තනි අණුවක මට්ටමින් ජීවිතය විමර්ෂණය කිරීම

මිනිස් සිරුරේ ෙසෙල ට‍්‍රිලියන සිය ගණනක් ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් එම ෙසෙල තුළ ඇති ඉතා කුඩා අණු-කොපමණ නම් කුඩාද කියතහොත් වැලි කැටයක් තුළ බිලියන ගණනක් ඇතුළු කළ හැකි තරම් කුඩා බව දන්නේ අප ටික දෙනෙකි. මේ අණු (molecules) හඳුන්වන්නේ ප්‍රෝටීන ලෙසයි. ඒවා අපේ සිරුරේ ෙසෙල තුළ අත්‍යවශ්‍ය ක‍්‍රියාදාමයන් ගණනාවක් ම ඉටු කරයි. මෙකී ප්‍රෝටීන නොමැතිව අපේ ෙසෙල ක‍්‍රියාකාරිත්වයෙන් තොරවනු ඇත.

ප්‍රෝටීන ඇත්තේ හුදෙක් මිනිස් ෙසෙල තුළ පමණක් නොවේ. ඒවා බැක්ටීරියා තුළ මෙන්ම දේවදාර ගස්වල ෙසෙල වලද ඇත. ඒ කියන්නේ සෑම ෙසෙලයකම ඇත යන්නයි. මෙයින් සමහර ප්‍රෝටීන ෙසෙලයේ පැවැත්මට අත්‍යව්‍යය. ඉන් තේරුම් ගත යුත්තේ ප්‍රෝටීනය අක‍්‍රීය කළොත් ෙසෙලය මිය යනු ඇත යන්නයි. මේ නිසයි අප අතර පොදුවේ භාවිත වන ප‍්‍රතිජීවක ඖෂධ බැක්ටීරියා ෙසෙල තුළ අත්‍යවශ්‍ය පේ‍්‍රටීන ඉලක්ක කරගන්නේ. අපට රෝග ගෙන එන බැක්ටිරියාවල ෙසෙල මරා දමන්නේ ප්‍රෝටීන නිෂ්ක‍්‍රීය කිරීමෙනි. කෙසේ වෙතත්, වර්තමානයේ භාවිතා කරන ඖෂධ බොහොමයක එ වැනි සුවිශේෂි ස්වභාවයක් නොමැත. ඒ කියන්නේ ඒවාට එක් ප්‍රෝටීනයක් පමණක් ඉලක්ක කර නිෂ්ක‍්‍රීය කළ නොහැකිය යන්නය. එක් තනි ප්‍රෝටීනයක් පමණක් ඉලක්ක කර ගන්නා ප‍්‍රතිජීවික ඖෂධ නිපදවීම දුෂ්කරය. අනෙක් අතට එසේ කිරීම ඉතා වැදගත්ය. මන්ද කීවොත් ප්‍රෝටීන ගණනාවක් ඉලක්ක කර නිෂ්ක‍්‍රීය කර දැමීමෙන් නොයෙකුත් අතුරු ආබාධ වලට මග පෑදිය හැකි බැවිනි. බඬේ අමාරුවල සිට ආඝාතය දක්වා පුළුල් පරාසයක අතුරු ආබාධ ඒ අතර වේ.

කෙසේ වෙතත්, ඒකල (තනි) අණු පර්යේෂණ (single molecule research) යනුවෙන් හැඳින්වෙන නව ආරක අධ්‍යයන ක්ෂේත‍්‍රයක නිරතව ක‍්‍රියාකරන විද්‍යාඥයන් පිරිසක් ද සිටිති. එක් එක් ප්‍රෝටීන ගෙන ඒවායේ වරකට එක බැගින් ඒවායේ අභ්‍යන්තර ක‍්‍රියාකාරිත්වය කෙබඳුදැයි හදාරා එම ප්‍රෝටීනය සිය කාර්යය ඉටුකරන්නේ කෙසේ දැයි දැන කියා ගැනීම මේ විද්‍යාඥයන්ගේ කාර්යයි. ප්‍රෝටීන ක‍්‍රියා කරන පිළිවෙල ඒකල අණු පර්යේෂණ මගින්් හැදෑරීමෙන් ලබාගන්නා දැනුම සුවිශේෂී ප්‍රෝටීනයම ඉලක්ක කරගන්නා නව ඖෂධ නිපදවීමෙන් අතුරු ආබාධ අඩුකරගෙන ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ අවස්ථාව උදාවෙයි.

මේ ක‍්‍රියාවලිය හඳුනා ගැනීම පිණිස අපි ප්‍රෝටීන මෝටර් රියක් බඳු යයි සිතමු. අප බොහෝ දෙනෙකුට  සිතෙන්නේ මෝටර් රියක් ඉටුකරන කාර්්‍යය ගැන මුලික විස්තරයක් කිරීමට අපට හැකිය යනුවෙනි. රෝද හතරක් ඇති මේ රිය, ඇක්සලේටරය පෑගූ කළ වේගයෙන් ඉදිරියට යයි. ඒ, අපට සිතෙන අන්දමයි. ඒත් මෝටර් රියක සැබෑ ක‍්‍රියාකාරිත්වය ගැන අප බොහෝ දෙනෙකුට නිශ්චිත අවබෝධයක් නැත. රථයක බොනට්ටුව ඇර බැලූවොත් අපේ මොළය අවුල්වෙනවා මිස එහි ක‍්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් ලබාගැනීමට නොහැකිය. එහෙත් පුහුණුව ලබූ කාර්මිකයෙකුට රථයක ක‍්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් ඇතුවා මෙන්ම එහි දෝෂ නිවැරදි කිරදීමටද හැකියාව ඇත.

463083-discovering-where-proteins-go

මේ අන්දමට, විද්‍යාඥයෝ ද විවිධ ප්‍රෝටීන සිය කාර්යභාරයන් ඉටු කරන ආකාරය ගැන විස්තරාත්මක අවබෝධයක් ලබාගැනීමට උත්සුක වෙති. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ මිනිසුන්ගේ මෙන්ම බැක්ටීරියාවේ සුවිශේෂී ප්‍රෝටීන අතර වෙනස්කම් ගැන විද්‍යාඥයන් විමසිලිමත් වන හෙයිනි. ප්‍රෝටීනයේ වැදගත්ම කොටස් ගෙන ඒවා අනෙක් ඒවායින් වෙනස් වන්නේ කෙලෙසද එමෙන්ම ඒවා සුවිශේෂී වන්නේ කෙලෙසද යන්න දැනගැනීමට විද්‍යාඥයන්ට අවශ්‍ය වේ. ප්‍රෝටීනයක් ක‍්‍රියාකරන්නේ කෙසේදැයි නිහ්චිතව අවබෝධ කර ගැනීමෙන් ඒවා වර්ග කිරීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබේ. එවිට ඔවුනට නිශ්චිත එක් ප්‍රෝටීනයක් පමණක් හඳුනාගෙන එය නිෂ්ක‍්‍රීය කළ හැකිවේ. එම ප්‍රෝටීනය නිශ්ක‍්‍රීය කිරීමට හැකිවන සුවිශේෂී ඖෂධ නිපදවීමට එමගින් ඉඩ සැලසේ. දැනට වෙළඳ පොළෙහි ඇති ඖෂධ වලට වඩා වැඩි කාර්යක්‍ෂමතාවකින් එමෙන්ම සුවිශේෂීභවකින් ක‍්‍රියා කරන ඖෂධ අනාගතයේදී සැලසුමි කිරීමට ඉඩ සැලසිය හැකි පරිදි ඒකල අණු පර්යේෂණ තුළින් වත්මන් ප‍්‍රතිජීවක හා රසායනික චිකිත්සාවය වැඩිදියුණු කළ හැකිවේ.

ඒකල අණු පර්යේෂණ මගින් අණුක ලෝකයට නව කවුළුවක් විවෘතකර දී ඇත. එහෙත් මෙය තවමත් සාපේක්‍ෂව අළුත් පරික්‍ෂණ අංශයකි. නව ශිල්පක‍්‍රම ගණනාවක්ම තවමත් ස්ථාපිත කරමින් පවතී. ප්‍රෝටීනයෙහි සුවිශේෂී කර්තව්‍ය මෙන්ම සුවිශේසී ගුණ හඳුනාගැනීමෙන් පසුව එම තොරතුරු රසායනඥයන්ට හා පරිගණක විද්‍යාඥයන්ට ලබාදුන් විට ඒවා ප‍්‍රයෝජනයට ගන්නේ කසේ දැයි තීරණය කෙරෙනු ඇත. වඩා හොඳ ඖෂධ නිපදවීම සඳහා එම තොරතුරු යොදාගන්නේ කෙසේ දැයි තීරණය කිරීම මීට නිදසුන් ලෙස දැක්විය හැක. අනාගතයේදී වෙළඳපොළට වඩා ඵලදායී ඖෂධ හඳුන්වා දෙනු වස් අවශ්‍ය වන තොරතුරු වලින් වැදගත් කොටසක් මේ අන්දමට ඒකල අණු පර්යේෂණ මගින් සැපයේ.

පසුගිය වසර 20 තුළ මේ පර්යේෂණ සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රගතියක් අත්පත් කරගෙන ඇත. එම පර්යේෂණ වල අවධානය යොමුවන ප්‍රෝටීන පරාසය එන්ට එන්ට වැඩිවෙයි. එමෙන්ම නව තාක්‍ෂණ ක‍්‍රමද ඒ සමගම ඒවාට එක්වෙයි. මෙසේ ලැබෙන තොරතුරු අවසානයේ යොමුවන්නේ කොයිබටදැයි පුරෝකතනය කිරීම අසීරු වුවද ප්‍රෝටීන ගැන අප තවමත් නොදන්නා බොහෝ දේ ඇති බව නම් පැහැදිළිය. ඒකල අණුක පර්යේෂණයේ නිරත විද්‍යාඥයන් පමණක් නොව සකල ලෝක වාසී විද්‍යාඥයන් පිරිස ප්‍රෝටීන ගැන දිගටම කරුණු සොයා බලන්නෙත්් ඉන් මතුවන ගැටළුවලට විසඳුම් සෙවීමට උත්සුක වන්නේත් ඒ නිසාවෙනි.

HELIX සගරාවෙහි The Secret Life of Proteins ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending