රුධිර පට්ටිකා (platelet) යනු රුධිරයේ පවතින සෛලීය ස්වරූපය ගන්නා දේහාණු විශේෂයකි. ඇට මිදුලූ වල හටගන්නා මේවායේ ආයු කාලය දින පහකි. රුධිරය ඝන මීටරයක රුධිර පට්ටිකා 250,000 ක් පමණ අඩංගු වේ. රුධිර පට්ටිකා තුළ අඩංගු ත්‍රොම්බොප්ලාස්ටින් නම් ද්‍රව්‍ය රුධිරය කැටි ගැසීමට අවශ්‍ය රසායනයකි. ඩෙංගු වැනි වෛරස් රෝග මෙන්ම පිළිකා වැළඳුනු විට රුධිරයේ ඇති රුධිර පට්ටිකා ප‍්‍රමාණය අඩු විය හැක.

වසරකට රුධිර පට්ටිකා ඒකක මිලියන දෙකක් පමණ පාරවිලයනය (දායකයෙතුගෙන් ලබා ගත් රුධිරය වෙනත් අයෙකුට ලබාදීම) කරයි. එයින් වැඩි කොටසක් ලබා දෙන්නේ පිළිකා රෝගීන් සඳහාය. මෙසේ පාරවිලයනය සඳහා අවශ්‍ය රුධිර පට්ටිකා ලබා ගන්නේ රුධිර දායකයන් ගෙනි.

2019 වර්ෂය වන විට රුධිර පට්ටිකා සඳහා වන ඉල්ලූම සැපයුමට වඩා ඒකක 533,000 කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. නමුත් රුධිර පට්ටිකා සඳහා වන අපේක්ෂිත ඉල්ලූම රුධිර දායකයින් ලබා දෙන රුධිරයෙන් පමණක් සපුරා ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු විය නොහැක.

රුධිර පට්ටිකා සඳහා වන ඉල්ලූම සපුරාලීම සඳහා ජූලි මාසයේ දී බි‍්‍රංහැම් හි ජොනතන් තෝන් ගේ කණ්ඩායම, බොස්ටන් කාන්තා රෝහල හා එක්ව ජෛව ප‍්‍රතිකි‍්‍රයාකාරක චිපයක් (chip) නිපදවන ලදී. මෙය මගින්  රුධිර පට්ටිකා අප ද්‍රව්‍ය වලින් තොරව, අඛණ්ඩව සැපයිය හැකි බවට ඔවුන් සහතික වෙයි.

මෙම ජෛව ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ කාර්යය වන්නේ ද ඇට මිදුලූ වල කාර්යයමයි. (එනම් ඇට මිදුලූ නිපදවන රුධිර පට්ටිකා වලට සෑම අතින්ම සමාන රුධිර පට්ටිකා කායික විද්‍යානූකූලව නිපදවීමයි) මනුෂ්‍ය  සෛල ආධාරයෙන් නිපදවා ගන්නා (රුධිර පට්ටිකා නිපදවීමට දායක වන විශාල, ඇට මිදුළු සෛල වන) මෙගාකරියෝසයිට්(megakaryocytes) නම් සෛල වර්ගය මෙම ජෛව ප‍්‍රතිකි‍්‍රයාකාරකයට පොම්ප කර, ශරීරය තුළ රුධිර සංසරණය සිදු කරන බලයන්ට අනුරූප බලයන් ලබා දුන් විට, එම ෙසෙල රුධිර පට්ටිකා නිපදවෙයි.

මිනිස් අවශ්‍යතාවයන්ට සරිලන රුධිර පට්ටිකා ප‍්‍රමාණයක් නිපදවීමට හැකි වන සේ ජෛව ප‍්‍රතිකි‍්‍රයාකාරකය වැඩි දියුණු කිරීම තෝන් ගේ බලාපොරොත්තුවයි. රුධිර පට්ටිකා වැඩි ප‍්‍රමාණයක් නිශ්පාදනය පමණක් ප‍්‍රමාණවත් නොවන බව ද ඒවා ආරක්ෂාකාරී ලෙස රෝගීන් වෙත ලබා දිය යුතු බව ද ඔහු පවසයි.

 

Discoverසගරාවේ පලවූ Platelet Production, Pumped Up නමැති ලිපිය ඇසුරෙන් සකස් කළේ චන්දන තෙන්නකෝන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending