‘වයස්ගත වීමේ සිතියම’ මගින් කාලයත් සමඟ අපගේ ජාන වෙනස් වන ආකාරය හෙළි කරයි

විද්‍යාඥයින් මේ වන විට අප වයස්ගත වන ආකාරය පිළිබඳ – සෛල සහ DNA මට්ටම දක්වාම – ඉතා පැහැදිලි චිත්‍රයක් ගොඩනගමින් සිටිති.

රැලි වැටීම, හිසකෙස් පැසීම සහ හන්දිපත් වේදනාව වැනි වයස්ගත වීමේ බාහිර ලක්ෂණ යනු අපගේ සෛල තුළ සිදුවන අතිශය සංකීර්ණ ක්‍රියාවලියක මතුපිට ප්‍රකාශනයන් පමණි. මතුපිටට යටින්, අප වයස්ගත වන විට අපගේ ශරීරයේ සෑම අවයවයක්ම සියුම් අණුක පරිවර්තනයකට (Molecular transformation) භාජනය වේ.

දැන් විද්‍යාඥයින් එම ක්‍රියාවලිය දිග හැරෙන ආකාරය පිළිබඳ මෙතෙක් සකස් කළ වඩාත්ම පුළුල් සිතියම නිර්මාණය කර ඇත.

සාම්පල 15,000කට අධික සංඛ්‍යාවක දත්ත උපයෝගී කර ගනිමින් සිදුකළ මෙම සොයාගැනීම් (තවමත් සම-සමාලෝචනයක් හෙවත් peer review අපේක්ෂාවෙන් පවතින පූර්ව මුද්‍රණ අධ්‍යයනයකි) වයස්ගත වීම මගින් අපගේ ජෙනෝමයේ (Genome) මෙහෙයුම් පද්ධතිය හිස සිට දෙපතුල දක්වා නැවත ලියන ආකාරය පිළිබඳ පෙර නොවූ විරූ දසුනක් ලබා දෙයි.

ලොව පුරා සිටින පර්යේෂකයන් කණ්ඩායමක් මානව පටක වර්ග 17ක් හරහා DNA මෙතිලේෂණය (DNA methylation) හෙවත් ජාන ක්‍රියාකාරිත්වය පාලනය කරන රසායනික “ටැග්” සටහන් කරන පුළුල් ‘වයස්ගත වීමේ සිතියමක්’ (Ageing atlas) නිර්මාණය කිරීමට එක් විය.

හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය ජෙසී පොගනික් (Dr. Jesse Poganik) බීබීසී සයන්ස් ෆෝකස් (BBC Science Focus) වෙත පැවසුවේ, “DNA මෙතිලේෂණය යනු ඉතා සරලව කිවහොත් ඔබේ DNA වල සිදුවන රසායනික වෙනස් කිරීමක්,” යනුවෙනි. “මූලික මට්ටමේදී, එහි ප්‍රධාන කාර්යය වන්නේ කුමන ජාන ප්‍රකාශ විය යුතුද (Expressed) සහ කුමන ඒවා නොවිය යුතුද යන්න පාලනය කිරීමයි.”

(වයස්ගත වීමේ දෘශ්‍යමාන සලකුණු මගින් විද්‍යාඥයින් වැඩිදුර ඉගෙන ගන්නා සංකීර්ණ ජානමය ක්‍රියාවලීන් පිළිබිඹු කරයි)

(මෙතිල් කාණ්ඩ -මෙහි දිලිසෙන ගෝල ලෙස පෙනෙන්නේ- ජානයේ DNA හා සම්බන්ධ වූ විට යම් ජානයක ප්‍රකාශනය වෙනස් වේ)

මූලික වශයෙන් ඔබේ සෑම සෛලයකම ජෙනෝමය ආකාරයෙන් ඇත්තේ එකම ජානමය තොරතුරු ය. එසේ නම් පෙනහළුවල ඇති සෛල ඔබේ ආමාශයේ, සමේ සහ මොළයේ ඇති සෛලවලට වඩා වෙනස් ලෙස හැසිරෙන්නේ කෙසේද? ඒවා තමන් කුමක් විය යුතුද සහ කුමක් කළ යුතුද යන්න දන්නේ කෙසේද? මෙතිලේෂණය ඉටු කරන කාර්යභාරය මෙයයි.

“ජෙනෝමයේ විශේෂිත ස්ථානවල මෙතිලේෂණය සිදුවී තිබීම හෝ නොතිබීම මත පදනම්ව, විශේෂිත ජාන ක්‍රියාත්මක වීම හෝ අක්‍රිය වීම සිදුවේ,” යැයි පොගනික් පැවසීය.

නමුත් මේ සියල්ල වයස්ගත වීම ගැන අපට පවසන්නේ කුමක්ද? DNA මෙතිලේෂණය යනු ශරීරයේ ප්‍රධාන එපිජෙනටික් (Epigenetic) යාන්ත්‍රණයකි. එනම් DNA කේතය වෙනස් නොකර ජාන ක්‍රියාත්මක කිරීමට හෝ අක්‍රිය කිරීමට හැකි අණුක ස්විචයන් ය. මෙතිල් කාණ්ඩ (Methyl groups) ලෙස හැඳින්වෙන කුඩා අණු එකතු කිරීම හෝ ඉවත් කිරීම මගින්, ආහාර, ව්‍යායාම, ආසාදන සහ වෙනත් පාරිසරික සාධකවලට ප්‍රතිචාර වශයෙන් සෛලවලට සක්‍රීය ජාන සියුම් ලෙස සකස් කළ හැකිය.

වසර ගණනක් ගත වන විට, මෙම මෙතිලේෂණ රටා සුවිශේෂී ආකාරවලින් වෙනස් වන අතර එය ජීව විද්‍යාත්මක වයස මනින “එපිජෙනටික් ඔරලෝසු” සඳහා පදනම වේ. මේ දක්වා, එම ඔරලෝසු බොහොමයක් රුධිර සාම්පල මත පදනම් වූ අතර, අනෙකුත් පටක ද මෙම නීතිම අනුගමනය කරන්නේද යන්න ගැන විද්‍යාඥයින්ට නිශ්චිත බවක් නොතිබුණි.

“වයස්ගත වීමත් සමඟ මෙතිලේෂණය වෙනස් වන බව විද්‍යාඥයින් දන්නා නමුත්, එම වෙනස්කම් වයස්ගත වීමට හේතු වේද නැතහොත් වයස්ගත වීම එම වෙනස්කම් වලට හේතු වේද යන්න ඔවුන් නොදනී.”

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු සහ පර්යේෂණ කණ්ඩායම් නායකයෙකු වන මහාචාර්ය නිර් අයිනොන් (Prof. Nir Eynon) පැවසුවේ, “එම DNA මෙතිලේෂණ රටා පටක අතර වෙනස් වේ. රුධිරය මැනීමෙන් අක්මාවේ, මාංශ පේශිවල හෝ මොළයේ සිදුවන දේ අනිවාර්යයෙන්ම පිළිබිඹු නොවේ,” යනුවෙනි.

එම වෙනස නිසා පර්යේෂකයන්ට සොයා ගත හැකි සෑම පොදු දත්ත සමූහයක්ම රැස් කිරීමටත්, ජාත්‍යන්තර සහයෝගිතාකරුවන්ගෙන් නව දත්ත එක් කිරීමටත් සිදු විය.

එහි ප්‍රතිඵලය: මොළයේ සහ හෘදයේ සිට සම, අක්මාව, ආමාශය සහ දෘෂ්ටි විතානය දක්වා අවයව 17ක් ආවරණය වන පරිදි, ජෙනෝමය හරහා මිලියනයකට ආසන්න ස්ථාන විශ්ලේෂණය කිරීමයි.

වයස්ගත වීමේ සිතියමක් (An Atlas of Ageing)

පර්යේෂකයන් සොයා ගත්තේ මෙතිලේෂණය ටැග් ගෙන යන ජෙනෝමයේ කොටස පටක අතර පුළුල් ලෙස වෙනස් වන බවයි (ගැබ්ගෙලෙහි 38% සිට දෘෂ්ටි විතානයේ 60% ට වඩා වැඩි ප්‍රමාණයක් දක්වා). කෙසේ වෙතත්, වයස සමඟ සිදුවන වෙනස්කම් කැපී පෙනෙන ලෙස සමාන විය: අප වයස්ගත වන විට බොහෝ පටක අධි-මෙතිලේෂණය (Hypermethylation) දෙසට ක්‍රමයෙන් මාරු වන බව පෙනී ගියේය. එනම් DNA ස්ථාන වැඩි ප්‍රමාණයක් ටැග් වන අතර ඇතැම් ජාන ක්‍රියා විරහිත වේ.

කෙසේ වෙතත්, පටක දෙකක් මෙම ප්‍රවණතාවයට වෙනස් විය. අස්ථි මාංශ පේශි සහ පෙනහළු පටක කාලයත් සමඟ මෙතිල් ටැග් අහිමි කර ගත් අතර, එය අස්ථාවර ජාන ප්‍රකාශනයට හේතු විය හැක.

අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන වෛද්‍ය මැක්ස් ජැක්ස් පැවසුවේ, “බොහෝ පටක වයසට යත්ම අධි-මෙතිලේෂණය පෙන්නුම් කරයි. නමුත් ඔබ එය මෙතිලේෂණ කොටස් වලට වෙන් කළ විට, පටකයට ආවේණික රටා ලිහා ගැනීමට පටන් ගනී,” යනුවෙනි.

උදාහරණයක් ලෙස, මේද පටක සම්පූර්ණයෙන්ම පාහේ අධි-මෙතිලේෂණය දෙසට මාරු වන අතර මොළයේ වෙනස්කම් වඩාත් සමබර වේ. ජැක්ස් පැවසුවේ මෙම රටා මගින් ප්‍රදාහය (Inflammation) වැනි පොදු වයස්ගත වීමේ පීඩනයන්ට විවිධ අවයව ප්‍රතිචාර දක්වන ආකාරය හෙළි කළ හැකි බවයි.

සමස්තයක් වශයෙන්, මොළය, අක්මාව සහ පෙනහළු පටක වයසට සම්බන්ධ විශාලතම මෙතිලේෂණ වෙනස්කම් පෙන්නුම් කළ අතර සම සහ මහා බඩවැල ද සැලකිය යුතු ලෙස වෙනස් විය. මේ අතර අග්න්‍යාශය, දෘෂ්ටි විතානය සහ පුරස්ථි ග්‍රන්ථි පටක වයසට සම්බන්ධ අවම වෙනස්කම් පෙන්නුම් කළේය.

සහසම්බන්දතාවය මිස හේතුව නොවේ (Correlation, Not Causation)

පළමු බැල්මට දත්තවලින් පෙනී යන්නේ සමහර අවයව අනෙක් ඒවාට වඩා වේගයෙන් වයස්ගත වන බවයි. නමුත් මෙම වෙනස්කම් වයස්ගත වීමේ වේගය ලෙස අර්ථකථනය නොකළ යුතු බවට පර්යේෂකයෝ අනතුරු ඇඟවූහ. ඊට එක් හේතුවක් සංඛ්‍යා ලේඛන ය: සමහර පටක නියෝජනය කළේ සාම්පල දහස් ගණනක් වන අතර අනෙක් ඒවා දුසිම් කිහිපයක් පමණි.

(වයස්ගත වීමේ බලපෑම් ශරීරය පුරා දිස් වේ, නමුත් ඒවා පෙන්වන වේලාව සහ ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ)

අනෙක් කොටස සම්බන්ධතාවයයි. වෛද්‍ය පොගනික් පැවසුවේ, “වයස්ගත වීමේ කාර්යයක් ලෙස මෙතිලේෂණය වෙනස් වන බව අපි දනිමු. නමුත් ඒවා වයස්ගත වීමේ ක්‍රියාවලියට හේතුකාරක වන්නේ කෙතරම් දුරටද යන්න අපි නොදනිමු,” යනුවෙනි.

වෙනත් වචන වලින් කිවහොත්, මිනිසුන් වයසට යත්ම මෙතිලේෂණය වෙනස් වන බව විද්‍යාඥයින් දන්නා නමුත්, එම වෙනස්කම් වයස්ගත වීමට හේතු වේද නැතහොත් වයස්ගත වීම එම වෙනස්කම් ඇති කරයිද යන්න ඔවුන් නොදනී.

පොගනික් විශ්වාස කරන්නේ වයස්ගත වීමේදී අප දකින සමහර දේ සඳහා මෙම මෙතිලේෂණ වෙනස්කම් අවම වශයෙන් අර්ධ වශයෙන් හෝ වගකිව යුතු බවයි.

මෙම නව සිතියම කෙතරම් සිත්ගන්නාසුළු ද යත්, එය ශරීරය තුළ දිවෙන හවුල් අණුක තේමාවක් (Shared molecular theme) හෙළි කරයි.

“මෙම අධ්‍යයනයේ ඇති වඩාත්ම සිත්ගන්නා කරුණ නම්, වයස්ගත වීමේ ක්‍රියාවලියට යම් විශ්වීයත්වයක් (Universality) ඇති බව පෙන්වීමයි. අපි විවිධ පටක දෙස බලන විට, එකම මෙතිලේෂණ වෙනස්කම් බොහොමයක් අපට හමුවන අතර, එයින් ඇඟවෙන්නේ ක්‍රියාවලිය පිළිබඳ විශ්වීය යමක් ඇති බවයි.”

එසේ වුවද, සෑම වෙනස්කමක්ම හේතුකාරක නොවන බව ඔහු අනතුරු ඇඟවීය. මෙතිලේෂණයෙහි බොහෝ වෙනස්කම් සිදුවෙමින් පවතින බැවින්, සමහරක් වයස්ගත වීමේ කොටසක් බවත්, අනෙක් ඒවා එතරම් වැදගත් නොවන බවත් බොහෝ දුරට නිසැකය.

වයස්ගත වීමේ සිතියම මගින් වැදගත් වෙනස්කම් මොනවාද සහ නොඑසේ ඒවා මොනවාද යන්න අනාවරණය නොකළ හැකි නමුත්, එම ප්‍රශ්නය වඩාත් විස්තරාත්මකව ගවේෂණය කිරීම සඳහා විද්‍යාඥයින්ට එය දත්ත නිධානයක් සපයයි.

වෙනත් විද්‍යාඥයින්ට භාවිතා කිරීම සඳහා මෙම සිතියම අන්තර්ජාල ද්වාරයක් හරහා නොමිලේ ලබා ගත හැකිය. “අපි සැමවිටම අවධානය යොමු කළේ විවෘත මූලාශ්‍ර පර්යේෂණ (Open-source research) කෙරෙහි,” යැයි ජැක්ස් පැවසීය.

මීළඟට, පර්යේෂකයන් වයසත් සමඟ සියලු පටක හරහා විහිදෙන ඔවුන් සොයා ගත් සමහර විශ්වීය සබැඳි ගැන සොයා බැලීමටත්, වයස්ගත වීමේ ක්‍රියාවලියට බලපෑම් කළ හැකි වෙනත් ජෛව සලකුණු (Biomarkers) දෙස බැලීමටත් සැලසුම් කරති.

“පිළිකා සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතියට සාපේක්ෂව වයස්ගත වීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ඉතා අල්පය,” යැයි පොගනික් පැවසීය. මෙම සිතියම එම පරතරය පියවීමට විද්‍යාඥයින්ට උපකාර වනු ඇත.

BBB Science Focus සඟරාවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending