
විශාල නේවාසික සංකීර්ණයක ගොඩනැගිලි කිහිපයක් පුරා පැතිර ගිය හොංකොං හි හටගත් උස් මහල් ගොඩනැගිලි ගින්නෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් ඇති අතර තවත් සිය ගණනක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මේ වන විට තහවුරු කර ඇති මරණ සංඛ්‍යාව 44ක් වන අතර, 300කට ආසන්න පිරිසක් පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් ලැබී නොමැත. එසේම බරපතල තුවාල ලැබූ විශාල පිරිසක් රෝහල් ගත කර ඇත.
මෙය මෑත ඉතිහාසයේ හොංකොං හි සිදුවූ දරුණුතම ගොඩනැගිලි ගින්නක් ලෙස සැලකෙන අතර, 1996 වසරේ සිදුවූ ගාර්ලි (Garley) ගොඩනැගිලි ගින්නෙන් පසු වාර්තා වූ දරුණුතම අනතුර මෙයයි.
වැන්ග් ෆුක් කෝට් (Wang Fuk Court) වෙතින් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බව වාර්තා වුවද, තවත් කොපමණ පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී සිටියේද යන්න පැහැදිලි නැත.
ගිනි ගත් උණ බම්බු ආධාරක (bamboo scaffolding) හරහා සහ තද සුළං හේතුවෙන් ගොඩනැගිල්ලෙන් ගොඩනැගිල්ලට පැතිර ගිය බව සැලකෙන මෙම විනාශකාරී ගින්න මගින්, හදිසි අවස්ථාවකදී උස් ගොඩනැගිලිවලින් ඉවත් වීමේ ඇති බරපතල දුෂ්කරතාවය මනාව ඉස්මතු කරයි.
අවදානම ඉහළම අවස්ථාව
උස් ගොඩනැගිලිවල හදිසි ඉවත් කිරීම් (Evacuations) දිනපතා සිදු නොවූවත්, යම් හෙයකින් එවැන්නක් සිදුවුවහොත් එහි ප්‍රතිවිපාක බොහෝ විට දරුණු වේ. කලින් කිව හැකි වේලාවන්හිදී ගොඩනැගිලි පිරී පවතින විට (උදාහරණයක් ලෙස රාත්‍රී කාලයේදී නේවාසික කුළුණු සහ දිවා කාලයේදී කාර්යාල කුළුණු) එහි අවදානම ඉහළම මට්ටමක පවතී.
ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිට එක්සත් රාජධානියේ ග්‍රෙන්ෆෙල් කුළුණ (Grenfell Tower) දක්වා වූ නූතන උදාහරණ මගින් අපි මෙය දැක ඇත්තෙමු.
මෙහි රටාව එක හා සමාන ය: ගින්නක් හටගත් පසු, මහල් දුසිම් ගණනක් ඉහළ සිට මිනිසුන් දහස් ගණනක් ආරක්ෂිතව පහළට ගෙන ඒම කාලය සමඟ කරන සටනක් බවට පත්වේ.
නමුත් උස් ගොඩනැගිල්ලක් හිස් කිරීම මෙතරම් අභියෝගාත්මක වන්නේ ඇයි? එය හුදෙක් “මිනිසුන් පිටතට ගැනීම” පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ගොඩනැගිල්ලේ භෞතික සීමාවන් සහ ආතතිය (stress) යටතේ මිනිස් හැසිරීම් වල යථාර්ථය අතර සිදුවන ගැටුමකි.
ආරක්ෂාව සොයා යා යුතු දුර බොහෝය
මෙහි ඇති ලොකුම බාධකය වන්නේ සිරස් දුරයි (vertical distance). බොහෝ ගොඩනැගිලිවල ඇති එකම විශ්වාසදායක ගැලවීමේ මාර්ගය පඩිපෙළයි.
සැබෑ හදිසි අවස්ථාවකදී පඩිපෙළ බැසීම බොහෝ දෙනා අපේක්ෂා කරනවාට වඩා බෙහෙවින් මන්දගාමී ක්‍රියාවලියකි. පාලිත තත්වයන් හෝ පෙරහුරු යටතේ මිනිසුන් තත්පරයට මීටර් 0.4 – 0.7 පමණ වේගයකින් පහළට ගමන් කරයි. නමුත් සැබෑ හදිසි අවස්ථාවකදී, විශේෂයෙන් උස් ගොඩනැගිලි ගින්නකදී, මෙම වේගය තියුනු ලෙස අඩු විය හැක.
සැප්තැම්බර් 11 ප්‍රහාරය අතරතුර, දිවි ගලවා ගත් අය පඩිපෙළ බැස ගිය වේගය තත්පරයට මීටර් 0.3 ට වඩා අඩු බව ලේඛනගත වී ඇත. දිගු සිරස් දුරක් ගමන් කිරීමේදී මෙම වේගය අඩුවීම බරපතල ලෙස බලපායි.
මහන්සිය (Fatigue) ද මෙහිදී ප්‍රධාන සාධකයකි. දිගු වේලාවක් ඇවිදීම නිසා බැසීමේ වේගය සැලකිය යුතු ලෙස අඩු වේ. මෙවැනි සිදුවීම් වලින් පසු කරන ලද සමීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ උස් ගොඩනැගිලිවලින් ඉවත් වන අයගෙන් බහුතරයක් අවම වශයෙන් එක් වරක්වත් අතරමග නතර වන බවයි. 2010 වසරේ ෂැංහයි හි උස් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකදී, දිවි ගලවා ගත් වැඩිහිටියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් තමන් සැලකිය යුතු ලෙස මන්දගාමී වූ බව වාර්තා කළහ.
දිගු පඩිපෙළවල් සහ ගොඩනැගිලිවල පඩිපෙළ සකස් කර ඇති ආකාරය නිසා, විශේෂයෙන් මහල් කිහිපයකින් පිරිස එකවර එකම මාර්ගයකට එක්වන විට තදබදය ඇති වේ.
මන්දගාමීව ගමන් කරන්නන් අතර වැඩිහිටියන්, ශාරීරික හෝ චලන අපහසුතා ඇති අය සහ කණ්ඩායම් වශයෙන් ගමන් කරන අය ඇතුළත් වේ. සාමාන්‍ය ශරීර සෞඛ්‍යය ඇති පුද්ගලයින්ට සාපේක්ෂව මොවුන්ගේ වේගය අඩු බැවින් ‘අවහිරතා’ (bottlenecks) ඇති විය හැක. විවිධ හැකියාවන් සහ වයස් මට්ටම් සහිත පුද්ගලයින් වෙසෙන නේවාසික ගොඩනැගිලිවල මෙය විශේෂයෙන් දැකගත හැකිය.
දෘශ්‍යතාව (Visibility) ද වැදගත් ය. පර්යේෂණාත්මක අධ්‍යයනවලින් පෙනී යන්නේ අඩු ආලෝකය මිනිසුන් පඩිපෙළ බැසීමේ වේගය සැලකිය යුතු ලෙස අඩු කරන බවයි. සැබෑ ගින්නකදී දුම නිසා දෘශ්‍යතාව අඩු වූ විට, මිනිසුන් පැකිලීම, පියවර වැරදීම හෝ වේගය පාලනය කිරීම නිසා ගමන තවත් ප්‍රමාද විය හැක.
මිනිස් හැසිරීම් ප්‍රමාදයන්ට හේතු විය හැක
උස් ගොඩනැගිලි ඉවත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන්ට විශාලම හේතුවක් වන්නේ මිනිස් හැසිරීමයි. අනතුරු ඇඟවීමක් නිකුත් වූ විට මිනිසුන් කලාතුරකින් වහාම ක්‍රියාත්මක වේ. ඔවුන් මොහොතක් නතර වී, එය තහවුරු කර ගැනීමට උත්සාහ කරයි, තත්ත්වය පරීක්ෂා කරයි, බඩු බාහිරාදිය එක් රැස් කරයි, හෝ පවුලේ සාමාජිකයන් සමඟ කතා බහ කරයි.
උස් ගොඩනැගිලි වලින් ඉවත් කිරීමේදී මෙම මුල් මිනිත්තු කිහිපය ඉතාම තීරණාත්මක වේ.
ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉවත් කිරීම පිළිබඳ අධ්‍යයනවලින් පෙනී යන්නේ දුම, කම්පනය හෝ ශබ්දය වැනි සලකුණු මිනිසුන් වැඩි වැඩියෙන් දකින තරමට, ඔවුන් චලනය වීමට පෙර අමතර තොරතුරු සොයන බවයි. එම තොරතුරු සෙවීම ප්‍රමාදය වැඩි කරයි. මිනිසුන් සගයන් සමඟ කතා කරයි, ජනේලයෙන් පිටත බලයි, පවුලේ අයට දුරකථන ඇමතුම් ගනී, හෝ නිවේදනයක් එනතෙක් බලා සිටී.
නේවාසික කුළුණුවල, පවුල්, අසල්වාසීන් සහ මිතුරන් ස්වභාවිකවම එකට ඉවත් වීමට උත්සාහ කරයි. කණ්ඩායම් බොහෝ විට පඩිපෙළේ ඉඩ අහුරන ලෙස ගමන් කරයි. නමුත් අපගේ පර්යේෂණවලින් පෙනී යන්නේ කණ්ඩායමක් “සර්පයෙකු” මෙන් (එක් අයෙකු පිටුපස අනෙකා යන පරිදි) ගමන් කරන විට, ඔවුන් වේගයෙන් ගමන් කරන බවත්, අඩු ඉඩක් ගන්නා බවත්, අන් අයට පසුකර යාමට පහසුවෙන් ඉඩ ලබා දෙන බවත්ය.
විවිධ ගෘහස්ථ වර්ග සහ විවිධ හැකියාවන් මිශ්‍ර වී ඇති උස් මහල් නිවාසවල කණ්ඩායම් වශයෙන් ගමන් කිරීම සාමාන්‍ය දෙයක් බැවින් මෙම හැසිරීම් රටා වැදගත් වේ.
පඩිපෙළ පමණක් ප්‍රමාණවත් නොවන්නේ ඇයි?
ගොඩනැගිලි උසින් වැඩි වන විට සහ ජනගහනය වයස්ගත වන විට, “සැමට පඩිපෙළ භාවිතා කළ හැකිය” යන පැරණි උපකල්පනය තවදුරටත් වලංගු නොවේ. සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට බොහෝ කාලයක් ගත විය හැකි අතර, බොහෝ පදිංචිකරුවන්ට (වැඩිහිටියන්, චලන සීමාවන් ඇති පුද්ගලයින්) දිගු පඩිපෙළ බැසීම සමහර විට කළ නොහැකි දෙයකි.
බොහෝ රටවල් ‘ආරක්ෂිත මහල්’ (Refuge floors) වෙත යොමු වී ඇත්තේ මේ නිසාය: ගින්නෙන් සහ දුමෙන් ආරක්ෂා කර ඇති, කුළුණු තුළ ඉදිකර ඇති මෙම මහල් ආරක්ෂිත රැඳවුම් ස්ථාන ලෙස ක්‍රියා කරයි. මේවා මගින් තදබදය අඩු කර දිගු පෝලිම් ඇතිවීම වැළැක්විය හැකිය. ඒවා මිනිසුන්ට විවේක ගැනීමට, වඩාත් නිදහස් පඩිපෙළකට මාරු වීමට හෝ ගිනි නිවන භටයන් පැමිණෙන තෙක් බලා සිටීමට ආරක්ෂිත ස්ථානයක් සපයයි.
ඊට අමතරව ‘ඉවත් කිරීමේ විදුලි සෝපාන’ (Evacuation elevators) ද වැදගත් වේ. මේවා පීඩනයට ඔරොත්තු දෙන පරිදි සකසා ඇති, ආරක්ෂිත ලොබි සහ උපස්ථ බලය සහිතව ගින්නක් අතරතුර ක්‍රියාත්මක කිරීමට නිර්මාණය කර ඇති විශේෂ විදුලි සෝපාන වේ. වඩාත් කාර්යක්ෂම ඉවත් කිරීමේ ක්‍රමවලදී පඩිපෙළ සහ විදුලි සෝපාන යන දෙකම එකවර භාවිතා කෙරේ.
මෙහි පාඩම පැහැදිලිය: උස් ගොඩනැගිලි වලින් ඉවත් කිරීම එක් මෙවලමක් මත පමණක් රඳා පැවතිය නොහැක. සිරස් අතට ජීවත්වීම (vertical living) වඩාත් ආරක්ෂිත බව සහතික කිරීම සඳහා පඩිපෙළ, ආරක්ෂිත මහල් සහ ආරක්ෂිත විදුලි සෝපාන යන සියල්ල භාවිතා කළ යුතුය.
Conversation අඩවියෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න