ආචාර ධර්ම ජීවිත වෙනස් කරයි: ප්‍රායෝගික ආචාර ධර්මවල වටිනාකම

යුනෙස්කෝ ලෝක දර්ශන දිනයේ 20 වැනි සංවත්සරය යනු දර්ශනයේ (Philosophy) වටිනාකම පිළිබඳව මෙනෙහි කිරීමට කදිම අවස්ථාවකි. මෙම අවස්ථාවට දායක වීමට ලැබීම මම ගෞරවයක් ලෙස සලකමි. මගේ වෘත්තීය ජීවිතය පුරාවටම, මගේ අවධානය යොමු වී ඇත්තේ අප ජීවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු දීමට භාවිතා කළ හැකි දර්ශනවාදයේ කොටස් වෙත සහ අප අන් අය සමඟ ජීවත් වන සමාජ හා දේශපාලන ව්‍යුහයන් වෙත ය.

මෙම කතාවේදී, මා වඩාත් හොඳින් දන්නා විෂය පථය දෙස මගේ අවධානය යොමු කරමි: එනම් ආචාර ධර්ම (Ethics) හෙවත් සදාචාර දර්ශනයයි. විශේෂයෙන්ම අපගේ ජීවිතයේ අප මුහුණ දෙන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට උත්සාහ කරන ආචාර ධර්මවල කොටස වන “ප්‍රායෝගික ආචාර ධර්ම” (Practical Ethics) ගැන මම කතා කරමි. දර්ශනයේ අනෙකුත් වඩාත් වියුක්ත (Abstract) ක්ෂේත්‍රවල වටිනාකමක් ඇති බව මම ප්‍රතික්ෂේප නොකරන නමුත්, දර්ශනයේ වටිනාකම වඩාත් පැහැදිලිව දැකගත හැක්කේ ප්‍රායෝගික ආචාර ධර්ම තුළිනි.

මගේ කේන්ද්‍රීය අදහස වචන තුනකින් ප්‍රකාශ කළ හැකිය: ආචාර ධර්ම ජීවිත වෙනස් කරයි. ආචාර ධර්ම තරම් මූලිකව හා ධනාත්මකව මෙය කළ හැකි වෙනත් ශාස්ත්‍රීය විනයක් මම නොදනිමි. ආචාර ධර්ම ගැන දාර්ශනිකව සිතීමෙන්, වඩාත් හොඳින් තර්කානුකූලව සිතා බලා සදාචාරාත්මක විනිශ්චයන් කිරීමට අපට හැකිය. මනා ලෙස සිතා බලා ගන්නා සදාචාරාත්මක විනිශ්චයන් වඩා හොඳ තීරණ වලට මග පාදයි. එම හොඳ තීරණ, අප එසේ නොසිතා ගන්නා ක්‍රියාමාර්ගවලට වඩා සදාචාරාත්මක ක්‍රියාවන් වෙත අපව යොමු කරයි. ආචාර ධර්ම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ජීවිතයක්, ආචාර ධර්ම සුළු කාර්යභාරයක් ඉටු කරන හෝ කිසිසේත් කාර්යභාරයක් ඉටු නොකරන ජීවිතයකට වඩා වෙනස් වූත්, යහපත් වූත් එකකි.

අප ආචාර ධර්ම ගැන දාර්ශනිකව සිතිය යුත්තේ අපගේ සහජ සදාචාරාත්මක විනිශ්චයන් (Intuitive moral judgments) අපව නොමඟ යැවිය හැකි බැවිනි. මෙම විනිශ්චයන් මගින් අතීත බලපෑම් රැසක් පිළිබිඹු කරයි. බොහෝ විට ඒවා අපගේ මුතුන් මිත්තන්ට – කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වූ සමාජශීලී ක්ෂීරපායින්ට – නොනැසී පැවතීමට, ප්‍රජනනය කිරීමට සහ ඔවුන්ගේ දරුවන් ස්වාධීන වන තෙක් ඇති දැඩි කිරීමට උපකාරී වූ හැඟීම් ය. එවැනි හැඟීම්වලට තමතමන් ප්‍රජාවේ සාමාජිකයන් කෙරෙහි ඇති සැලකිල්ල ඇතුළත් වන අතර, සමහර විට ඊට තම කණ්ඩායමේ අයට වඩා වෙනස් පෙනුමක් ඇති, වෙනස් භාෂාවක් කතා කරන හෝ වෙනස් ලෙස ක්‍රියා කරන අය කෙරෙහි උදාසීනත්වය හෝ දැඩි සතුරුකම ද ඇතුළත් වේ. කණ්ඩායම්වල සිටින අයට දරුවන් බොහෝ දෙනෙක් සිටින විට එම කණ්ඩායම් සාර්ථක වීමට වැඩි ඉඩක් ඇති බැවින්, ස්වයං වින්දනය සහ සමලිංගික ක්‍රියා වැනි ප්‍රජනනයට මග නොපාදන ලිංගික ක්‍රියා කෙරෙහි දැඩි ඍණාත්මක ආකල්ප ද කණ්ඩායම තුළ තිබිය හැකිය. පසුකාලීනව, ආගමික ඉගැන්වීම් මගින් මෙම පරිණාමීය ප්‍රවණතා ශක්තිමත් කළ හැකි අතර, වෙනස් වන තත්වයන් යටතේ ඒවා නුසුදුසු හෝ හානිකර වුවද, ඒවා වෙනස් කිරීම වඩාත් අපහසු කළ හැකිය.

අපගේ මුතුන් මිත්තන්ගේ ජාතිවාදී සහ ලිංගික පක්ෂග්‍රාහී සදාචාරාත්මක නැඹුරුවාවන් හඳුනා ගැනීමට සහ හෙළා දැකීමට අපට හැකි වුවද, අපගේම සදාචාරාත්මක පක්ෂග්‍රාහීත්වය (Moral biases) ගැන ද අප අන්ධ විය හැකිය. උදාහරණයක් ලෙස: මගේ Animal Liberation (1975) සහ Animal Liberation Now (2023) යන පොත්වල මා තර්ක කර ඇති පරිදි එවැනි එක් පක්ෂග්‍රාහීත්වයක් නම්, අපගේම විශේෂයේ (Species) සාමාජිකයෙකුට සතෙකුට ඇති සංජානන හැකියාවන් නොමැති වුවද, ඕනෑම මිනිස් නොවන සතෙකුට වඩා ඉහළ සදාචාරාත්මක තත්වයක් අපගේම විශේෂයේ සියලුම සාමාජිකයින්ට ලබා දීමට අප තුළ ඇති සූදානමයි.

උදාහරණයක් ලෙස, කිසිදු දැනුවත්භාවයක් නොමැති සහ සාමාන්‍යයෙන් උපතින් සති කිහිපයක් ඇතුළත මිය යන, මොළය නිසි ලෙස නොවැඩුණු (Anencephalic) ළදරුවන් ඇතුළු සියලුම මිනිසුන්ට ලබා දෙන ආරක්ෂාව සලකා බලන්න. නමුත් මිනිස් නොවන සතුන්ට මෙම ආරක්ෂාව ප්‍රතික්ෂේප කෙරේ. මාරාන්තික හෘද දෝෂයක් ඇති වෙනත් ළදරුවෙකුට බද්ධ කිරීම සඳහා මොළය නොවැඩුණු ළදරුවෙකුගේ හදවත ඉවත් කිරීම මිනීමැරුම් චෝදනාවකට ලක් විය හැකි අතර, එම අරමුණ සඳහාම ඌරෙකුගේ හදවත ඉවත් කරන වෛද්‍යවරයකුට, එම ක්‍රියාවලිය සාර්ථක වුවහොත්, ප්‍රශංසා හිමි වේ. නමුත් මෙම වෙනස සාධාරණීකරණය කළ හැකිද? නැතහොත් එය ජාතිවාදය හෝ ලිංගිකත්වය මෙන් අප අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම කර ගත් පක්ෂග්‍රාහීත්වයක්ද? මම මෙම කාරණය ගැන මෙහිදී වැඩිදුර තර්ක නොකරමි, මන්ද එය මගේ කතාවෙ ප්‍රධාන අදහසට බාධාවක් විය හැකි බැවිනි – මම මෙම උදාහරණය ඉදිරිපත් කරන්නේ දැඩි ලෙස සිතා බැලීමකින් සහ තර්ක කිරීමකින් තොරව, අප සිතන තරම් සදාචාරාත්මකව අප ක්‍රියා නොකරන බව පෙන්වීමට පමණි.

ප්‍රායෝගික ආචාර ධර්ම යනු කුමක්ද?

ප්‍රායෝගික ආචාර ධර්ම (සමහර විට ව්‍යවහාරික ආචාර ධර්ම ලෙසද හැඳින්වේ) විවිධ ප්‍රායෝගික ප්‍රශ්න සාකච්ඡා කරයි. මේවායින් සමහරක් ප්‍රායෝගික ආචාර ධර්මවල පුළුල් ක්ෂේත්‍රය තුළ විශේෂිත ක්ෂේත්‍ර බිහි වීමට හේතු වී ඇත. උදාහරණ කිහිපයක් පහත දැක්වේ:

  • දිළිඳුකම සහ ධනවත්කම: බිලියනයකට අධික ජනතාවක් ධනවත්ව සිටිති (එනම්, ඔවුන්ගේ මූලික අවශ්‍යතා සියල්ල සපුරා ගැනීමෙන් පසු, සුඛෝපභෝගී දේ සඳහා වියදම් කිරීමට ඔවුන්ට මුදල් තිබේ). ඒ අතරම, මිලියන 700කට ආසන්න ජනතාවක් අන්ත දරිද්‍රතාවයේ ජීවත් වෙති. (ලෝක බැංකුව විසින් නිර්වචනය කර ඇති පරිදි, ආහාර, නවාතැන් සහ මූලික සෞඛ්‍ය පහසුකම් වැනි ඔවුන්ගේ අවශ්‍යතා විශ්වාසදායක ලෙස සපුරා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති නම් පුද්ගලයෙකු අන්ත දරිද්‍රතාවයේ පසුවේ). අන්ත දරිද්‍රතාවයේ සිටින පුද්ගලයින්ට උපකාර කරන ඵලදායී පුණ්‍යායතන ඇතත්, ඒ සියල්ලන්ටම උපකාර කිරීමට ඔවුන්ට සම්පත් නොමැත. මෙම තත්වය තුළ, අන්ත දරිද්‍රතාවයේ සිටින අයට උපකාර කිරීමට ධනවතුන්ට ඇති බැඳීම් මොනවාද?
  • සත්ව ආචාර ධර්ම: සතුන්ගේ සදාචාරාත්මක තත්වය කුමක්ද? අපගේ නිවෙස්වල සිටින සුරතල් සතුන් ගැන අප සැලකිලිමත් විය හැකි නමුත්, අපි වෙනත් කොඳු ඇට පෙළ ඇති සතුන් විශාල සංඛ්‍යාවක් භාණ්ඩ ලෙස සලකමු. ලොව පුරා, සෑම වසරකම කොඳු ඇට පෙළ ඇති සතුන් බිලියන 200 කට වඩා ආහාර සඳහා ඇති දැඩි කරනු ලැබේ. ඔවුන්ගෙන් අති බහුතරයක් ලාභ ධාන්‍ය, සෝයා බෝංචි හෝ මාළු පිටි, ඉහළ මිලක් ඇති සත්ව මාංශ, බිත්තර හෝ කිරි බවට පත් කිරීම සඳහා වූ කර්මාන්තශාලා තුළ ගාල් කර ඇත. මෙහි ඇති වෙනස වන්නේ මෙම පරිවර්තනය සිදු කරන යන්ත්‍ර සංවේදී ජීවීන් (Sentient beings) වීමයි. ඕනෑම මනුෂ්‍යයෙක් සම්බන්ධයෙන් පැහැදිලිව වැරදියැ’යි පෙනෙන ආකාරයකට මිනිස් නොවන සතුන්ට සැලකීම පිළිගත හැකි යැයි කීමට හේතුවක් තිබේද? එසේත් නැතිනම් මෙය, ඉහත යෝජනා කළ පරිදි, වෙනත් ජාතියක මිනිසුන් වහල්භාවයට පත් කිරීම යුක්තිසහගත යැයි බොහෝ සුදු ජාතිකයින් වරක් සිතූ ජාතිවාදයට සමාන අගතියක් ද?
  • පාරිසරික ආචාර ධර්ම: අපගේ පැවැත්ම සහ අපගේ ජීවන තත්ත්වය සඳහා එහි ඇති වැදගත්කම ද සැලකූ විට ස්වභාවික පරිසරය ගැන සැලකිලිමත් වීමට අපට බොහෝ හේතු තිබේ. නමුත් ශාක, ගංගා සහ පරිසර පද්ධති වැනි සංවේදී නොවන ස්වභාවධර්මයේ (Non-sentient nature) වටිනාකම කුමක්ද? දුර්ලභ ජීවී විශේෂ අපගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු නොකළත්, ඒවා වඳ වී යාම වැළැක්වීම වැදගත්ද?
  • දේශගුණික ආචාර ධර්ම: ෆොසිල ඉන්ධන භාවිතයෙන් සහ මස්ල කිරිග බිත්තර සඳහා අප ඇති දැඩි කරන සතුන් විශාල සංඛ්‍යාවකින් නිකුත් වන හරිතාගාර වායු වර්ග ද, මාරාන්තික තාප තරංග, කුණාටු, ගංවතුර සහ නියඟ සඳහා දායක වන ආකාරයෙන් අපගේ ග්‍රහලෝකයේ දේශගුණය වෙනස් කරයි. මෙය පාලනය නොකළහොත්, මෙම විමෝචනය මුහුදු මට්ටම ඉහළ යාමට, දේශගුණික සරණාගතයින් මිලියන සිය ගණනක් නිර්මාණය කිරීමට සහ පෘථිවියේ වැඩි ප්‍රමාණයක් මිනිස් ජීවිතයට නුසුදුසු බවට පත් කිරීමට හේතු විය හැක. ස්වෛරී රටවල් පවතින ලෝකයක, මෙම කරුණු නව සදාචාරාත්මක ප්‍රශ්න මතු කරයි: අතීතයේ සහ වර්තමානයේ විවිධ මට්ටමේ හරිතාගාර වායු විමෝචනයන් සහිත එක් එක් රටවල වගකීම් තීරණය කරන්නේ කෙසේද? මෙය රජයන්ට පමණක් සලකා බැලිය යුතු ප්‍රශ්නයක්ද, නැතහොත් පුද්ගලයන් තමන් වගකිව යුතු විමෝචනයන් අඩු කළ යුතුද?
  • ජෛව ආචාර ධර්ම (Bioethics): වෛද්‍ය විද්‍යාව සහ ජෛව වෛද්‍ය විද්‍යාව දියුණු වන විට, අප නව සදාචාරාත්මක ගැටළු වලට මුහුණ දෙමු:
    • රෝගියෙකු ජීවත් කරවීම ඔවුන්ට ප්‍රතිලාභයක් වීම නතර වන අවස්ථාවෙන් ඔබ්බට ඔවුන්ව ජීවත් කරවීමට හැකි නම්, අප ජීවිතය දිගු කිරීම කෙතරම් දුරට කළ යුතුද?
    • මොළය ක්‍රියා විරහිත වූ විටත් හදවත ස්පන්දනය කරවීමට සහ රුධිරය සංසරණය කරවීමට හැකි යුගයක, අප මරණය නිර්වචනය කළ යුත්තේ කෙසේද?
    • අප ජීවත් වන්නේ “සාමාන්‍ය” කාලවල වුවද වසංගතයක් අතරතුර වුවද, වෛද්‍ය සම්පත් සැමවිටම සීමිතය. අපි ඒවා බෙදා වෙන් කළ යුත්තේ කෙසේද?
    • මිනිසුන් සහ මිනිස් නොවන සතුන් යොදා ගන්නා ජෛව වෛද්‍ය පර්යේෂණ සඳහා අප පැනවිය යුතු සීමාවන් මොනවාද?
    • දැන් අපට යුවළයන්ට රසායනාගාර තුළ (in vitro) මිනිස් කලල කිහිපයක් නිපදවීමට ඉඩ දී, පසුව ඔවුන් කැමති දරුවා බවට පත්වීමට හොඳම අපේක්ෂාව ඇති කලලය තෝරා ගැනීමට ඉඩ දිය හැකිය. යුවළකට තමන්ගේම ජානවලට ආවේණික වූ හැකියාවන් ඉක්මවා යන හැකියාවන් සහිත දරුවෙකු ලැබෙන පරිදි කලලයක ජාන වෙනස් කිරීමේ හැකියාව ද අපි වර්ධනය කරමින් සිටිමු. මෙම දැනුම භාවිතා කිරීමට අප ඉඩ දිය යුතුද? එසේ නම්, කුමන සීමාවන් යටතේද?
  • AI සහ ආචාර ධර්ම: කෘතිම බුද්ධියේ (AI) ශීඝ්‍ර දියුණුව AI ආචාර ධර්ම කෙරෙහි ඇති උනන්දුව ඉහළ යාමට හේතු වී තිබේ. සාකච්ඡා කෙරෙන ගැටළු පරාසය, AI මගින් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වීමේ සම්භාවිතාව සහ ඒ ගැන අපට කළ හැකි දේ, ස්වයං-ධාවන මෝටර් රථ පාලනය කරන AI ක්‍රමලේඛනගත කිරීමේදී කළ යුතු තේරීම්, සහ සුපිරි බුද්ධිමත් AI අපගේ ස්වාමියා බවට පත්වී අපගේ විශේෂය වඳ වී යාම දක්වා විහිදේ. මීට අමතරව, යම් දිනක අපට සංවේදී ජීවියෙකු විය හැකි AI එකක් හමුවීමට ඉඩ ඇත. එසේ නම්, ඊට හිමිවන සදාචාරාත්මක තත්ත්වය කුමක්ද?

ප්‍රායෝගික ආචාර ධර්ම: ආචාර ධර්මවල ඉදිරි පෙළ

ආචාර ධර්මවල අරමුණ ජීවිත වෙනස් කිරීම නම්, ප්‍රායෝගික ආචාර ධර්ම යනු එහි කැපුම් දාරයයි (Cutting edge). ආචාර ධර්ම පිළිබඳ කටයුතු කරන දාර්ශනිකයන් ඉහත සඳහන් කළ සෑම ක්ෂේත්‍රයකටම සහ වෙනත් ප්‍රායෝගික සදාචාරාත්මක ප්‍රශ්න සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇත. උදාහරණයක් ලෙස, ගෝලීය දරිද්‍රතා ක්ෂේත්‍රයේ, සදාචාර දර්ශනය තුළ මුල් බැසගත් ‘ඵලදායී පරාර්ථකාමී ව්‍යාපාරය’ (Effective altruism movement), බොහෝ දෙනෙකුට වැඩිපුර සහ වඩාත් ඵලදායී ලෙස පරිත්‍යාග කිරීමට පෙළඹවීමක් ඇති කර ඇති අතර, එමඟින් මිලියන සංඛ්යාත ජනතාවගේ ජීවිත බේරා ගැනීමට හෝ වැඩිදියුණු කිරීමට හැකි වී ඇත.

නූතන සත්ව ව්‍යාපාරය ගැන ද එවැනිම දෙයක් කිව හැකිය. සමාජ විද්‍යාඥයින් වන ජේම්ස් ජැස්පර් සහ ඩොරති නෙල්කින් The Animal Rights Crusade: The Growth of a Moral Protest (1992) හි නිරීක්ෂණය කළ පරිදි: “1970 ගණන්වල අගභාගයේදී සත්ව අයිතිවාසිකම් ව්‍යාපාරයේ වින්නඹු මාතාවන් ලෙස දාර්ශනිකයන් කටයුතු කළහ.”

ආචාර ධර්ම ඇත්තෙන්ම වෙනසක් ඇති කරයිද?

වඩා හොඳ සදාචාරාත්මක විනිශ්චයන් කිරීමෙන් තනි පුද්ගල හා සාමූහික වශයෙන් වඩා හොඳ තීරණ ගැනීමටත්, ඒ අනුව වඩාත් සදාචාරාත්මක ක්‍රියාවන්ටත් මග පාදනු ඇතැයි යන උපකල්පනය මම මුලින් සඳහන් කළෙමි. සදාචාරාත්මක දර්ශනයේ අරමුණ ජීවිත වෙනස් කිරීම බවට වන මගේ තර්කය සම්පූර්ණ කිරීම සඳහා, සදාචාරාත්මක දර්ශනයට සැබවින්ම ජීවිත වෙනස් කළ හැකි බවට කිසියම් සාක්ෂියක් තිබේදැයි මම ඇසිය යුතුය.

ආචාර ධර්ම ඉගැන්වීමේදී, අප පන්තිවල සාකච්ඡා කළ සදාචාරාත්මක ගැටළු ගැන අදහස් වෙනස් කරගත් බොහෝ සිසුන් මට හමු වී ඇත. ඔවුන්ගෙන් සමහරෙකුට එම වෙනස ඔවුන්ගේ වෘත්තිය තෝරා ගැනීම, ඔවුන් කන දේ සහ ඔවුන් උපයන මුදලින් කරන දේ ඇතුළුව වැදගත් ආකාරවලින් ඔවුන්ගේ ජීවිත වෙනස් කිරීමට හේතු වී ඇත. කිසි දිනෙක මගේ ශිෂ්‍යයන් නොවූ වෙනත් අය මට විද්‍යුත් තැපැල් කර පවසන්නේ මගේ ලිවීම් හෝ මා පැවැත්වූ දේශන ඔවුන් නිර්මාංශ (Vegetarian) හෝ වීගන් (Vegan) වීමට, පුණ්‍ය කටයුතු සඳහා කරන පරිත්‍යාග වැඩි කිරීමට, නව සංවිධානයක් ආරම්භ කිරීමට හෝ එක් අවස්ථාවක හෝ දෙකකදී ආගන්තුකයෙකුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පවා හේතු වූ බවයි. ආචාර ධර්ම ඉගැන්වීම සහ ලිවීම වෙනසක් ඇති කරන බව විශ්වාස කිරීමට මෙය මට හේතු වී ඇත.

2017 දී එරික් ෂ්විට්ස්ගෙබල් (Eric Schwitzgebel) එම විශ්වාසය පරීක්ෂා කිරීමට මට අභියෝග කළේය. එරික්, ජොෂුවා රස්ට් සමඟ එක්ව මීට පෙර ආචාර ධර්ම පිළිබඳ විශේෂඥ මහාචාර්යවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම අධ්‍යයනය කර තිබූ අතර, විවිධ අංශ අටකදී, ඔවුන් ආචාර ධර්ම පිළිබඳ විශේෂඥ නොවන දර්ශනවාදයේ මහාචාර්යවරුන්ට හෝ දර්ශනවාදය හැර වෙනත් දෙපාර්තමේන්තුවල මහාචාර්යවරුන්ට වඩා හොඳින් හැසිරෙන්නේ නැති බව සොයාගෙන තිබුණි. ආචාර ධර්ම පිළිබඳ විශේෂඥ දැනුමක් ලැබීම සහ එය ඉගැන්වීම මහාචාර්යවරුන් වඩාත් සදාචාරාත්මක ලෙස හැසිරීමට හේතු නොවූයේ නම්, ආචාර ධර්ම පන්තියකට සහභාගී වීම පමණක් වැඩි බලපෑමක් ඇති කළේ නම් එය පුදුමයට කරුණකි.

එරික් මට ආචාර ධර්ම පන්තියක් මස් අනුභවය කෙරෙහි ඇති කරන බලපෑම පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. ඔහු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (රිවර්සයිඩ්) විශාල හඳුන්වාදීමේ ආචාර ධර්ම පන්තියක් ඉගැන්වීය. පන්තියේ සිසුන් කුඩා කණ්ඩායම් සාකච්ඡා සඳහා ද සහභාගී වූහ. ඔහුගේ අදහස වූයේ මෙම කණ්ඩායම්වලින් අහඹු ලෙස තෝරාගත් අඩක මස් අනුභව කිරීමේ ආචාර ධර්ම ගැන සාකච්ඡා කිරීමත්, අනෙක් කණ්ඩායම්වල පාලක කණ්ඩායමක් (Control group) ලෙස ක්‍රියා කරන වෙනත් මාතෘකාවක් සාකච්ඡා කිරීමත්ය. එවිට මස් අනුභව කිරීමේ ආචාර ධර්ම සාකච්ඡා කළ කණ්ඩායම්වල සිටියත් නැතත්, සියලුම සිසුන්ගේ මස් පරිභෝජනයට බලපෑම් කළ හැකි වෙනත් සාධක ඉවත් කළ හැකිය.

එවැනි අධ්‍යයන සැලසුමක් මුහුණ දෙන පැහැදිලි ගැටළුව වන්නේ සිසුන්ගේ ආහාර ගැනීමේ පුරුදු සොයා බැලීමයි. යමෙකුට සිසුන්ගෙන් ඔවුන් කෑ දේ වාර්තා කරන දිනපොතක් තබා ගන්නා ලෙස ඉල්ලා සිටිය හැකි නමුත් එවැනි වාර්තා අවංක වේද? එරික්ට වඩා හොඳ අදහසක් තිබුණි. ඔහු උගන්වන සිසුන් බොහොමයක් විශ්ව විද්‍යාල ආපනශාලාවෙන් කන අතර, ඔවුන්ගේ ආහාර සඳහා මුදල් ගෙවීමට ඔවුන්ගේ ශිෂ්‍ය හැඳුනුම්පත් භාවිතා කරයි. ආපනශාලා කළමනාකාරීත්වයේ සහයෝගයෙන් සහ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ඇතිව, සිසුන් ඇණවුම් කළේ මොනවාද සහ ඊට මස් ඇතුළත්ද යන්න හඳුනා ගැනීමට ඔහුට හැකි විය. මස් අනුභව කිරීමේ ආචාර ධර්ම සාකච්ඡා කළ සිසුන් ආපනශාලාවෙන් අඩු මස් ප්‍රමාණයක් ඇණවුම් කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා අධ්‍යයනයක් සැලසුම් කිරීමට මා සහ තවත් දාර්ශනිකයෙකු වන බ්‍රැඩ් කෝක්ලට් සම්බන්ධ කර ගැනීමට ඔහු මට ආරාධනා කළේය.

මෙම අධ්‍යයනයට සිසුන් 1,143 ක් සම්බන්ධ විය. සිසුන්ගෙන් හරි අඩකට නිර්මාංශත්වය ආරක්ෂා කරන දාර්ශනික ලිපියක් කියවීමට අවශ්‍ය වූ අතර, පසුව මස් වළක්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටින වීඩියෝවක් නැරඹීමේ විකල්පය සහිත කුඩා කණ්ඩායම් සාකච්ඡාවක් පැවැත්වීය. අනෙක් භාගය පාලක කණ්ඩායමක් විය. දිළිඳුකමින් පෙළෙන ජනතාවට උපකාර කිරීම සඳහා පරිත්‍යාග කිරීම පිළිබඳව සමාන ද්‍රව්‍ය සහ සාකච්ඡාවක් ඔවුන්ට ලැබුණි. ආපනශාලාවෙන්, අපි සිසුන් 476 දෙනෙකුගෙන් ආහාර මිලදී ගැනීම් 6,000 කට ආසන්න දත්ත ලබා ගත්තෙමු. මස් අනුභව කිරීමේ ආචාර ධර්ම කියවා සාකච්ඡා කළ හෝ නොකළ සිසුන් සමඟ මිලදී ගැනීම් හඳුනාගෙන තිබුණද, අපට ලැබුණු දත්ත නිර්නාමික කර තිබූ නිසා අපට කිසිදු නම් කරන ලද ශිෂ්‍යයෙකුගේ මිලදී ගැනීම් හඳුනා ගැනීමට නොහැකි විය.

එරික් පුදුමයට පත් කරමින්, ප්‍රතිඵලය වූයේ මස් ආචාර ධර්ම කණ්ඩායමේ සිසුන් අතර මස් මිලදී ගැනීමේ සංඛ්‍යානමය වශයෙන් වැදගත් (Statistically significant) පහත වැටීමකි (52% සිට 45% දක්වා). පන්තියෙන් පසු සති කිහිපයක් යන තෙක් මස් මිලදී ගැනීමේ මෙම අඩු අනුපාතය පවත්වා ගෙන ගියේය. පුණ්‍යාධාර ලබා දීමේ කණ්ඩායමේ මස් මිලදී ගැනීමේ මට්ටමේ වෙනසක් සිදු නොවීය (සහ එම සිසුන් පුණ්‍යාධාර සඳහා වැඩිපුර ලබා දුන්නේද යන්න සොයා ගැනීමට අපට ක්‍රමයක් නොතිබුණි).

අපට සොයා ගැනීමට හැකි වූ පරිදි, අපගේ අධ්‍යයනය රසායනාගාර පසුබිමක නොව සැබෑ ලෝකයේ, ශිෂ්‍ය හැසිරීම් කෙරෙහි විශ්ව විද්‍යාල මට්ටමේ දර්ශන පන්තිවල බලපෑම පිළිබඳව නිසි ලෙස පාලනය කරන ලද පළමු විමර්ශනය විය. මස් අනුභවයේ අඩුවීම නාටකාකාර නොවූ නමුත්, පන්ති කාමරයේ සදාචාර දර්ශනයට සිසුන් කන දේ වෙනස් කළ හැකි බව පෙන්වීමට එය ප්‍රමාණවත්ය.

එබැවින් ප්‍රායෝගික ආචාර ධර්මවලට සැබවින්ම ජීවිත වෙනස් කළ හැකි බව පැහැදිලිය. මෙය වැදගත් ය, මන්ද එවැනි වෙනසක් ලෝකය වඩා හොඳ තැනක් කිරීමට දායක වන බැවිනි. ඇත්ත වශයෙන්ම, මෙම දියුණුව සිදුවන්නේ වඩාත් සදාචාරාත්මකව ක්‍රියා කරන පුද්ගලයින් ඔවුන්ගේ ක්‍රියාවන්ට ලක්වන මිනිසුන්ගේ හෝ වෙනත් සංවේදී ජීවීන්ගේ ජීවිත වැඩිදියුණු කරන නිසා පමණක් නොවේ; සදාචාරාත්මකව ක්‍රියා කරන සහ අරමුණක් සඳහා ජීවත් වන පුද්ගලයින්, එසේ නොකරන අයට වඩා ප්‍රීතිමත් සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉඩ ඇති බව අධ්‍යයන කිහිපයකින් පෙන්වා දී ඇති නිසා ද වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending