ජලයේ උෂ්ණත්වය වැඩිවීම කොරල් බ්ලීචින්ග් (coral bleaching) නමින් හැඳින්වෙන කොරල් ඛාදනය වී සුදු වීමට හේතුවේ. ඔස්ට්‍රෙලියාවේ ක්වීන්ස්ලන්ත වෙරලට ඈතින් පිහිටි මිර්මිඩොන් කොරල් පරය ජලයේ උෂණත්වය වැඩිවීමෙන් කොරල් වලට සිදුවන හානිය පිළිබඳව හොඳ නිදසුනකි. මේ ආරක්ෂිත කොරල් පරයට යන එකම මිනිසුන් කන්ඩායම වසර තුනකට වරක් නිරීක්ෂන කටයුතු සඳහා එහියන විද්‍යාඥයන් පමනි. අවසන් වරට 2004 දී ඔවුන් එහි ගිය විට දැක ගන්නට ලැබුනේ “ බෝම්බ දමා විනාශ කර දමන ලද ප්‍රදේශයක් මෙන්” පෙනෙනු කැඩී බිඳී ගිය කොරල් පරයකි. මෙයට හේතුව තදින් ඛාදනය ව සුදුවූ කොරල් පරයේ කුඩුම්බිය කැඩීමෙන් සුදු පැහැ මල කොරල් පමණක් මතුව පෙනීමයි. සප්‍රාණික කොරල් වැටි දැක ගැන්මට ලැබුනේ ජලයේ උෂ්ණත්වය අඩු ගැඹුරු ප්‍රදේශවල පමනි.
මුහුදු ජලයේ උෂ්ණත්වය එක්තරා ප්‍රමාණයක් ඉක්මවා ගිය විට කොරල් ඛාදනය වීම සිදු වේ. රස්නයෙන් යුක්ත ජලයේදී කොරල් මරණීය සුදු පැහැයක් ගන්නේ එබැවිනි. ජලයේ උණුසුම වැඩිවීම තාවකාලික නම් කොරල් යථා තත්වයට පත් වීමට ඉඩ තිබෙන නමුත් උෂ්ණත්වය නොකඩවා පැවැතියහොත් කොරල් පර නියත වශයෙන්ම මරණයට පත් වී සුදු මැලිව යයි. කොරල් ඛාදනය වීම 1930 ටපෙර අසන්නට ලැබුනේ ඉතාමත්ම කලාතුරකින් පමණි. 1970 වන තෙක්ම සුළු ප්‍රමානයේ කොරල් ඛාදනයවීම් වාර්තා විය. එහෙත් ලෝක පරිමාණයෙන් විශාල ලෙස කොරල් සුදුමැලිවීම හා අභාවය උත්සන්න වූයේ 1998 එල්-නීනෝ වාරය සමඟය.
දේශගුණ විපර්යාසය නිසා බලවත්ම තර්ජනය එල්ල වී තිබෙන කොරල් පරය ඔස්ට්‍රෙලියාවේ මහා බාධක පරය වේ. 1998 දී එහි සමස්ථ ප්‍රමාණයෙන් 42% ඛාදනය වීමට භාජනය වූ අතර 18% ක් නිත්‍ය ලෙසම විනාශ විය.
2002 දී එල්-නිනෝ තත්ත්‍වය උත්සන්න වු විට මහා බාධක පරය වට කොට වර්ග කිලෝමීටර පන්ලක්ෂයක් පුරා පැතිරුණු උණුසුම් ජල තටාකයක් ඇති විය. මේ නිසා කොරල් ඛාදනය විශාල වශයෙන් උත්තේජනය වීම හේතුකොට ගෙන ඇතැම් වෙරලාසන්න ප්‍රදේශ වල කොරල් පරයන් වර්ධනය වීමට දායක වන කොරල් ප්‍රමාණයෙන් 90%ක්ම විනාශ වූ අතර එහි බල පෑම මහා බාධක පරයෙන් 60% ප්‍රමාණයක් පුරා පැතිරින. ජලය සිහිල් ගතියෙන් පැවැතුණු ප්‍රදේශ වල පමණක් කොරල් පරය යථා තත්ත්‍වයෙන් පැවතුනි.
2006 වසර මහා බාධක පරයට තවත් විනාශකාරී වසරක් ලෙස පෙනුනද වාසනාවකට මෙන් “ලැරි” නමින් හැඳින් වුනු සුළි සුළඟ පැමිනීම පරයට මහත් ආශීර්වාදයක් විය. ගල්පරය සුදු මැලිවීමට හේතුවන උෂ්ණත්වය සාගරයෙන් උරා ඇද ගත් “ලැරි’ සුළි සුළඟ වියරුවෙන් හමා ගොස් ක්වීන්ස්ලන්තයේ නිවාස 50,000 ක් විනාශ කර දැමීය. මෙනයින් කොරල් පරය තව දුරටත් විනාශ නොවී තවත් වසරකට හෝ සුරැකුණු නමුත් ඒ සඳහා ගෙවිමට සිදුවූ වන්දිය සුළුපට් නැත.
ප්‍රධාන පෙලේ කොරල් පර නිරීක්ෂකයන් 17 දෙනෙකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් විසින් පෙන්වා දී ඇති පරිදි වසර 2030 වන විට ලෝකයේ ඇති කොරල් පර බොහෝමයක් සහමුලින් විනාශ වී යන අතර දැඩි ප්‍රවේසමකින් ආරක්ෂා කරනු ලබන රක්ෂිත කොරල් පර පවා විශාල වශයෙන් හානියට පත් වනු ඇත.
කොරල් පර විශේෂඥයන් පවසන අන්දමට ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍යය එක සෙන්ටිග්‍රෙඩ් අංශකයකින් වැඩිවු විට මහා බාධක පරයේ මුළු කොරල් ප්‍රමාණයෙන් 82% ශ්වේත ඛාදනයට භාජනය ව මිය යනු ඇත. උෂ්ණත්වයේ වැඩි වීම සෙන්ටිග්‍රෙඩ් 2° ක් වුවිට විනාශය 97% ක් වනු ඇති අතර එය සෙන්ටිග්‍රෙඩ් 3° ක් නම් මුළු මහත් මහා බාධක කොරල් පරය සහමුලින්ම විනාශ වනු ඇත.
අචාර්ය ටිම් ෆ්ලැනරිගේ We are the weather makers නමැති පොතෙන්





ප්‍රතිචාරයක් ලබාදෙන්න