එතනෝල් යන්න මෑතක අපේ රටේ දේශපාලනය හරහා කරළියට ආ වදනක් ලෙස දැක්විය හැකියි. ‘එතනෝල්කාරයා’ ‘එතනෝල් විකුණනවා’ වැනි සඳහන් කිරීම් ඔස්සේ අප වැඩිදෙනෙකුට සිතෙන්නේ එතනෝල් යනු විෂ මත්ද්‍රව්‍ය විශේෂයක් ලෙසටයි. ඇත්තටම එතනෝල් කියන්නේ මොනවාටද? තතු මේ වෑයම් කරන්නේ එතනෝල් කුමක්ද යන්න සොයා බලන අතරම විකල්ප ඉන්ධනයක් ලෙස එතනෝල් භාවිතය ගැන විපරමක් කිරීමටයි.
එතනෝල් යනු පැහැදිලි, අවර්ණ ද්‍රව්‍යයකි. එතිල් ඇල්කොහොල්, ධාන්‍ය ඇල්කොහොල් යන නම්වලින්ද එය හැඳින්වේ. සමාජයේ සමහරු මධ්‍යසාර බීම ලෙස සැලකෙන බියර, වයින්, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි ආදියේ අඩංගුවන්නේ ද එතිල් මධ්‍යසාරය හෙවත් එතනෝල්ය. එහෙත් එය විවිධ අනුපාන අනුව ශුද්ධ ජලය හා මිශ්‍රකර ඇත. රසායන විද්‍යාත්මකව බැලුවොත් එතනෝල් අණුක ව්‍යුහය පහත දැක්වෙන ස්වරූපය ගනී.
CH3-CH2-OH
මෙහි C යනු කාබන්ය. H යනු හයිඩ්‍රජන් ය. O යනු ඔක්සිජන්ය. ඒ අනුව එතනෝල් යනු පරමානු 9ක් පමණක් අඩංගු සරල අනුවකි. මිනිසා එතනෝල් හෙවත් මධ්‍යසාර ගැන දැන සිටියේ නවින රසායන විද්‍යාව බිහිවීමට බොහෝ කාලයකට පෙරය. එතනෝල් (ethanol) යන නාමය යොදා ගනු ලැබුවේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර 1892 අප්‍රියෙල් මාසයේ පැවති රසායනික නාමකරණය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ දී සම්මත කර ගනු ලැබූ යෝජනාවක් අනුවය. අප දන්නා මධ්‍යසාර බීම බොහොමයක අඩංගු එතනොල් නිපදවනු ලබන්නේ යිස්ට් මගින් සීනි පැසවීමෙනි.
එතනෝල් වාෂ්පශීලි, ගිනිගන්නා සුළු අවර්ණ ද්‍රවයෙකි. යාන්තමට රසායනික ගන්ධයක් ඇත. එය මධ්‍යසාර බීමක් ලෙස පමණක් නොව ද්‍රවකයක් (solvent), ශෝධක ද්‍රාවණයක් (cleaning product), ඉන්ධනයක් සහ නොයෙකුත් ආර්ථික යෙදවීම් මෙන්ම වෛද්‍යමය ප්‍රයෝජන සඳහා ද භාවිත කරනු ලැබේ. එය උෂ්ණත්වමානය (උණකටුව) සඳහා පවා යොදා ගනු ලැබේ. එතනොල් මධ්‍යසාරය යනුවෙන් සාමාන්‍ය ජනතාව විසින් හඳුන්වනු ලැබූවද මධ්‍යසාරය යනු ඇත්තටම ඓන්ද්‍රීරසායනික පවුලක්ම හැඟවන අතර එතනෝල් යනු එක් සාමාජිකයකු පමණි.
‘සැර බීම’ හෙවත් මධ්‍යසාර අඩංගු බීම ලෙස මිනිස් පරිබෝජනයට ගැනීමේදි එතනෝල් සඳහා බොහෝ රටවල අධික බද්දක් අය කරනු ලැබේ. එහෙත් එතනෝල් කාර්මික උපයෝජනය සඳහා ගැනීමේ දී මෙයින් නිදහස්වීම පිණිස එය බීමට නුසුදුසු තත්වයකට ගෙන ආ යුතුවේ. එලෙස සැකසූ එතනෝල් හඳුන්වනු ලබන්නේ ‘විස්ස්වාභාවිකෘත මධ්‍යසාරයක්’ (‘denatured’) ලෙසටය. එසේ මිශ්‍ර කරන ප්‍රධාන ඩෙනටෝනියම් බෙන්සොඒට් (denatonium benzoate) කුඩා ප්‍රමාණයක් යෙදු විට අතිශය තිත්ත රසයක් එකතුවේ. විස්ස්වාභාවිකරණකාරක ලෙස අනෙකුත් මධ්‍යසාර, මෙතනෝල් (methanol) හා කීටෝන් (ketone) ද වේ. මෙතිලේට් ස්ප්‍රීතු (Methylated spirit(අප වැඩිදෙනකු කියන පරිදි වයින් ස්ප්‍රීට්)) යනු එතනෝල් විෂ මධ්‍යසාරය වන මෙතනෝල් 10% මිශ්‍ර කිරීමෙන් සෑදුනකි. (මේවාට ඇතැම්විට දම්පාට ඩයි වර්ගද යොදනු ලැබේ.)
එතනෝල් ඉන්ධනයක් ලෙස භාවිතය ඇරඹුණේ බොහෝ කලකට පෙර සිටය. පාසල් රසායනාගාරයකට ගොස් ඇත්නම් එහි මධ්‍යසාර දාහකය සඳහා යොදා ගනු ලබන්නේ මෙතිලේට් ස්ප්‍රිතු බව දැක තිබෙන්නට පුළුවන. එතනෝල්වල 26.8 m J/Kg දහන අගයකින් යුක්තය. එය දැව දහන අගයට වඩා වැඩි වුවත් පැට්‍රෝල්වලට වඩා අඩුය. ඉන් ඇතිවන දේශගුණික බලපෑම් නිසාත්, ලෝක සංචිත පහළ වැටීමත් නිසා ඉන්ධනයක් ලෙස ඛනිජ තෙල් භාවිතය ගැන දැඩි අවධානයක් යොමුවීමත් සමගම පරිසර හිතකාමී ඉන්ධනයක් හැටියට එතනෝල් භාවිතය ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබේ.
එතනෝල් අභ්‍යන්තර දහන එන්ජින්වල හොඳින් ක්‍රියාකරයි. ඇත්තටම හෙන්රි ෆෝඩ් සහ අනෙකුත් මුල් යුගයේ මෝටර් රථ නිෂ්පාදකයෙක් බලාපොරොත්තු වුණේ එතනෝල් මූලික ඉන්ධනය බවට පත්වේය යනුවෙනි. ඒ ඛනිජ තෙල් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ලැබීමට පෙරය. කෙසේ වෙතත් ශුද්ධ එතනෝල් ගැලුමක අඩංගු ශක්තිය පෙට්‍රල් ගැලුමකට වඩා 30%කින් අඩුය. අද ඇමරිකා එක්සත් ජනපදයේ ඇති පෙට්‍රල් 95%කම එතනෝල් අඩංගුය. ඒවා මිශ‍්‍රකරන අනුපාතය එකිනෙකට වෙනස් වේ. අඩු මට්ටමේ මිශ්‍රණයක් වන E 10 හි පැට්‍රල් 90%ක් අඩංගු අතර එතනෝල් ඇත්තේ 10%කි. මෙය බොහෝ දුරට සාමාන්‍ය පැට්‍රල්වලට සමාන අතර පැට්‍රල්වලින් ක්‍රියාකරන ඕනෑම වාහනයකට යෙදිය හැකිය. වැඩි මිශ්‍රණයක් සහිත E85 හි 51% සිට 83% දක්වා එතනොල් අඩංගුය මේවා යොදා ගත හැක්කේ නම්‍ය ඉන්ධන වාහනවල(flexible fuel vehicles) භාවිතයටයි. ඒවා සකසා ඇත්තේ ඉන්ධනයේ ඉහළ එතනොල් ප්‍රමාණයට ඔරොත්තු දෙන අන්දමටය. E85 යොදා ගත් වාහනවලින් කාබන් ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් විමොචනයවීම්ද අඩුය.
එතනෝල් නිෂ්පාදනයට යොදා ගන්නේ ධාන්‍ය හා උක් වැනි ශාක ද්‍රව්‍යයි. ඉන්ධනයක් ලෙස එතනෝල් භාවිතයේ දී වඩාත් විවාදසම්පන්න කාරණාව ලෙස ඉස්මතු වන්නේ ද එතනෝල් නිෂ්පාදනයට මුල්වන ද්‍රව්‍යයි. ධාන්‍ය පදනම් කරගෙන එතනෝල් නිපදවීම ධාන්‍ය මිල ගණන් කෙරෙහි පමණක් නොව ආහාර හා වෙනත් නිෂ්පාදන සඳහා ධාන්‍ය යොදා ගැනනීම කෙරෙහි ද අහිතකරව බලපායි. අනික ඒවා පැට්‍රෝල් තරමටම ශක්තිය නිපදවන්නේ ද නැත. තවද එතනෝල් නිපදවීමේදී ධාන්‍ය වගාකිරීම, පිරිපහදු කිරීම හා බෙදාහැරීම සඳහා පොසිල ඉන්ධන යොදා ගැනීමට සිදු වේ. එහෙත් වාසනාවකට මෙන් සෙලියුලෝස් පදනම් ආහාර නොවන කෘෂිකාර්මික නිෂ්පාදන සහ කසළ මෙන්ම පරණ පත්තර හා අනෙකුත් නිෂ්පාදන ආදි කරගෙන එතනෝල් නිෂ්පාදනය කළ විට පෙට්‍රල් ඉන්ධන සමග කාර්යක්ෂමතාව අතින් තරගකාරී විය හැකි අතර ධාන්‍ය හා වෙනත් ආහාර කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.
වෙබ් අඩවි ඇසුරෙන් තතු මාණඩලිකයෙකු විසින් සකසන ලදී






ප්‍රතිචාරයක් ලබාදෙන්න