දුරේක්ෂය හෙවත් ටෙලස්කෝපය කියන්නේ මොකක්ද කියලා අප සැවොම වගේ දන්නවා. ටෙලස්කෝපය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ  ඕලන්ත ජාතිකයෙකුට වුණත් ආකාශ වස්තු නිරීක්ෂණය සඳහා නියමාකාරයෙන් ටෙලස්කෝපය ප‍්‍රථම වතාවට යොදාගත්තේ ගැලීලියෝ ගැලීලියි.ඔහුට එදා තිබුණේ අද ලෝකයේ ලාභ, ආධුනික ටෙලස්කෝපයටත් වඩා අඩු මට්ටමේ එකක් වුණත් ඉන ඔහු තාරකා විද්‍යාවට සිදු කළ මෙහෙය අමරණියයි. ගැලීලියෝ එදා අවකාශය හරහා යෑමට දුරේක්ෂය යොදා ගත් අතර එය කාලය හරහා යාමටත් යොදා ගන්න පුළුවනි.  එක්තරා ආකාරයකට සලකා බැලූවොත් දුරේක්ෂයක් හරියට අතීතය නැරඹීමට යොදා ගත හැකි කාල යන්ත‍්‍රයක් වාගෙයි.

දැන් මේ කාරණය තරමක් විස්තරාත්මකව හිතා බලමු. අප යමක් දිහා බලන කොට ඇත්තටම සිද්ද වෙන්නෙ එම වස්තුවෙන් නිකුත් වෙන නැත්නම් පරාවර්තනය වෙන ආලෝකය අපේ ඇස් වලට ළඟා වීමයි. ඒ ආලෝකය අනුවයි වස්තුවේ ස්වරූපය අපට පේන්නේ. ආලෝකයේ තියෙන දේවල් අපට පෙනුනත් අඳුරෙ තියෙන දේවල් අපට නොපේන්නේ ඒකයි. එහෙම යම් කිසි වස්තුවක ඉඳල එසේ ආලෝකය අපේ ඇස්වලට ළඟා වෙන්නට කිසියම් කාලයක් ගත වෙනවා. දැන් ඔබ යහළුවෙක්ගේ මූණ දිහා බැලූවත් ඒ මුහුණේ සිට ආලෝකය ඔබේ ඇසට ගමන් කරන්න තප්පරයෙන් අංශු මාත‍්‍රයක හරි කිසියම් කාල ප‍්‍රමාණයක් ගත වෙනවා. ඒ අනුව ඇත්තටම ඒ මොහොතේ ඔබ දකින යහළුවාගේ මුහුණ තප්පරයෙන් අංශුමාත‍්‍රයක් පරණ මුහුණක්. ඒ අනුව අපි දකින දේවල් හැම විටම තිබෙණ්නේ අතීතයේ කියලාත් කියන්නට පුළුවන්.

 

ඒත් ආලෝකය වගේ නොවෙයි ශබ්දය. ශබ්දය ගමන් කරන වේගය ආලෝකයේ වේගයට වැඩිය බොහෝ ම අඩුයි. අන්න ඒ නිසා තමයි මල් වෙඩි පත්තු වෙන කොට මුලින් ම වෙඩිල්ලෙන් මල් පිපිරෙන හැටි පෙනිල ඊට පස්සෙ වෙඩිල්ල පුපුරණ ශබ්දෙ ඇහෙන්නේ. ඒ වගේමයි ගහක් කපන මිනිහෙක් දිහා ටිකක් ඈත තැනක ඉඳල බලං හිටියොත් පොරෝ පාර ගහට වදින සද්දෙයි පොරෝ පාර ගහට වදින දර්ශනයයි අතර තරමක විකාර වෙනසක් තිබෙන බව ඔබට සිතේවි.

1148-nautical-brass-telescope-on-stand-10inch-wood-0

 

ඒත් ආලෝකය කොයිතරම් ඉහළ වේගයකින් ගමන් කරනවාද කියලා කිව්වෝතින් අප දකිනා දේවල් අපිට පේන්නේ ඒ සැණින් ඒ මොහොතේම සිද්ද වෙන දේවල් විදියටයි. ඒ වුණත් ඉතා ඈත ඇති තාරකා දිහා බැලොවොත් මේ කතාව එහෙම නොවෙයි. දැන් අපේ ම සූර්යයා වුණත් පිහිටල තිබෙණ්නේ පෘථිවියට වඩා ආලෝක විනාඩි අටක් ඈතින්. ඒ කියන්නේ දුර ප‍්‍රමාණය අනුව සූර්යයාගේ සිට ආලෝකය පෘථිවියට ලඟා වීමට විනාඩි අටක් ගත වෙනවා. ඒ අනුව මේ දැන් සූර්යයා දිහා බැලූවත් ඇත්තටම අපි දකින්නේ විනාඩි අටක් පැරණි වූ සූර්යයායි. මේ මොහොතේ  කිසියම් ව්‍යසනයකින් සූර්යයා පුපුරල විනාශ වෙල ගියොත් ඒ ව්‍යසනය අපිට සැබෑවක් වෙන්න, අපේ යථාර්ථය බවට පත් වෙන්න, එහෙමත් නැත්තම් ඒ ව්‍යසනයෙන් අපි විනාශ වෙන්න තවත් විනාඩි අටක් ගත වෙනවා. සූර්යයා ළඟට අපට තිබෙන ළඟම තාරකාවේ නම ප්‍රොක්සිමා සැන්ටෝර්. මේ තාරකාව කොයිතරම් දුරකින් පිහිටල තිබෙණවා ද කිව්වෝතින් මේ 2013දී ඒ දිහා බැලූවත් ඇත්තට ම අප දකින්නේ ප්‍රොක්සිමා සැන්ටෝරි තාරකාව 2009 දි තියෙන අන්දමයි. අති විශාල තාරකා සංඛ්‍යාවක් බුරුතු ගැහිල තියෙන තැනක් තමයි අප ගැලක්සියක් නැත්නම් මන්දාකිණියක් කියලා කියන්නේ. අප ජීවත් වෙන ගැලැක්සියට කියන්නෙ ඵසකනහ-අ්හ නැත්නම් ක්ෂීරපථය කියලා. අපේ ක්ෂීරපථ ගැලැක්සියට ආසන්න අසල් වැසි ගැලැක්සියට කියන්නේ ඇන්ඩ්‍රොමීඩා කියලා. ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය අපේ ගැලැක්සියේ සිට කොයිතරම් දුරකින් පිහිටල තියෙනවාද කිව්වොත් ඒ දිහා දුරේක්ෂයකින් බලන විට ඇත්තට ම අපේ දුරේක්ෂය පාවිච්චි වෙන්නේ හරියට අවුරුදු මිලියන දෙකහමාරක් ඈත අතීතයට අපව ගෙන යන කාල යන්ත‍්‍රයක් වාගෙයි. ඒ වගේම ‘ස්තෙපාන්ගේ පංචමය’ යන නමින් හඳුන්වන ගැලැක්සි පහක් එක පොකුරට තියෙන තැනක් අපේ පියවි ඇසට නොපෙනෙන තරම් ඈතින් විශ්වයේ පිහිටලා තිබෙණවා. ‘හබල්’ නැමැති ප‍්‍රබල දුරේක්ෂයෙන් මේ ‘ස්තෙපාන්ගේ පංචමය’ දිහා බැලූවහම පේන දෙයක් තමයි ඒ ගැලැක්සි පහම විශ්මය ජනක ලෙස එකිනෙක හා ඝට්ටනය වෙන ආකාරය. ඒත් අප එය දකින විට ඇත්තට ම අප දකින්නේ අවුරුදු මිලියන 280 කට පෙර ඒ ඝට්ටනය සිද්ද වෙන ආකාරයයි. කිසියම් විදියකින් අප වගේ සත්ත්ව විශේෂයක් ඒ ගැලැක්සි පහෙන් එකක හරි ඉන්නවා නම් සහ ඒ සත්ත්ව විශේෂය සතුව මහ පොළොව හොඳින් නැරඹිය හැකි ප‍්‍රබල දුරේක්ෂයක් ඇත්නම් මේ මොහොතේ ඒ සත්ත්ව විශේෂයට ඇත්තට ම දකින්නට පුළුවන් වෙන්නේ මේ මහ පොළොවේ මීට අවුරුදු මිලියන 280කට පෙර මුල් කාලීන ඩයිනසෝර්ලා පණපිටින් ඇවිදින ආකාරයයි.

ඇත්තක අරුමය  (Wijeyananda Jayaweera translation of Richard Dawkin’s “The Magic of Reality”) ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending