කිවිසුම් යාම අප හැමෝටම සිදුවන දෙයක්. නමුත් අපට කිවිසුම් යන්නේ ඇයි දැයි යන්න අප බොහෝ දෙනාට රහසකි. කිවිසුම් යන්නේ කිසිවෙකු මතක් කළ විට යයි සමහරු සිතති. කිවිසුම් ගිය තැනැත්තාට හෝ තැනැත්තියට අංකයක් කියන්නැයි පවසා ඉංග්‍රීසි අකාරාදියේ එම අංකය හිමි අකුරෙන් නම පටන් ගන්නා අය තමයි මතක් කරන්න ඇත්තේ කියා පැවසීම සමහර තරුණ පිරිස් අතර ප්‍රචලිත පුරුද්දකි. සෙම්ප්‍රතිශ්‍යාව සෑදී ගෙන එද්දී තදින් කිවිසුම් යන බව අප කවුරුත් අත්දැකීමෙන්ම දන්නා දෙයකි. ගේ දොර අස්පස් කරද්දී දූවිලි ඇවිස්සුන විට කිවිසුම් හෙවත් ‘හකිස්’ යාම ද බොහෝ දෙනාට සිදුවන්නක්. මේ කිසිවක් නැතුව තද අව්ව ඇති විට එළිපහළියට ගිය විට කිවිසුම් යන්නෝ ද සිටිති. මේ කොයි ආකාරයකට වුවත් කිවිසුම් යාමට හේතුව ගැන අනුමානයෙන් යමක් සිතා ගන්නවා විනා එය සිදුවන්නේ කෙලෙසද යන්න එතරම් පැහැදිලි නැත.
කිවිසුමට sneeze මෙන්ම sternutation යන වදන් ඉංග්‍රීසියෙන් භාවිත වෙයි. කිවිසුම යනු ඔබගේ නාසය ඇතුළෙහි උත්කෝපනය (irritate) ඇතිකරවන යමක් ඇති විට සිරුරෙහි සිදුවන ස්වාභාවික ප්‍රතීක ක්‍රියාවකි. දූවිලි, ප්‍රතිශ්‍යාව, ගම්මිරිස් ආදී වශයෙන් බොහෝ දේවලින් නාසය ඇතුළත උත්කෝපනය විය හැක. එමගින් කිවිසුම් මුදා හැරේ. සමහර විට සෙම්ප්‍රතිශ්‍යාව වැළදුනුවිට කිවිසුම් යයි. විෂබීජ, වෛරස ඔබේ නාසය තුළ ලැගුම් ගත් විට ඔබේ නාසයෙහි ඉදිමුමක් හා උත්කෝපනයක් ඇති කරවයි. එලෙසම සත්ව ලොම්, සම් කැබලි සහ ශාක පරාග මගින් ද එකී මාදිලියේ ප්‍රතිචාරයක් නාසය තුළ ඇතිවෙයි.
නාසය ඇතුළත උත්කෝපනයවූ විට, විශේෂ ස්නායු මගින් ඔබේ මොළයට පණිවුඩයක් යවනු ලැබේ. එවිට මොළය, සාර්ථක ලෙස කිවිසුම් ඇතිකිරීමට අවශ්‍ය වන සිරුරේ සෑම කොටසකටම පණිවුඩ නිකුත් කරයි. අපට කිවිසුමක් යාම ඉබේටම සිදුවන්නක් බව දැනුනත් සිරුරේ කොටස් කිහිපයකින් සංකීර්ණ සමායෝජනයෙන් තමයි ඇත්තටම කිවිසුම ඇතිවන්නේ. උදරයේ හා පපුවේ මාංශපේශී, ප්‍රාචීරය(diaphragm)(පෙනහළුවලට යටින් අැති ‘ශ්වසන’ මාංශපේශීය) ස්වර තන්තු, උගුරෙහි පේශී සහ ඔබේ ඇස් පියන් පත් පවා එකට එක්වී සුසංයෝගීව කිවිසුම නිර්මාණය කරයි. ඇස් පියන්පත් සම්බන්ධවෙනවාද? ඔව්, ඔබ කිවිසුමක් අරින විට ඔබේ දෑස් පියවී යන බව ඔබට දැනී තිබේද? එසේ වෙන එක හොඳද? මන්ද කිවිසුම් යාමේදී ඔබේ නාසයෙන් හා මුවින් පියඹා වන දෑ ඔබට නොපෙනී යන හෙයිනි. පියඹනවා කියන්නේ ඇත්තටම පියාඹන නිසාවෙනි. ඔබේ නාසය උත්කෝපනයට පත් කරන දෑ කිවිසුමක් යන විට නාසයෙන්පිටවෙන්නේ පැයට කිලෝමීටර් 160ක වේගයකිනි. එක් කිවිසුමකින් වාතයට විෂ බීජ ලක්ෂයක් පමණ එකතු කළ හැකි බවට විද්‍යාඥයෝ ගණන් බලති.
කිවිසුමක් යන විට ලේන්සුවක් පාවිච්චි කිරීමට හෝ අතින් වසාගැනීමට කියන්නේ එහෙයිනි. සෙම්ප්‍රතිශ්‍යා වෛරස පහසුනේම අන් අයට බෝවෙන්නේ කිවිසුම් මාර්ගයෙනි.
තදින් හිරු එළියට නිරාවණය වූ විට කිවිසුම් යන අය ඔබ දැක තිබේද? ඔවුන්ගේ නාස උත්කෝපනයට පත් නොවන්නට ඉඩ ඇතුවා සේම මුහුණ හිරු එළියට ආසාත්මිකතාවක්ද නොදක්වති. එවැන්නන්ට කියන්නේ ප්‍රකාශ කිවිසුම්කරුවන් යනුවෙනි(photic sneezer). ඔවුන්ට එසේ වන්නේ ඇයි? එය ජානමය ගති ලක්ෂණයකි(genetic trait). ඒ කියන්නේ පරම්පරාවෙන් උරුම කර ගත්තකි. ප්‍රකාශ කිවිසුම කෙසේ ඇතිවෙන්නක් දැයි හරිහැටි කිව නොහැකි වුවත් මෙය ජනගහනයෙන් සියයට 18 සිට 35 අතර දැකිය හැක්කක් බව විශේෂඥයන්ගේ මතයයි. ප්‍රකාශ කිවිසුම සඳහා ඇත්තේ Autosomal Dominant Compelling Helio-Ophthalmic Outburst Syndrome යන සංකීර්ණ දීර්ග විද්‍යාත්මක නාමයකි. බොහෝ විද්‍යාඳයෝ එය ACHOO සින්ඩ්‍රෝමය යනුවෙන් කෙටිකර සඳහන් කරති.
කිවිසුමක් ගිය විට විශේෂයෙන්ම කුඩා දරුවෙකුට කිවිසුමක් ගිය විට ‘ආයුබෝවන්’ කීමේ පුරුද්දක් සමාජයේ ඇත. ඉංග්‍රීසි ජාතිකයෝ God bless you කියති. ජර්මන් භාෂාවෙන් එය Gesundheit (සෞඛ්‍යය) යන්නය. කිවිසුම යාම දුෂ්ට භූතාත්මවලට සම්බන්ධය යන පුරාණ අද්භූත විශ්වාසය නිසා මෙලෙස කියනු ලබන්නේ යයි විශේෂඥයෝ සැක කරති. කිවිසුමක් යන විට මොහොතකට හදවත ක්‍රියාකාරිත්වය නවතින්නේ යයිද ඇතැම්හු කියති. එය ද එවැනි විශ්වාසයකි.
Wonderopolis හි Why Do You Sneeze? ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න