ශක්තිය සම්බන්ධයෙන් ඇති ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ එක් ශක්ති වර්ගයක් වෙනත් ශක්ති වර්ගයකට හැරවීමට හැකි වීමයි. ඔබ බයිසිකලයක් පදින විට සිදුවන්නේ ඔබේ ශරීරයේ ශෛලවල ඇති රසායනික ශක්තියෙන් ඔබේ දෙපා ක‍්‍රියා කොට බයිසිකලය පදින විට එම රසායනික ශක්තිය චාලක ශක්තියක් බවට පරිවර්තනය වීමයි. එසේම බයිසිකලය පදිමින් කන්දක් නගින විට ඔබේ ශක්තිය ගුරුත්වාකර්ෂණිය විභව ශක්තියක් බවට පත්වෙයි. නැවත කඳුපල්ලම බසින විට බයිසිකලය වේගයෙන් යන්නේ ඒ විභව ශක්තිය යලි චාලක ශක්තිය බවට පරිවර්තනය වීම නිසායි.

එසේ එක් වර්ගයක සිට තවත් වර්ගයකට කොයිතරම් වාරයක් ශක්තිය හැරවුවද ඒ හැම විටම එක්තරා සරල නීතියක් ආදේශ වෙයි. එනම් එසේ හැරවීමේදී මුල් ශක්ති ප‍්‍රමාණය ඒ හැම හැරවීමකදීම සහමුලින්ම නොවෙනස්ව පැවතීමයි. ඒ අනුව ශක්තිය යනු අපට අළුතින් නිර්මාණය කළ හැකි දෙයක් හෝ විනාශකල හැකි දෙයක් හෝ නොවේ. කළ හැකි එකම දෙය පවතින ශක්තියක් එක් වර්ගයක සිට තවත් වර්ගයකට හැරවීම පමණයි. එහි තේරුම විශ්වයේ ඇති සමස්ත ශක්තිය සදා සුරැුකී පවතින බවයි. එය හඳුන්වන්නේ ‘‘ශක්ති සංස්ථිතිය” (Conservation of Energy)  යන විද්‍යාත්මක යෙදුමෙන්. ශක්ති සංස්ථිතිය යනු විශාලතම සුපිරි ගැලැක්සි ගොන්නක සිට ඔබේ සිරුරේ ඇති කුඩාම ශෛලය දක්වා කුදු මහත් හැම දෙයක් සම්බන්ධයෙන්ම ආදේශවන ගැඹුරු විද්‍යාත්මක සංකල්පයක්.

තාපගතිකය පිලිබඳ පලමුවැනි නියාමය විනෝද උයන් හිමිකරුවන්ගේ ඉමහත් සතුටටත් සිරුරේ ස්ථූල බව අඩුකර ගැනීමට වෙහෙසෙන අයගේ අසන්තෝෂයටත් හේතු විය හැකියි. රොලර්කෝස්ටර් මාර්ගවල බෑවුම් උසවෙන තරමට වැඩි සංත‍්‍රාසයක් ජනිත කරමින් රෝලර්කොස්ටරයේ වේගයද වැඩිවෙන බව විනෝද උයන් හිමිකරුවන්ට එම නියාමයෙන් කියා දෙයි. අනික් අතට ස්ථුල බව ගැන තැවෙන අයට එයින් කියන්නේ ඔවුන් ආහාරය වශයෙන් ගන්නා කැලරි ප‍්‍රමාණය නොහොත් රසායනික ශක්ති ප‍්‍රමාණය ව්‍යායාම සඳහා යොදා නොගත්තොත් මේදය වශයෙන් සිරුරේ තැන්පත් වන බවයි. ස්ථුලතාවය අඩු කිරීම පිනිස පෝෂණවේදීන් විසින් විටින් විට හඳුන්වාදෙන ආහාර වට්ටෝරු වලින් ප‍්‍රකාශ වන්නේ තාපගතිකය පිළිබඳ පළමුවැනි නියාමයේ වැදගත් කම හා එය නොසලකා හැරීමේ විපාකයි.

තාපගතිකය පිළිබඳ පළමුවැනි නියාමය ක‍්‍රියාත්මක වන ආකාරය හොඳින් තේරුම් ගැනීමට හැකි එක් ක‍්‍රමයක් නම් අර කියූ රෝලර්කෝස්ටරය යන ගමන යළි හොඳින් විමසා බැලීමයි. රෝලර්කෝස්ටරය පීලි දිගේ යන සිය ගමන සාමාන්‍යයෙන් අරඹන්නේ නැග්මක ආරම්භයේ සිටයි. රොලර්කෝස්ටරය සීඝ‍්‍ර නැග්ම දිගේ එහි මුදුනට සෙමින් සෙමින් ගෙන යන්නේ එයට යොදා ඇති ජවසම්පන්න විදුලි මෝටර මගිනුයි. මෙසේ බෑවුම් මග දිගේ රෝලර්කොස්ටරය මුදුනට නගින විට එහි විදුලි මෝටරය කරකැවීමට හේතුවන විද්‍යුත් ශක්තිය ගුරුත්වාකර්ෂණීය විභව ශක්තිය බවට පත්වෙනවා. නැග්ම මුදුනට රෝලර් කෝස්ටරය සැපත්වූ විට ඒ ගුරුත්වාකර්ෂණීය විභව ශක්තිය රෝලර්කෝස්ටරය පල්ලම දිගේ යන ගමන බාර ගන්නවා. මෙසේ රොල්ර්කෝස්ටරය වේගයෙන් තද බෑවුම බසින විට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය චාලක ශක්තිය බවට පත්වන අතර ඒ ශක්ති පරිවර්තනය රෝලර්කෝස්ටරය ඊට හැකිතරම් වේගයෙන් යාමට හේතු වෙයි. අනතුරුව නැවත නැග්මක් ඇරඹෙන විට මුලින් පල්ලම ඔස්සේ ආ වේගය කෙමෙන් කෙමෙන් අඩුවී ගොස් නැග්ම මුදුනට යන විට රොලර්කෝස්ටරය යළි සම්පූර්ණයෙන්ම පාහේ නවතී. රෝලර්කෝස්ටරය මෙසේ පුන පුනා බෑවුම් නැග බැස යන්නේ විභව සහ චාලක ශක්ති විටින් විට හුවමාරුවීම නිසාය.
සාමාන්‍යයෙන් රෝලර්කෝස්ටර මාර්ග සදන්නේ ලූපයක ආකාරයට නිසා පීලි සහ රෝලර්කොස්ටරයේ රෝද අතර ඇතිවන ඝර්ෂණය නොවන්නට රෝලර් කොස්ටරය සදහටම නොනවතින ගමනක යෙදෙන්නට ඉඩ තිබුණා. රොලර්කොස්ටර් මාර්ගයේ ඇති ඕනෑම තැනකදී මැන බැලූවහොත් ඒ මත යෙදෙන විභව සහ චාලක ශක්ති වල එකතුව නොවෙනස්ව පවතිනවා. අන්තැන්වලදි මෙන්ම එහිදීත් ශක්තිය අළුතින් නිමැවෙන්නේවත් විනාශ වෙන්නේවත් නැහැ. ශක්තිය මෙසේ එක් වර්ගයකින් තවත් වර්ගයකට මාරු කිරීම එක්තරා ආකාරයකට එක බැංකුවක ඇති ගිණුමකින් තවත් බැංකුවක ඇති ගිණුමකට රුපියල් 1000ක් යවනවා හා සමාන ක‍්‍රියාවක්.

ඇත්තටම බැලූවොත් රොලර්කොස්ටර ගමනේදී නොයෙක් ආකරයට ශක්තිය හුවමාරු වෙනවා. එසේ හුවමාරු වන ශක්ති වර්ග අතරට රෝදය හා පීලි අතර ඇතිවන ඝර්ෂණයෙන් ජනිත වන තාපය, වංගු ඔස්සේ යන විට රොලර් කෝස්ටරයේ බඳ මත ඇතිවෙන පීඩනයෙන් නැගෙන හඬ, රොලර් කොස්ටර් ගමන නිසා පීලි මාර්ගයේ ඇතිවන කම්පනයද අයත් වෙනවා. එහෙත් එසේ මාරුවෙන ශක්ති වර්ග රෝලර්කෝස්ටරයේ ගමනට යෙදෙන විභව හා චාලක ශක්තිය බවට නැවත පත් පත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට සිදුවන්නේ ඒ ශක්ති වර්ග අවට පරිසරයට මාරුවී යාමයි. ඒ අනුව රොලර් කොස්ටර් මාර්ගයේ ඇති හැම කඳු මුදුනකදීම තිබෙන විභව ශක්තියේ ප‍්‍රමාණය ඊට පෙර ඇති කඳු මුදුනේ තිබුනාට වඩා යම්තරමක් අඩු වෙනවා. (ඒ නිසයි රොලර්කොස්ටර් මාරගයේ එක් කඳු මුදුනක් ඊට පෙර තිබූ කඳු මුදුනට වඩා තරමක් මිටි වන්නේ.* මෙවැනි අවස්ථාවලදී රෝද වල ඝර්ෂණයෙන් පරිසරයට මුක්ත වෙන ශක්තිය හරියට ඔබ එක බැංකූ ගිණුමකින් තවත් බැංකුවක ඇති ගිණුමකට රුපියල් 1000ක් යවන විට බැංකූවේ සේවා ගාස්තුව වශයෙන් රුපියලක් අඩුකරගන්නවා හා සමානයි. ඒ රුපියල නැතිවී යන්නේ නැහැ. සිදුවෙන්නේ එය බැංකුව සතු වීම පමණයි. එහෙත් මෙසේ දිගින් දිගටම එක බැංකු ගිණුමකින් තවත් බැංකු ගිණුමකට මුදල් යැව්වොත් අවසානයේදී ඔබේ මුල් ගිණුුමේ සතයක් වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ හා සමානව අපේ රෝලර්කෝස්ටර ගමන ද අවසානයේ දී තිරිංග නොයෙදුවද නැවතිය යුතුය. එහෙත් එවිට සිදුවන්නේ ශක්තිය අතුරුදහන් වීමක් නොවේ. සිදුවුණේ ශක්තිය රෝලර්කොස්ටරයේ සිට වඩා අඩු ප‍්‍රයෝජනයක් ඇති ගිණුමකට මාරුවීමක් පමණයි.

ජීව පද්ධතිද බොහෝවිට ක‍්‍රියාකරන්නේ රෝලර්කොස්ටරයක් ක‍්‍රියාත්මක වෙන ආකාරයටයි. ජීව පද්ධතියක් වන අප ආහාර වශයෙන් ලබා ගන්නේ ඇත්තටම රසායනික විභව ශක්තියයි. මේ ශක්තිය සකස් කොට ගෙන අප අපේ ශෛලවල තැන්පත් කරගන්නවා. අනතුරුව එසේ තැන්පත් කරගත් රසායනික විභව ශක්තිය අප අපේ සිරුරු උණුසුම්ව තබා ගැනීමට, මාංශ පේශික‍්‍රියාකරවීමට සහ විවිධ කාර්යයන් කිරීමට වැය කරනවා. ශක්තියෙන් තොරව අපට කිසිවක් කළ නොහැකියි. සිතීමේදී සහ නින්දේදී පවා අපට ශක්තිය වැයවෙනවා. ඇත්ත වශයෙන්ම ජීවිතය යනු ශක්තිය රැස්කිරීමටත් වැය කිරීමටත් කරන නිරන්තර අරගලයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending