දිනපතා දත් මැදීමට යොදාගන්නා දත් බෙහෙතේවල අඩංගුවන්නේ මොනවාදැයි සොයා බැලීමට ඹබ කෙදිනක හෝ කල්පනා කළේද?

ටූත් පේස්ට් යනුවෙන් හැඳින්වෙන දත් මැදීමට ගන්නා දත්බෙහෙත් සාමාන්‍යයෙන් නිපදවන්නේ මූලික වශයෙන් abrasives හෙවත් උල්ලේඛ යනුවෙන් හඳුන්වන සීරුම් කුඩු හා detergents යනුවෙන් හැඳින්වෙන කුණු ඉවත් කිරීමේ ද්‍රව්‍යය යොදාගැනීමෙනි. මෙයට අතිරේකව විශේෂ රස ගුන ගෙන දෙන වෙනත් ද්‍රව්‍යයද ඉහත කී දෙවර්ගයට එක් කෙරේ.

බේකින් සෝඩා සමග ලුණු එක් කිරීමෙන්ද සරල දත්බෙහෙතක් සාදාගත හැකිය. මේ දෙවර්ගයම විෂබීජ නසා දත්මත රැඳෙන පටලය ඉවත් කිරීම සඳහා උල්ලේඛයක් වශයෙන් ක්‍රියා කරයි.

දත් බෙහෙත් වල අඩකම අඩංගුවන්නේ උල්ලේඛ ද්‍ර‍ව්‍යයයි. ඒ සඳහා සොඩියම් බයිකාබනේට් (බේකින් සෝඩා), කැල්සියම් කාබනේට් (හුණු) ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, හයිඩ්‍රොක්සිඇපටයිට් සහ හයිඩ්‍රෙටඩ් සිලිකා වැනි උල්ලේඛ ද්‍ර‍ව්‍ය යොදා ගැනේ. මේ අතරින් හයිඩ්‍රොක්සිඇපටයිට් නම් වර්ගය දත්වල පිටත ඇති එනැමලය තරම්ම තද ද්‍ර‍ව්‍යයකි. හයිඩ්‍රේටඩ් සිලිකා එනමලයටත් වඩා තදය. එනිසා මේ දෙවර්ගයෙන් එකක් හෝ අඩංගු දත් ‍බෙහෙත්  හාවිතා කිරීමේන දත් වල එනැමලය සීරීමට ඉඩ ඇත.

දත් බෙහෙත්වල භාවිතා කරන detergents යනුවෙන් හැඳින්වෙන කුණු ඉවත් කිරීමේ ද්‍ර‍ව්‍ය සාමාන්‍යයෙන් ෂැම්පු වර්ග වල භාවිතා කරන කුණු ඉවත් කරන ද්‍ර‍ව්‍යමයි. ඔබේ හිසකෙස්වල ඇති කුණු ඉවත් කරන ආකාරයටම මේ detergents වර්ග බුරුසුවෙන් දත් මදින විට පෙණ නගමින් කුණු ඉවත් කරති. මෙවායේ කටුක රස ඔබේ දිවට නොදැනෙන්නේ රසකාරක වර්ග දත් බෙහෙත් වලට එකතු කර ඇති බැවිනි.

දත්වල ඇති එනැමලයේ කුහර ඇති වීම වැලැක්වීමට ෆ්ලොරයිඩ් අඩංගු දත් බෙහෙත්වලට හැකිය. ඊට අතිරේකව ඇතැම් දත් බෙහෙත් වර්ගවල අඩංගු කර ඇති බැක්ටීරියා හාරක ද්‍ර‍ව්‍යවලට දත්වල මැලියම් බැඳිමට හේතුවන බැක්ටීරියා වර්ග විනාශකළ හැකිය. කෙල වල ඇති කැල්සියම් පොස්පේට් නිසා විශේෂයෙන් දත් වල බැදෙන tartar—plaque නමින් සාමාන්‍යයෙන් හැදින්වෙන අඳුරු පැහැ ඝණ පටල ඉවත් කිරීම පිණිස දත් බෙහෙත් වලට සොඩියම් පොලිපොස්පේට් නමැති රසායන ද්‍ර‍ව්‍ය එකතු කරනු ලැබේ. දත් සුදු කිරීම සඳහා යොදාගන්නා පෙරොක්සයිඩ්ද දත් බෙහෙත් වලට එක් කරන තවත් රසායන ද්‍ර‍ව්‍යයකි. වගකිව යුතු දත්බෙහෙත් නිෂ්පාදන සමාගම් තමන් නිපදවන දත් බෙහෙත් වල අඩංගුවන්නේ කුමන වර්ග වල රසායන ද්‍ර‍ව්‍යදැයි දත් බෙහෙත් අසුරණයේ සඳහන් කිරීම සිරිතකි.

ඇලෙක්සා කොයියෝ ලියූ Why Is Milk White? and 200 other curious chemistry questions නමැති කෘතියෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending