජුවම කාලනිර්ණය කර, බිත්තර දැමූ කාලය ඉතා නිශ්චිතව තහවුරු කර ඇති බවයි. ඩයිනොසෝර බිත්තර සඳහා මෙය පළමු අවස්ථාවක් වන අතර, මෙම පුරාණ ජීවීන් පිළිබඳව වඩාත් සවිස්තරාත්මක අධ්‍යයනයන් සඳහා එය මග පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“ඩයිනොසෝර බිත්තර කටුවල ඇති ඛනිජ ස්ඵටික සෘජුවම කාලනිර්ණය කිරීමේ මෙම ප්‍රවේශය විප්ලවීය එකක් විය හැකියි,” යැයි මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ, එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පාෂාණීය ධාතු විද්‍යාඥයෙකු වන ස්ටීව් බෘසට්ටේ පවසයි. මෙම ක්‍රමය මගින් “ෆොසිලවලට ඉහළින් සහ පහළින් ඇති ගිනිකඳු පාෂාණවල වයස මත පදනම්ව වයස ඇස්තමේන්තු කිරීම වෙනුවට, බොහෝ ඩයිනොසෝරයන්ගේ වඩාත් නිවැරදි වයස දැනගැනීමට අවසානයේදී අපට උපකාරී වනු ඇත.”

Qinglongshan නම් ස්ථානයෙන් හමුවූ මෙම ෆොසිල බිත්තර, දළ වශයෙන් වසර මිලියන 100 සිට 66 දක්වා පැතිරී ගිය ඉහළ ක්‍රිටේසියස් යුගයට අයත් බව විද්‍යාඥයෝ දැනටමත් දැන සිටියහ. කෙසේ වෙතත්, පාෂාණීය ධාතු විද්‍යාඥයින්ගේ සාමාන්‍ය කාලනිර්ණ ක්‍රම මෙහිදී එතරම් ප්‍රයෝජනවත් නොවීය. බිත්තර වටා ඇති අවසාදිත ස්ථරවල ගිනිකඳු පාෂාණ බහුලව තිබුනේ නම්, පාෂාණීය ධාතු විද්‍යාඥයින්ට ඒවා ෆොසිල කාලනිර්ණය කිරීමට භාවිතා කළ හැකිව තිබුණි. මන්දයත්, මෙම පාෂාණවල ක්‍රමයෙන් ක්ෂය වන විකිරණශීලී මූලද්‍රව්‍ය රාශියක් අඩංගු වන අතර, එය නියමිත වේලාවකට අනුව ක්‍රියාත්මක වන ඔරලෝසුවක් මෙන් ක්‍රියා කරයි. නමුත් Qinglongshan හි අවසාදිතවල මෙම ගිනිකඳු පාෂාණ නොමැති නිසා කාලනිර්ණය කිරීම වඩාත් අපහසු විය.

මීට පෙර, පර්යේෂකයන් Qinglongshan හි සමහර ෆොසිලවල වයස වසර මිලියන 83 ත් 79 ත් අතර කාලයකට සීමා කර තිබුණේ, පෘථිවියේ චුම්බක ධ්‍රැවීයතා වරින් වර ආපසු හැරීමේ දන්නා වාර්තා සමඟ පාෂාණවල ඇති චුම්බක ධ්‍රැවීයතා රටා ගලපමිනි. පෘථිවි චුම්බක ධ්‍රැවවල ධ්‍රැවීයතාව ආපසු හැරෙන සෑම අවස්ථාවකම, එය නිශ්චිත කාල පරාසයකට අනුරූප වන නව පටියක් පාෂාණවල නිර්මාණය කරයි. මෙය තවදුරටත් නිශ්චිත කර ගැනීම සඳහා, පර්යේෂකයන් යුරේනියම්-ලෙඩ් (U-Pb) ක්‍රමය වෙත යොමු විය. මෙමගින් ෆොසිල බවට පත් වූ බිත්තර කටු තුළ ඇති යුරේනියම් සහිත කැල්සයිට් කාලනිර්ණය කිරීමට, විකිරණශීලී යුරේනියම් නියත අනුපාතයකින් ඊයම් බවට ක්ෂය වීම මනිනු ලැබේ. U-Pb කාලනිර්ණය ගිනිකඳු පාෂාණ සහ ෆොසිල බවට පත් වූ අස්ථි සඳහා භාවිතා කර තිබුණද, ෆොසිල බවට පත් වූ ඩයිනොසෝර බිත්තර සඳහා එය මීට පෙර කිසි දිනෙක භාවිතා කර නොතිබුණි.

Qinglongshan භූමිය ඩයිනොසෝර බිත්තරවලින් බහුල ය. චීනයේ ප්‍රථම නිල වශයෙන් ස්ථාපිත කරන ලද ඩයිනොසෝර බිත්තර ෆොසිල රක්ෂිතය වන මෙම ස්ථානයේ, වසර මිලියන ගණනක් පුරා විහිදෙන විවිධාකාර ඩයිනොසෝර බිත්තර දරණ මීටර් 15 ක් ඝන පාෂාණ ස්ථර කොටසක් ඇතුළත් වේ. “ක්‍රිටේසියස් යුගයේදී ඩයිනොසෝර බිත්තර විවිධත්වය කැපී පෙනෙන ලෙස ඉහළ මට්ටමක පැවති අතර ශීඝ්‍රයෙන් පරිණාමය විය,” යැයි අධ්‍යයනයේ සම-කර්තෘ, හුබෙයි භූ විද්‍යා ආයතනයේ පෘෂ්ඨවංශී පාෂාණීය ධාතු විද්‍යාඥ බී ෂාඕ පවසයි. මෙම පරිණාමීය වෙනස්කම් සහ ඒවාට හේතු වූ දේ අවබෝධ කර ගැනීමට, විද්‍යාඥයින්ට ෆොසිල බවට පත් වූ බිත්තරවල නිශ්චිත වයස දැනගැනීම අවශ්‍ය වේ.

කණ්ඩායම පාෂාණ ස්ථරවල පහළ කොටසෙන් ලබාගත් එක් බිත්තර පොකුරක් කෙරෙහි අවධානය යොමු කළේය. මෙම බිත්තර කිහිපයක් කැල්සයිට් වලින් පිරී තිබූ අතර, එය යුරේනියම් සිය ස්ඵටික ව්‍යුහයට අවශෝෂණය කර ගන්නා නිසා U-Pb කාලනිර්ණය සඳහා මග විවර විය.

මෙම තාක්ෂණය ක්‍රියාත්මක වේදැයි විද්‍යාඥයන්ට විශ්වාසයක් නොතිබූ නිසා, ඔවුන් එක් බිත්තරයකින් කුඩා සාම්පල පමණක් පරීක්ෂා කළහ. බිත්තරයෙන් ලබාගත් කැල්සයිට් සාම්පල හතරක් රෙසින් එකක ගිල්වීමෙන් පසු, එහි අඩංගු යුරේනියම් සහ ඊයම් පරමාණු නිදහස් කිරීමට ඔවුන් ලේසර් කිරණයක් භාවිතා කළහ. ස්කන්ධ වර්ණාවලීක්ෂයක් මගින් එම මූලද්‍රව්‍ය දෙකෙහි අනුපාතය හෙළිදරව් වූ අතර, යුරේනියම් ඊයම් බවට ක්ෂය වීමේ අනුපාතය මත පදනම්ව ඒවායේ වයස ගණනය කිරීමට පර්යේෂකයන්ට හැකි විය. මෙම උත්සාහයන් මගින්, ක්‍රිටේසියස් යුගයේ අවසාන භාගයේ ගෝලීය සිසිලන කාල පරිච්ඡේදයක් තුළ, මීට වසර මිලියන 86 කට පෙර මෙම බිත්තර දමා ඇති බව පෙන්වා දුන්නේය.

ෂාඕ පවසන්නේ, බිත්තර දැමූ විවිධ විශේෂයන්ගේ පරිණාමීය කාලරාමුවක් ගොඩනැගීම සඳහා එකම කොටසේ විවිධ ස්ථරවලින් ලබාගත් බිත්තර කාලනිර්ණය කිරීමට කණ්ඩායම සැලසුම් කරන බවයි. ඩයිනොසෝරයන් බිත්තර දැමීම සඳහා මෙම ප්‍රදේශය තෝරාගත්තේ මන්දැයි වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මධ්‍යම චීනයේ අනෙකුත් බිත්තර සහිත ස්ථානවලින් ද සාම්පල ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍යය. මෙම තොරතුරු, මෙම අධ්‍යයනයේදී පරීක්‍ෂා කරන ලද බිත්තර දැමුවේ කුමන විශේෂය දැයි හඳුනා ගැනීමට විද්‍යාඥයින්ට උපකාරී වනු ඇත.

“සමහර විට, අලුත් දෙයක් උත්සාහ කිරීමට කැමැත්තෙන් සිටීම පමණක් වුවද අනපේක්ෂිත සොයාගැනීම් වලට මග පෑදිය හැකියි,” ෂාඕ පවසයි.

සයන්ස් වෙබ් අඩවියෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending