වෙස් මාරුවක රසවත් අන්දරය
ශරීරය ප්‍රතිමාවක් වගේ නොව, සැමදා එකම විදිහට පවතින්නේ නැත. වයසින් වැඩෙන විට සිරුර වෙනස් වේ. ඇස් හැර නැති පූස් පැටවෙකු කලක් යද්දී බළළෙක් බවට පත්වෙයි. අහිංසක බිළිදෙකු හොඳින් සිරුර වැඩුණු වැඩිහිටියෙක් වන්නේ සිරුරේ වෙනස්කම් පාමිනි. එහෙත් මේවා සම්පූර්ණ වෙනස්වීම නොවේ. ඉතා කුඩා අවධියේ ශරිරාංග වැඩීමක් මිස පූර්ණ පරිවර්තනයක් සිදුනොවේ. එහෙත් සත්ව ලෝකයේ ඇතැම් විශේෂ අතර, ඔව් ඇතැම් කෘමීන්, (ජල්ලිවගේ සිරුරක් ඇති) ලොඩියන්, මැඩියන් හා ඇටිකිත්තන් – වැනි රූපාන්තරයට ලක්වන විශේෂ අතර ශරිරය පූර්ණ පරිවර්තනයට ලක්වන බව අපි දනිමු. එහෙත් කෙසේ වෙතත්, රූපාන්තරය (metamorphosis) යන ක්‍රියාවලිය ගැන අපට ඒ හැටි වැටහීමක් නැතිවෙන්න පුළුවන. රූපාන්තරය ලෙස සත්ව විද්‍යාඥයන් දක්වන, සත්ත්වයෙකු බාලක හෝ තරුණ හෝ අවධියේදී සිරුරේ මූලික විපර්යාසයක් ඇති වී වැඩිහිටි සතෙකු බවට පත්වන, ඒ ක්‍රියාවලිය ගැන හැඳින්වීමක් කිරීම මේ ලිපියේ අරමුණයි.
රූපාන්තරය සිදුවන ආකාරය ගැන අපේ එදිනෙදා ජීවිතයෙන් නිදසුනක් ගතහොත්, දළඹුවෙකු, සමනළයෙකු ලෙස පරිවර්තනය දැක්විය හැකිවේ. දළඹුවෙකු හා සමනලයෙකු එකට තබා බැලුවොත් රූපාන්තරයට ලක්වී ඇත්තේ එකම සතා යයි අපට සිතා ගත නොහැක. අපට පෙනෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සතුන් දෙදෙනෙකි. පරිසරයේදී ඔවුන් ගැවසෙන්නේ, හැසිරෙන්නේ දෙආකාරයකටය. දළඹුවා ගහ කොළ හෝ පොළවේ බඩ ගා යන අතර සමනළයා පියාපත් විහිදා අහසේ සැරිසරයි. ඉතින් මේසා විශාල පරිවර්තනයක් ඇතිවන්නේ කෙසේද? සමනළයන් මෙන්ම මීමැස්සන්, කුහුඹුවන් වැනි බොහෝ කෘමීන් අතර මේ සංසිද්ධිය දැක ගත හැකිය. එවුන්ගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි හතරක් පෙන්නුම් කෙරේ. එනම්, ඩිම්බ (බිත්තර), කීට, පිලව් හා සුහුඹුල් (වෘද්ධ) යන අවස්ථාවයි.
රජ සමනළයකුගේ (Monarch Butterfly) ජීවන චක්‍රය
රූපාන්තරයේ මූලික ක්‍රියාවලිය කෙබඳුද? වැඩිහිටි සමනළයෙකු ඉතා කුඩා බිත්තරයක් දමයි. සාමාන්‍යයෙන් මෙය සිදුකෙරන්නේ ගසක කොළයක (පත්‍රයක), නටුවේ හෝ වෙනත් කොටසකය. මේ සෑම බිත්තරයක්ම, එක් සංසේචිත සෛලයක් ලෙස හැඳින්විය හැකි වුවත්, ඒ සෑම බිත්තරයකම වර්ධනය වූ කෘමියෙකුගේ ශාරිරික හැඩය පිළිබඳ නිශ්චිත සැලැස්මක් (DNAතුළ) සහ බීජාන්තයක (yolk) ස්වරූපයක් වර්ධනයට අවශ්‍ය බලශක්තිය සැපැයීම පිණිස අහරත් අඩංගු වේ. කෙසේ වෙතත් බීජ දැමීම සදහා සුදුසුම ශාකය සෙවීම පිණිස මව් සමනළයා අපමන වෙහෙසක් දරන්නීය. ඊට හේතුව ඩිම්බයෙන් මතුවන කීටයන් බොහෝ විට ආහාරයට ගන්නේ සුවිශේෂීවූ රුක් නිල්ලක් පමණක් වීමයි. ආහාර ‘ගබඩාව’ තුළම උප්පත්තිය ලබන කීටයා, වහා සිය පලපුරුදු ප්‍රියතම ‘රාජකාරිය’ අරඹයි. ඒ ආහාර ගැනීමයි. කීටයාගේ ජීවිතය බෙහෙවින් සරලයි- ආහාර ගනියි, මළපහ කරයි, වැඩෙයි. ඇත්තටම, කොපමණ නම් වේගයෙන් වැඩෙයිද කියතහොත් උගේ සමට ඔරොත්තු නොදෙන තරමට නිරතුරුවම වැඩෙයි. එහෙයින් කීටයකු වර්ධනය වෙද්දී සාමාන්‍යයෙන් පස් හය වතාවක් හැව (සම) අරියි. මේ හම හැකිළීමේ ක්‍රියාදාමය හඳුන්වන්නේ හැව ගැහුම (molt) යනුවෙනි. හැව හැරිම අතර තුර සෑම අදියරක්ම අතුරුරුව (instar) ලෙස දැක්වෙයි.
කීටයන් වේගයෙන් එහා මෙහා යා හැකි පිරිසක් නොවේ. අනික ඔවුන් වසන්නේ එළිමහනෙහිය. එහෙයින් ඔවුන් පහසුවෙන්ම විලෝපියන්ගේ (ගොදුරු සොයන්නන්ගේ) ඉලක්ක බවට පත්වෙයි. එහෙයින් ඔවුන්ගේ පැවැත්මට ආධාර පිණිස ක්‍රමවේද දෙකක් පරිණාමය වී ඇත. එකක් සැඟවී සිටීමයි. එනම් වේෂාන්තරය (camouflage) හෙවත් වෙස් ගැනීමයි. දෙවැන්න රසායනික අවි (toxin හෙවත් ජීවියකු නිපදවා ගන්නා විෂ) භාවිතයයි. වේෂාන්තරය විවිධ ස්වරූප ගනී. සමහරක්විට කීටයෝ කුරුල්ලන්ගේ මලපහ කිරීම් ලෙස පෙනී සිටිති. ඇතැම් විටෙක අතු රිකිලි බඳුය. තවත් සමහරුන්ගේ ඇස් ඉපිලී භයානක ස්වරූපයක් ගන්නේ ගොදුරු පතා එන්නන් බිය කිරීමටය. ආරක්ෂක ක්‍රියා පිළිවෙතක් ලෙස විෂ නිපදවන කීටයෝ ඇතැම් විට විවිධ පැහැ ගනියි. ඒ වර්ණ ගැන්ම විලෝපියන්ට අවවාද කරන දැන්වීමක් බඳුය. ‘මා ආහාරයට ගන්නේ නම් විෂවීම ගැන වග කියනු නොලැබේ.’ මෙය නොතකා කීටයන් ආහාරයට ගන්නා කුරුල්ලෝ සහ විලෝපියෝ ලෙඩ වෙති.
කීටයෝ ආහාර ගැනීමට රුසියෝය. ඔවුන් විශාල ප්‍රමාණයක් ආහාරයට ගන්නා නමුත් කෑම ජාති තෝරා බේරා ගැනීමට පෙළඹෙති. රාජකීය කීටයන් උදාහරණයකට ගතහොත් ඔවුන් ආහාරයට ගන්නේ milkweed නම් ශාක පමණකි. ඇති තරම් බුදිමින් සති කිහිපයක් ගතවෙද්දී කීටයෝ සිය ජීවිතවල විශාලතම පෙරළිය සඳහා සැරසෙති. ඔවුන් ආරක්ෂිත ස්ථානයක් (ගසක පත්‍රයක යටි පැත්ත වැනි) තෝරා ගෙන එය කුඩා කෝෂයක් ගොතයි. උගේ පසුපස කොනෙහි ඇති වෙලික්‍රෝවක්(ගැටවටු සහිතබඳිනයක්) බඳු කොකු යොදා ගෙන කෝෂයට යාවෙන ඌ හිස පහතට සිටින සේ එල්ලෙයි. එවර, කීටයා හැව හරින විට ඒ හැව යටින් අලුතෙන් මතුවන්නේ පිලවෙකි. සමනළ පිලවා හඳුන්වන්නේ සුවන් පිලවෙකු ලෙසය. මුලදී මෘදු ගතියෙන් දැක්වුවද පිලවාගේ පිටත පැයක් ඇතුළත පමණ දැඩි වෙන්නේ ආරක්ෂිත ආවරණයක් නිර්මාණය කරමිනි. එහෙත් එල්ලී සිටියදී උන් ආහාර ගැනීමක් සිදු නොකරන අතර පිටත ලෝකය සමග ගනුදෙනුවක් නොකරයි. සියල්ල සිදුවන්නේ පුපා අභ්‍යන්තරයෙහිය. සුවන් පිලවෙකු අභ්‍යන්තරයෙහි සිදුවන දෑ ගැන වඩා වේගයෙන් ධාවනය වන චිත්‍රපටියක් ලෙස නරඹන්නේ නම් කීටයාගේ සිරුරෙහි කොටසක් ලොඳ බවට පත්වන්නාක් මෙන් පෙනී යනු ඇත. එහෙත් ඇත්තටම සිදුවන්නේ, කීටයා (දළඹුවා) තමන්ගේ සිරුරෙන්ම වැඩි කොටසක් ජීර්ණය කර ගැනීමයි. ඌ මේ සඳහා යොදා ගන්නේ ශාක පත්‍ර හා අනෙකුත් දෑ ජීර්ණය කර ගැනීම පිණිස උපයෝගී කරගත්, ස්‍රාවමය. එසේ ජීර්ණය කර ගන්නා ශරීර කෙටස් රූපාන්තරය සඳහා අවශ්‍ය බලශක්තිය සපයයි. එය සිදුවන්නේ මෙසේය. ලොඳ බවට පත්වන්නේ නැති, කීටයාගේ ශරීර කොටස් අතර සමනළයෙකුගේ කොටස් බවට පරිවර්තනය විය හැකි විශේෂ සෛල පොකුරු ඇත. මේ විශේෂ සෛල හඳුන්වන්නේ පිළිරූ මඩල (imaginal discs) යනුවෙනි. මෙකී රහස්‍ය සෛල දිගටම සැඟවී තිබුණේ කීටයාගේ ශරීරය තුළමය. ඒවා වර්ධනය වීම සඳහා කිසියම් උත්තේජනයක් ප්‍රබෝධයක් ලැබෙනතුරු බලාගෙන ඉන්නට ඇත. (එසේ නම් එම ප්‍රබෝධය කුමක්ද? ඒ තමයි යෞවන හෝමනයේ නිෂ්පාදනය හීන වී යාම)
පිළිරු මඩල, සමනලයාගේ පියාපත්, ඛණ්ඩිත පාද හය, සංයුක්ත අක්ෂි, සපර්ශක (අන්තිනා) සහ මල් පැණි උරා බීමට ආධාරවන ගුණ්ඩාව හෙවත් සොඬ ලෙස වර්ධනය වෙයි. සුවන පිලවාගේ සිට සුහුඹුල් සමනලයා ලෙස මතුවෙද්දී උගේ බර කීටයාගේ (දළඹුවාගේ) බරින් අඩක් පමණ වේ. රූපාන්තරය නැතිනම් වෙස්මාරුව සඳහා බලය ලබාදීම වෙනුවන් කීටයාගේ සිරුරෙන් කොපමණ නම් වැයවන්නට ඇත්දැයි එයින්ම සිතා ගත හැකිය.
රූපාන්තරයට ලක්වන අනෙකුත් කෘමීන් ද අවධි හතරක ජීවන චක්‍රයක් තුළින් වෙනස්කම්වලට ලක්වේ. ඔවුන්ද අනුගමනය කරන්නේ බිත්තරය, කීටයා, පිලවා හා සුහුඹුලා යන මූලික රටාවම තමයි. එහෙත් ඔවුන්ගේ ජීවිත පිළිබඳ විස්තරය බෙහෙවින් වෙනස් ආකාරයක් ගත හැකියි. වැඩිදුර දැන ගැනීමට පිවිසෙන්න.






ප්‍රතිචාරයක් ලබාදෙන්න