ප්‍ර‍ථම වතාවට නාසා ආයතනය විසින් නිකුත්කර ඇති  මේ පින්තුරයෙන් දැන් ඔබට විශ්වයේ ඇති  ගැලැක්සි හෙවත් මන්දාකිණි 10,000 කට අධික ප්‍ර‍මාණයක් එකවර දැකගත හැකියි.  (ගැලැක්සියක් යනු තාරකා හා ග්‍ර‍හවස්තු බිලියන සිය ගණනාවකින් සංයුක්තව ගැඹුරු විශ්වයේ පිහිටි අති දැවැන්ත වලාකුළක්  වැනි  දෙයක්. අපේ සූර්යා නමැති තාරකාව පිහිටා ඇත්තේ එවැනි තාරකා බිලියන 200 -400 අතර සංඛ්‍යාවකින් සමන්විත Milky way හෙවත් ‘ක්ෂීරපථ ගැලැක්සිය’ තුළයි.) අජටාකාශ ගතකොට ඇති හබල් දුරදක්නය සහිත චන්ද්‍රිකාව දශකයක් තුළ වාර 841ක් පෘථිවිය වටා කරකැවෙමින් සංයුක්තව ඡායාගත කළ ගැලැක්සිවලින් සමන්විත මේ පින්තුරය පරිණාමය වෙන විශ්වය ගැන මෙතෙක් බිහිකල පරිපූර්ණම ජායාරූපය බව නාසා ආයතනය පවසයි.

මේ පින්තුරයේ තැනින් තැන  දියමන්ති මෙන් දිලිසෙන්නේ  අප වෙසෙන ක්ෂීරපථ ගැලැක්සියේ ඇති තනි තාරකාවන්ය.  නිල්පැහැයේ සිට රතු පැහැය දක්වා  විවිධ වර්ණයෙන් දිලෙන කුඩා සරුව පිත්තල කැබැලි වැනි දේවලින් පෙනෙන්නේ වෙනස් වෙනස් වයස් වල ගැලැක්සි බව හබල් දුරදක්න කණඩායමේ සාමාජික රොජියර් වින්ඩ්හොර්ස්ට් පවසයි. ඒ අතරින් පාරජම්බුල කිරණ විහිදුවන  නිල්පැහැති ගැලැක්සි මීට වසර බිලියන 5-10 දක්වා කාලයක් අතර බිහිවූ වයසින් අඩු  එහෙත් උෂ්ණත්වයෙන් වැඩි ගැලැක්සිය. රතුපැහැයෙන් පෙන්වන්නේ විශ්වය බිහිවූ මහාපිපිරීම සිදුවී අවරුදු මිලියන සිය ගණනක් ඇතුලත බිහිවූ වඩා පැරණි ගැලැක්සිය.

“තාරකාවක් මුලින්ම බිහිවූ විට බබලන්නේ පාරජම්බුල පාටෙන්. ඒත් කාලය ගතවෙමින් විශ්වය පුළුල්වෙන විට තාරකාව ඈත්වෙනවා. ඈතට යන්න යන්න තාරකාව නිල්පාටේ සිට රතුපැහැයට හැරෙනවා. රෙඩ්ෂිෆ්ට් (රක්තවිස්ථාපනය)යනුවෙන් හඳුන්වන්නේ ඒකයි” වින්ඩ්හොර්ස්ට් වැඩිදුරටක් විස්කර කළා.

අජටාකාශයේ ඇති හබල් දුරදක්නයට 2012දි පාරජම්බුල කිරණ වලට වඩා සංවේදී කැමරා සවිකිරීමේන් පසුව මෙතෙක් අභ්‍යවකාශයේ සැඟව තිබූ තරුණ ගැලැක්සි දැක ගැනීමට අපට හැකිව තිබෙනවා. මෙවැනි ජායාරූප නිරීක්ෂණයට ලක් කිරීමෙන් විශ්වය පැතිරීම පිලිබඳ ක්‍රියාවලියේ වැදගත් මං සලකුණු ගැන වඩා නිවැරදි අවබෝධයක් තාරාක විද්‍යාඥයන්ට ලබාගත හැකියි.

විශ්වයේ හා ගැලැක්සි වල බිහිවීම ගැන වැඩිවිස්තර දැනගැනීමට අවශ්‍ය නම් මේ වෙබ් අඩවියේ ඇති මහා ඉතිහාසය – විශ්වය බිහිවීම මැයෙන් යුත් පිටුවට පිවිසෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending