විද්‍යාඥයන් සමග සංස්කෘතික හා පරිසර ක්‍රියාකාරිහු ගැටෙති.

ලොව විශාලතම දුරේක්ෂය (ටෙලස්කෝපය) ඉදිවන්නේ හවායි දූපත්වල මවුනා කියා ගිරි මුදුනෙහිය. පෘථිවිය මත ඇති අනෙකුත් දුරේක්ෂවලට වඩා මෙය තුන් ගුණයකින් පමණ විශාලය. මීට 4025 උසැති මවුනා කියා අක්‍රිය යමහලකි. මේ සුවි‍සාල ගිරි හිස එක් එක් පිරිසට එක් එක් අර්ථ ගෙන එති. ඉතාමත් අඩු වායුගෝලීය බාධා සහිතව නුහස්ඵලය හෙවත් නුබ ගැබ ගවේෂණය කිරීමට මේ ලෝකය තුළ ඇති උචිතම ස්ථාන අතුරෙන් එකක් ලෙස මවුනා කියාව තාරකා විද්‍යාඥයෝ සලකති. පරිසරවේදීන්ට එය ‘අහසේ සැදුණු දූපත්’ පරිසර පද්ධතියකි. ලොව වෙනත් කිසිම තැනක දැකිය නොහැකි වෙකියු (wekiu bug) මකුණා ඇතුළු උස් ප්‍රදේශවලට ආවේණික දුර්ලභ විශේෂ ගණනාවක් මෙහි දී හමුවේ. ආගමික කණ්ඩායම එය සලකන්නේ ‘දෙවියන්ගේ නිවහන’ ලෙසයි. එමෙන්ම,හවායි දූපත් අතුරෙන් විශාලතම දූපතෙහි වඩාම පූජනීය ස්ථානය වශයෙනි.

හිම සහ ලාවා මගින් වැඩීගිය අතිවිශාල ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා මවුනා කියා ගිරිහිස මේ තුන් පාර්ශ්වයේ අපේක්ෂා ඉටුකිරීමට තරම් ප්‍රමාණවත් නැති සෙයකි. (ශීත ඍතුවේදී හිමෙන් ගිරි හිස වැසීයාමේ හේතුවෙන්) සුදු කන්ද යන තේරුම ඇති මවුනා කියා  මත දැනටමත් ටෙලස්කෝප 13ක් ඉදිකර තිබේ. දැන් තාරකා විද්‍යාඥයන් සැලසුම් කරන්නේ මීටර් 30ක දර්පණයක් සහිත අති දැවැන්ත ටෙලස් කෝපයක් ඉදිකිරීමටය. සංස්කෘතික හා පාරිසරික  ක්‍රියාකාරීන් මේවා දකින්නේ විද්‍යාවේ ග‍්‍රහණයට මේ ඓතිහාසික භූමිය නතුකරගැනීමේ ප්‍රයත්නයක් ලෙසිනි. මීටර් 30 දර්පණය සහිත මේ දැවැන්ත ටෙලස්කෝපය ඉදිකිරීමට යෝජිතව ඇත්තේ කැලිෆෝනියා තාක්ෂණ ආයතනය හා කැලිෆෝනියා සරසවිය මගිනි. දැනටමත් ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග දෙකක් ගෙන තිබේ. මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම පසුගිය ඔක්තෝබරයේ දී විරෝධතා ව්‍යාපාරයක් මගින් අවහිර කරන ලදි. මෙතෙක් අධිකරණ තීරණ ලැබී ඇත්තේ දැවැන්ත ටෙලස්කෝපය ඉදිකිරීමට පක්ෂවය. එහෙයින්, ඉදිකිරීම් මෑතක යළි ආරම්භ කෙරිණ.

මෙම ටෙලස්කෝපය කෙරෙහි තාරකා විද්‍යාඥයෝ මහත් බලාපොරොත්තු ඇති කරගෙන සිටිති. අනෙකුත් සෞරග්‍රහ මණ්ඩල තුළ ජීවය පිළිබඳ ලකුණු සොයා ගැනීමට මෙන්ම විශ්වයේ සම්භවය පිළිබඳ කරණු අනාවරණය කිරීමටද එය සමත් වෙතැයි අපේක්ෂා කෙරේ. එහෙත් ඇතැම් හවායි ස්වදේශීකයන් ටෙලස්කෝපය ඉදිකිරීම සලකන්නේ පුද බිමක් කෙළසීම පිණිස දැනටමත් ආරම්භ කර ඇති ක්‍රියාදාමයක් ඉදිරියට ගෙන යාමක් ලෙසිනි. පුරාණ හවායි ජාතිකයෝ මෙම යමහල  දිව්‍ය ලෝකය සම්බන්ධ කරන පෙකෙණිවැල ලෙස සැලකූහ. මිය ගිය අයවළුන් වැළලීමටත්, අල්තාර හා වන්දනාමාන ස්ථාන තැනීමටත් ඔවුන් එය තෝරාගෙන ඇත්තේ එහෙයිනි. දහස් ගණන් පූජනීය ස්ථාන හා සංස්කෘතික මානව කෘති මවුනා කියා යහමල් ප්‍රදේශයෙන් හමු වී ඇත. හොඳ මත්ස්‍ය අස්වැන්නක් පතා හවායි ධීවරයෝ තවමත් මෙහි පුදු පූජා පවත්වති.  මීටර් 30 ටෙලස්කෝපය ඉදිකිරීමට විරෝධය පාන පරිසවේදීන් පවසන්නේ මෙතෙක් එහි මවුනා කියා හි සිදුකර ඇති ‘සංවර්ධන’ කටයුතු නිසා ඒක දේශීය සත්ව හා ශාක විශේෂයන්ට හානි පැමිණ ඇති බවයි.

දැවැන්ත ටෙලස්කෝපය ඉදිකිරීම සැලසුම් කර ඇත්තේ විරෝධය දක්වන විවිධ කණ්ඩායම් ගෙන හැර පාන හානිය මඟහැරෙන ආකාරයකට බව ව්‍යාපෘති කළමනාකරුවෝ කියා සිටිති. මීට පෙර ද මීටර් 1.8 ටෙලස්කෝප කිහිපයක් මෙහි ඉදිකිරීම විරෝධතා කණ්ඩායම් නිසා වැළකීගොස් ඇති හෙයින් මෙම ව්‍යාපෘතියේ කළමනාකාරුවන්ට ස්වදේශීක කණ්ඩායම් සමග සාකච්ඡාවාර 300ක් පවත්වා ඇත්තේ කරුණු පහදාදීමටය. එහෙත්, එවැනි ප්‍රයත්න නොතකා ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීමේ ආරම්භක උත්සවය කඩාකප්පල් කිරීමට විරෝධතාකරුවෝ සමත් වූහ. කෙසේ වෙතත්, මින්පසු උත්සව නොමැතිව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බව එහි ප්‍රකාශිකා සැන්ඩ්‍රා ඩෝසන් පවසයි.

Scientific American හි World’s Largest Telescope Faces Opposition from Native Hawaiian Protesters ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending