අඟහරු මත අතීතයේ පැවති, වර්තමානයේ පවතින ජලය පිළිබඳව එහි භූමිය පරීක්ෂා කර සාක්ෂි සොයා ගැනීම පසුගිය වසර 20 තුළ අඟහරු වෙත යැවුණු රෝවර් හෙවත් සරන යානාවල ප්‍රධාන අරමුණක් විය. මේ මෙහෙයුම් අතුරෙන් පළමුවැන්න, අඟහරු මං සොයන්නා අරුත ඇති Mars pathfinder නිරීක්ෂනාගාරයයි.

අඟහරු මත නිරීක්ෂනාගාරය හා රෝවර් යානය චිත‍්‍ර ශිල්පියෙකුගේ ඇසින්
අඟහරු මත නිරීක්ෂනාගාරය හා රෝවර් යානය චිත‍්‍ර ශිල්පියෙකුගේ ඇසින්

එය 1997 දී අඟහරු මත සාර්ථකව ගොඩ බස්වනු ලැබීය. කාලගුණය මනින උපකරණ හා කැමරාවක් සහිත මූලස්ථානයකින් (base station) එය සමන්විත විය. මීට අමතරව, කිලෝග්‍රෑම් 10 ක් බරැති, කුඩා රෝවර් යානයක් ද විය. කල්ගෙවන්නා (Sojourner) යනුවෙන් හැඳින් වන්නේ එයයි. මූලස්ථානයෙන් පිටව අසළ පිහිටි පාෂාණමය බිමක මීටර් 100 ක එය සැරි සැරිය.

සෝජොනර් යානය ඊටම අයත් කැමරා සහ උපකරණවලින් සමන්විත විය. එය පාෂාණවල සංයුතිය මෙන්ම ඒවායේ රවුම්වූ හැඩය මැන බැලීය. ඉන් හෙළි වූ කරුණු අනුව පෙනී ගියේ නිරීක්ෂනාගාරය ගොඩ බස්වා තිබුණේ ආදිකාලීන පිටාර තැන්නකට බවයි. පාත් ෆයින්ඩර් යානය ඇත්තටම අඩුවියදම් මෙහෙයුමකි. වැය කෙරුණු මුදල  ඩොලර් මිලියන 200ක් තරම් පහළ මට්ටමක පැවතුණි. එහෙත් වඩා විශාල රෝවර් යානා යැවීම ඵලදායී වන බව ඒත්තු ගැන්වීමට තරම් ප්‍රමාණවත් දත්ත සහ සාක්ෂි එමගින් අනාවරණය කෙරිණ.

වියදම් අධික වුවත් එහි ප‍්‍රතිපලයක් ලෙස වඩා විශාල නිරීක්ෂණ යානා යැවීම වඩා ඵලදායී බව නාසා ආයතනයට ඒත්තු යාමේ හේතුවෙන්, ස්පිරිට් (ජීවය) හා ඔපචුනිටි (ප්‍රස්ථාව) යනුවෙන් නම් කෙරුණු ගවේෂක රෝවර් යානා දෙකක් 2004 දී සාර්ථකව අඟහරු මත ගොඩ බස්වන ලදි. වඩාත් විශාල මේ‍ රෝවර් යානා සෝජර්නර් යානයට වඩා වැඩි කාලයක් මුළුල්ලේ වඩාත් ගැඹුරු ගවේෂණයක් කිරීමට සුදුසු ලෙස සකසා තිබුණි. ඒවායේ සම්පූර්ණ පිරිවැය ඩොලර් මිලියන 800ක් පමණ විය.

සෝජොනර් රෝවර් යානය 'යෝගී වලසා' යනුවෙන් නම් කෙරුණු පාෂාණයක් පරීක්ෂා කරද්දී(1977)
සෝජොනර් රෝවර් යානය ‘යෝගී වලසා’ යනුවෙන් නම් කෙරුණු පාෂාණයක් පරීක්ෂා කරද්දී(1977)

ස්පිරිට් සහ ඔපචුනිට් යානා පිළිබඳ විස්තර ඊළග සතියක බලාපොරොත්තුවෙන්න.

 

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending