පිළිකා රෝගීන්ගෙන් විශාල කොටසක් වෙනස් කළ හැකි පුරුදු දෙකක් හා සම්බන්ධ වේ: දුම්කොළ භාවිතය සහ මධ්‍යසාර පරිභෝජනය.


වළක්වා ගත හැකි පිළිකා රෝගී තත්ත්වයන්ට ප්‍රධානතම හේතුවක් වන්නේ දුම්කොළ භාවිතයයි. – ඡායාරූපය: Jorge Sanz/Getty

ලොව පුරා වාර්තා වන නව පිළිකා රෝගීන්ගෙන් 40%ක් පමණ වළක්වා ගත හැකි මට්ටමේ පවතින බව, රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක පිළිකා වර්ග දුසිම් ගණනක් විශ්ලේෂණය කරමින් සිදු කළ ප්‍රථම ගෝලීය විමර්ශනයකින් හෙළි වී තිබේ.

මෙම අධ්‍යයනයට අනුව 2022 වසරේදී වාර්තා වූ පිළිකා රෝග විනිශ්චයන් මිලියන හතක් පමණ “වෙනස් කළ හැකි අවදානම් සාධක” (Modifiable risk factors) සමඟ සම්බන්ධ වී ඇත. එනම් රෝගය වැළඳීමේ සම්භාවිතාව අඩු කිරීම සඳහා වෙනස් කිරීමට, පාලනය කිරීමට හෝ කළමනාකරණය කිරීමට හැකි සාධකයි. සමස්තයක් ලෙස ගත් කල, ලොව පුරා පිළිකා රෝගීන් වාර්තා වීමට බලපා ඇති ප්‍රධානතම සාධකය දුම්කොළ භාවිතය වන අතර, ආසාදන සහ මධ්‍යසාර භාවිතය පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවේ.

මෙවැනි අවදානම් සාධක මඟහරවා ගැනීම, “අනාගත පිළිකා බර අඩු කර ගැනීම සඳහා අපට කළ හැකි බලවත්ම ක්‍රමවලින් එකක්” බව ප්‍රංශයේ ලියොන්හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර නියෝජිතායතනයේ පිළිකා වසංගත රෝග විද්‍යාඥ සහ අධ්‍යයනයේ සම-කර්තෘ හැනා ෆින්ක් පවසයි. මෙම අධ්‍යයනය අද Nature Medicine සඟරාවේ පළ විය.

කනගාටුදායක ප්‍රවණතාවක්

ලොව පුරා රෝගාබාධ හා මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙස පිළිකාව තවදුරටත් පවතින අතර, වර්තමාන ප්‍රවණතාවය මෙලෙසම පැවතුණහොත් ඉදිරි දශක කිහිපය තුළ රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. පෙර අධ්‍යයනයන් ඇස්තමේන්තු කර තිබුණේ ගෝලීය පිළිකා මරණවලින් 44%ක් පමණ මඟහරවා ගත හැකි හෝ පාලනය කළ හැකි හේතු නිසා සිදුවන බවයි. ෆින්ක් පවසන පරිදි, රෝගය වැළැක්වීමේ හැකියාව පිළිබඳ මෙතෙක් පැවති ඇස්තමේන්තු බොහෝ දුරට අවධානය යොමු කර තිබුණේ මරණ සංඛ්‍යාව මිස රෝගීන් වාර්තා වීම පිළිබඳව නොවන අතර, ඒවා බොහෝ විට තනි අවදානම් සාධකයක් පිළිබඳව පමණක් විමර්ශනය කර තිබුණි.

මෙම අඩුව පිරවීම සඳහා, ෆින්ක් සහ ඇගේ සගයන් රටවල් 185ක් පුරා පිළිකා වර්ග 36ක් සඳහා 2022 වසරේ ගෝලීය දත්ත පරීක්ෂා කළහ. දුම්කොළ භාවිතය, මධ්‍යසාර පරිභෝජනය සහ ආසාදන වැනි පිළිකා සඳහා හේතු වන බව තහවුරු කර ඇති වෙනස් කළ හැකි අවදානම් සාධක 30ක් මෙම අධ්‍යයනයට ඇතුළත් විය.

මධ්‍යසාර සහ දුම්පානය

2022 වසරේදී ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 18.7ක් වාර්තා විය. ඉන් දළ වශයෙන් 38%ක් – හෙවත් මිලියන 7.1ක් – මඟහරවා ගත හැකි හේතු නිසා ඇති වූ ඒවා වේ. ගෝලීය වශයෙන් දුම්කොළ භාවිතය ප්‍රධානතම සාධකය වූ අතර, වළක්වා ගත හැකි රෝගීන්ගෙන් 15%කට එය වගකිව යුතුය. ඉන්පසුව ආසාදන (10%) සහ මධ්‍යසාර භාවිතය (3%) පසුවේ. පෙනහළු, ආමාශය සහ ගැබ්ගෙල පිළිකා, වළක්වා ගත හැකි සමස්ත පිළිකා රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරයි.

කාන්තාවන් අතර වාර්තා වූ නව රෝගීන් මිලියන 9.2න් 30%ක් පමණ වළක්වා ගත හැකි ඒවා විය. මෙයින් 11%කට වඩා වැඩි ප්‍රමාණයක් ගැබ්ගෙල පිළිකා ඇති කරන ප්‍රධාන සාධකය වන හියුමන් පැපිලෝමා වයිරසය (HPV) වැනි ආසාදන සමඟ සම්බන්ධ විය. මෙම රෝගීන්ගෙන් බහුතරයක් වාර්තා වූයේ සහරා අප්‍රිකාව වැනි අඩු සහ මධ්‍යම ආදායම් ලබන කලාපවලිනි. මේ අතර, උතුරු ඇමරිකාව සහ යුරෝපයේ බොහෝ ප්‍රදේශ ඇතුළත් ඉහළ ආදායම් ලබන කලාපවල කාන්තාවන් අතර පිළිකා සඳහා ප්‍රධානතම හේතුව වූයේ දුම්පානයයි.

ගෝලීය වශයෙන් පිරිමින් සඳහා විශාලතම අවදානම් සාධකය වූයේ ද දුම්පානයයි. එය වළක්වා ගත හැකි පිරිමි පිළිකා රෝගීන් මිලියන 4.3න් හතරෙන් පංගුවකට පමණ වගකිව යුතුය. අඩු සහ ඉහළ ආදායම් ලබන කලාප දෙකෙහිම පිරිමින් අතර පිළිකා සඳහා ප්‍රධාන හේතුව ලෙස එය තවදුරටත් පවතී. දෙවන ස්ථානයට පත් වූයේ ආසාදන වන අතර – ඒවා බොහෝ විට අප්‍රිකාව, ආසියාව සහ දකුණු ඇමරිකාවේ සමහර කොටස්වල දක්නට ලැබුණි – මධ්‍යසාර භාවිතය තෙවන ස්ථානයට පත්විය.

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි QIMR Berghofer වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය වසංගත රෝග විද්‍යාඥ ඩේවිඩ් වයිට්මන් පවසන්නේ මෙම අධ්‍යයනය පිළිකා පාලන ප්‍රයත්නයන් තීව්‍ර කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන විශිෂ්ට කාර්යයක් බවයි. මෙම පුළුල් දත්ත පද්ධතිය මඟින් පර්යේෂකයන්ට කලාප අතර විශ්වසනීය සංසන්දනයන් සිදු කිරීම පහසු වනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

විවිධ කලාපවල පිරිමින් සහ ගැහැණුන් සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක පදනම් කරගනිමින් පිළිකා වැළැක්වීමේ උපාය මාර්ග සකස් කිරීමට මෙම සොයාගැනීම් යොදාගනු ඇතැයි ෆින්ක් බලාපොරොත්තු වේ. “මෙය සෑම තැනකටම එක හා සමානව ගැලපෙන (one-size-fits-all) ප්‍රවේශයක් නොවෙයි,” ඇය පවසයි.

Scientific American සගරාවට ජෙමා කොන්රෝයි විසින් ලියන ලද ලිපියකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending