විෂබීජ යනුවෙන් අප ඇතැම් ක්ෂුද්‍ර‍ජීවීන් හැඳින්වීමට පුරුදුව සිටියද  සමස්තයක් වශයෙන් ගත් විට මිනිස් සිරුර තුළ හා මතුපිට ජීවත්වන ක්ෂුද්‍ර‍ජීවී හෙවත් බැක්ටීරියා ප්‍ර‍ජාව අපේ ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. අපේ ප්‍ර‍තිශක්ති පද්ධතිය නිසිලෙස පන්නරය කිරීම, රෝගකාරක බැක්ටීරියා පළවා හැරීම පමණක් නොව අපේ බරප්‍ර‍මාණය පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද වැදගත් මෙහෙයක් මේ ක්ෂුද්‍ර‍ජීවී ප්‍ර‍ජාව අතින් ඉටුවේ. මෑතකදී විද්‍යාඥයෝ මිනිස් නාභිය තුළ ජීවත් වන ක්ෂුද්‍ර‍ජීවින් ගැන උනන්දුවක් දැක්වූහ. මිනිස් සිරුරේ විවිධ තැන්වල මෙන්ම අන් සත්වයන්ගේ සිරුර මතු පිට හා අභ්‍යන්තරයේද මේ ඇසට නොපනෙන ක්ෂුද්‍ර‍ජීවීහු වෙසෙති.

උදාහරණයක් ලෙස කරදරකාරී මදුරුවන් ගැන විමසා බලමු. පසතුළ ජීවත් වන ක්ෂුද්‍ර‍ජීවියෙකු වන ක්‍රොමොබැක්ටීරියම් සීඑස්පී (Chromobacterium Csp) නම් බැකටිරියාව පැනමා රටේ මදුරුවන්ගේ  බඩවැලේද ජීවත්වන බව මීට  අවුරුදු කිහිපයකට පෙර මදුරුවන් පිළිබඳ කළ පර්යේෂණයකදී හෙලිවිය. ඉන් අනතුරුව සිදුකළ පර්යේෂණ වලින් පෙනී ගියේ මදුරු බඩවැල නිවහන කරගත් මේ අපූරු බැක්ටීරියාව මදුරුවන්ගෙන් බෝවෙන මැලේරියාව හා ඩෙන්ගි උණ වැනි රෝග මර්ධනය සඳහාද යොදා ගත හැකි බවයි. ඊට හේතුව ක්‍රොමොබැක්ටීරියම් සීඑස්පී බැකටීරියාව රෝග කාරක මදුරුවාගේ ජීවිත කාලය කෙටි කරනවා පමණක් නොව මදුරුවාගේ  ලාවා පැටවුන්ද විනාශ කිරීමයි. ඒ හැර ඩෙන්ගු වයිරසය හා මැලේරියා පරපෝෂිතයාට වාහකයෙකු වීමට මදුරුවාට ඇති හැකියාවද මේ බැක්ටීරියාව නිසා නැතීවී යයි. රසායනාගාර පර්යේෂණ වලදී ක්‍රොමොබැක්ටීරියම් සීඑස්පී බැකටීරියාව සෘජු ලෙසම ඩෙන්ගු වයිරසය හා මැලේරියා පරපෝෂිතයන් විනාශ කරනු නිරීක්ෂණය කිරීමට හැකිවිය. හොසේ ලුයිස් රෙමිරාස් ප්‍ර‍ධාන පර්යේෂකයන් විසින් කරන ලද මේ පර්යේෂණයේ සොයා ගැනීම් PLoS Pathogens ශ්‍රාස්ත්‍රීය සඟරාවේ  Chromobacterium Csp_P Reduces Malaria and Dengue Infection in Vector Mosquitoes and Has Entomopathogenic and In Vitro Anti-pathogen Activities නමින් පළ වී තිබේ.

මේ පර්යේෂකයන් පවසන අන්දමට වැඩිකල් නොයා මේ ක්‍රොමොබැක්ටීරියම් සීඑස්පී බැක්ටිරියාව නව වර්ගයක ඖෂධයක් නිපදවීමට හෝ පරිසර හිතකාමි කෘමිනාෂකයක් නිපදවීමට විද්‍යාඥයන්ට මග පෙන්වනු ඇත. ඒ අතරම බොහෝ රෝග වැලැක්වීමේ ක්‍ර‍ම මෙන්ම මෙහිදීද එකම ක්‍ර‍මයක් යෙදීමෙන් පමණක් රෝග වැලැක්විය හැකිවෙතැයි අදහස් නොකරන බවද පර්යේෂකයෝ පවසති.  මදුරුවන් ගෙන් බෝවෙන රොග වැළැක්වීමේ ලා ඖෂධ, එන්නත් සහ සෞඛ්‍ය අධ්‍යාපනයට ලැබෙන වැදගත් කම අවතක්සේරු නොකළ යුතු බව පෙන්වා දෙන ඔවුහු ක්ෂුද්‍ර‍ජීවීන් ලවාම විෂකුරු ක්ෂුද්‍රජීවින් මර්දනය කිරීම ඒ අතරට එක්විය හැකි තවත් එක් ක්‍ර‍මයක්  පමණක් බවද පවසති.

 

සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending