බඩ ඉරිඟු පොරි පැකැට්ටුවක් රස විඳින ගමන් කියවලා බලමු

ඇමරිකානුවෝ ඉරිඟු පොරි කෑමට රුසියෝය. සෑම වසරකම ඔවුහු ඉරිඟු පොරි (popcorn) නැලි මිලියන 17ක් ගිල දමති. එය එසේ වුවත් මේ සරල ප්‍රණීත කෑමෙහි ගැබ්ව ඇති ඇතැම් ජෛවයාන්ත්‍රිකවිද්‍යා (biomechanics) කරුණු කාරණා විද්‍යාවට තවමත් හසු නොවී සැඟව පවතී. ඉරිඟු පොරි ගැන ඇති සිත් අළවන රස කතා බොහොමයකි. උදාහරණයකට කීවොත් ෆැරන්හයිට් අංශක 365ක උෂ්ණත්වයකදී ඉරිඟු ඇට සියයට 96ක් පොරි බවට පත්වෙතැයි කියන කතාවත් ඇතුළුව රසකතා බොහොමයක් ආරම්භ වන්නේ වාණිජ මට්ටමේ පර්යේෂණ මගිනි. ඉතින්, ප්‍රංශ ජාතික භෞතිකඥයෙක් (physicist)සහ වායුතරණ ඉංජිනේරුවෙක් (aeronautical engineer) එක්ව ඉරිඟු ඇට ‘පොප්’ හඩින් පොරි බවට පත්වීම පිටුපස ඇති තාප ගතිවිද්‍යාත්මක හා ධ්වනික (thermodynamic and acoustic) ගුණ ගැන ඉතා සූක්ෂම ලෙස කරුණු සොයා බලන්නට තීරණය කළහ.

තද ඇටයෙහි සිට මෘදු පොරි දක්වා ඉරිඟුවල මූලික ගමන සරලය. ඉරිඟු ඇටයෙහි පිෂ්ටය ගහණ අභ්‍යන්තරයෙහි ජලය තාපය නිසා නැටිමට පටන් ගනී. සිවිය හරහා ජලවාෂ්ප පුපුරා යන තුරු එමඟින් පීඩනය ගොඩ නැංවේ. සරල කතාව එයයි. කෙසේ වෙතත්, අධිවේගී කැමරා අතැතිව සිටි පර්යේෂකයන් දෙපොල අලුතෙන් යමක් සොයා ගත්හ: රත් වූ බඩ ඉරිඟු ඇටය ඇතුළේ පිෂ්ඨය මගින් පාදයක් වැනි උපාංගයක් සෑදෙන බවයි, ඒ. ඔවුන්ට පෙනී ගියේ එම පාදය බඳුනෙහි අඩිය හා ගැටෙද්දී සම්පීඩනයවී දුන්නක් සේ මුදා හැරී බඩ ඉරිඟු ඇටය අහසට විසිවන්නේ කරනමක් ගසමිනි.  ‘එය මිනිස් අප පනින ආකාරයට සමානයි. මොකද කිව්වොත්, අපිත් අපේ මාංශ පේශී සම්පීඩනය කර මුදා හරින නිසා’ යයි පර්යේෂණයේ හවුල්කරු එකො බහුශිල්පි ආයතනයේ වායුතරණ ඉංජිනේරු එමැනුවෙලි විරෝ පවසයි.

Popcorn

පර්යේෂකයන් බඩ ඉරිඟු පොරි සෑදෙන ආකාරය රූගත කළා පමණක් නොව අධි සංවේදී මයික්‍රෆෝන යොදා ශබ්දයට කන් දීමේදී පෙනී ගියේ පොරි සෑදෙන විට සාමාන්‍යයෙන් ඇතිවන ‘පොප්’ හඬ එන්නේ ඉරිඟු ඇටය පුපුරා විවර වී තප්පරයකින් දහසෙන් පංගු සීයක් ගත වූ තැනදී බවයි. එසේ නම් පොප් හඬ එන්නේ ඉරිඟු ඇටය පුපුරා යාමේදී නොවේ. ඒ කියන්නේ ‘පොප්’ හඬට හේතුව පුපුරායාම නොවේ. එසේ නම් කුමක්ද? ඉරිඟු ඇටය ඇතුළත ඇති රත් වූ ජලවාෂ්ප ඒවා රැඳි තිබෙන පිෂ්ඨමය කූඩ(pockets) පුපුරුවා ගෙන එළියට එද්දී පොප් හඬ මතුවන බවයි පර්යේෂකයන් අනුමාණ කරන්නේ. මෙම පර්යේණයේ අනෙක් හවුල්කරු භෞතිකඥ ඇලෙක්සැන්ද්‍ර පොනොමැරෙන්කෝ පෙන්වා දෙන පරිදි ‘මේ පර්යේෂණය අරමුණ වූයේ පො‍රි පිපිරීම හරහා සිසුන්ට විනෝද ජනක අන්දමට පන්තියේ දී භෞතික විද්‍යා සංකල්ප කිහිපයක් පහදා දීමට ගුරුවරුන්ට මඟපාදා දීමයි’.

 

Scientific American May 2015 හි Popcorn Physics ලිපිය ඇසුරෙනි

“ඉරිඟු පොරි කියාදෙන භෞතික විද්‍යා පාඩම්”ට එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending