මනුෂ්‍යන් සහ අනෙකුත් සත්වයන් අතර නියත ඥාතිත්වයක් ඇති බව පහදා දෙමින් පරිණාමය පිළිබඳ මුල්ම අදහස පළ කළ අයගෙන් කෙනෙකි  මීට වසර 800කට පෙර කාලිංග මාඝ ලංකාව ආක්‍ර‍මණය කළ අවධියේ බැග්ඩෑඩයේ විසූ පර්සියන් ජාතික ශාස්ත්‍ර‍ඥයෙකු වූ නසීර් රඩ්-ඩින් අල්-තුසි. බැග්ඩෑඩ් කාලිපේට්යේ ස්වර්ණමය අවධියට අයත් ක්‍රි.ව 1201දී උපත ලද අල්-තුසි,  කවියෙකු දාර්ශනිකයෙකු, ගණිතඥයෙකු හා තාරකා විද්‍යාඥයෙකු වශයෙන්ද කීර්තියක් ලබා තිබූ අයෙක්.

අල්-තුසි ගේ මතයට අනුව විශ්වය මුලින්ම සැදී තිබුණේ එකම මූල ද්‍ර‍ව්‍යකින් නමුත් කල්ප කාලාන්තරයක් ගත වු පසු ඒ මූලද්‍ර‍ව්‍ය වෙනස් වී ගොස් ඇතැම් ඒවා ඛනිජ ද්‍ර‍ව්‍ය බවටත් තවත් ඒවා ශාක සහ සත්වයන් බවටත් විකාශය වුණා. ඔහු ලියූ අක්ලාක්-ඉ-නාසි නම් ග්‍ර‍න්ථයෙන් ජීවීන්ගේ ධුරාවලියක් ඉදිරිපත් කළ අල්-තුසි ශාක වලට ඉහළින් සත්වයන් සහ අනෙක්‍ සතුන්ට ඉහළින් මනුෂ්‍යන්ද තැබිය යුතු බව අදහස් කළා.

ජීවීන් මුලින්ම ජලයේ බිහිවී අනතුරුව ගොඩබිමට එන්නට ඇති බව බුදුන් වහන්සේ විසූ සමයට ආසන්නව ක්‍රි.පු. 550 ජීවත් වූ ඇනක්සිමැන්ඩර් නම් ග්‍රීක ජාතික දාර්ශනිකයා යෝජනා කළේය. එහෙත් ඉන් පසු ක්‍රි.පූ. 340 ජීවත් වූ ප්ලේටෝට අනුව සත්ව විශේෂ වෙනස්නොවනසුලුය. දැනට වඩා බොහෝ සත්ව විශේෂ මිහිපිට ජීවත් වූ නමුත් පැටවුන් වැදීමට හැකි මට්ටමට එළඹීමට තරම් සාර්ථක වූ සත්ව විශේෂ පමණක් ඉතුරු වූ බව ක්‍රි.පූ 300 ග්‍රීසියේ ජීවත් වූ එපිකියුරස් කම් දාර්ශනිකයා පැවසීය.

සත්වයන්ට සවිඥානික කැමැත්ත ඇතිවීම මනුෂ්‍යන්ගේද සවිඥාණය බිහිවීමේ ලා එක් වැදගත් පියවරක් බව අල්-තුසි පැවසුවා. සවිඥාණිකව ආහාර සොයා යාමට හා  ඇතැම් දේවල් ඉගෙන ගැනීමට සත්වයන්ට හැකිවීම සත්වයන් විචාර බුද්ධියෙන් යුතු ජීව විශේෂයක් වශයෙන් සැලැකීමට හේතු වේ යැයි  අල්-තුසි කල්පනා කළා. මැනවින් පුහුණු කළ අශ්වයෙකු හෝ රාජාලියෙකු සිටින්නේ අනෙකුත් සත්වයන්ට වඩා දියුණු මට්ටමක යැයි පැවසු අල්-තුසි මනුෂ්‍යන් පරිසමාප්තියට පත්වීමේ එක් වැදගත් පියවරන් වූයේද  මනුෂ්‍යන්ගේ පුහුණුව බව ප්‍ර‍කාශ කළා. කාලාන්තරයක ගත වන විට සියලු ජීවීන් වඩා පරිණත විශේෂයන් ලෙස වෙනස් වන බව පළ කළ ඔහු මනුෂ්‍යයන් සිටින්නේ පරිණාමීය හිණිපෙතේ මැද භාගයේ බවත් තමන්ට අභිමත පරිදි මනුෂ්‍යන්ට මීට වඩා බෙහෙවින් දියණු මට්ට්මකට පැමිණි හැකි බවත් සිය පොතන් කියා සිටියා. කාලය ගතවන විට ජීවීන් විශේෂ වෙනස්වීම් වලට ලක් වන බව පමණක් නොව කලින් කිසිදු ජීවියෙකු නොපැවති ලොවක ජීවීන් බිහි වූ බව මීට වසර 800 කට පෙර  පළ කරමින් පරිණාමය සියලු සත්වයන්ගේ ආවේනික ලක්ෂණයක් බව කියා සිටි ප්‍ර‍ථම තැනැත්තා අල්-තුල්සිය.

(The Science Book: Big ideas simply explained ඇසුරෙනි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending