Smith title

ලස්සන තියෙන්නේ දකින අයගේ ඇසෙහි යනුවෙන් ප‍්‍රකට කියමනක් ඇත. එම කියමනට පදනම් වී ඇත්තේ ලස්සන යනු  නිත්‍ය  වශයෙන් පිළිගත් දෙයක් නොව එකිනෙකා ලස්සන ගැන දරනා මතය අනුව තීරණය වන්නක් යන්නයි. අප තවත් කෙනෙකු කෙරෙහි ආකර්ෂණය වීමට බොහොමයක් දුරට මග පෙන්වන්නේ අප එකිනෙකාගේ පෞද්ගලික ජීවිත අත්දැකීම් යන්න නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. විවිධ ජතීන්ට අයත් පුදගලයන්ගේ බහුජාතික මුහුණුවල ආකර්ෂණීය බව අගයැන්නැයි මෙම සමීක්ෂණයේ  දී දහස් ගණන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිසකගෙන් ඉල්ලා සිිටිනු ලැබීය.

සමමිතිය වැනි මිනිස් මුහුණේ ඇතැම් සර්වභෞම අංග (universal aspects) කෙරෙහි බොහෝ දෙනෙකු ආකර්ෂණය වනු ඇත ද එම පොදු සෞන්දර්යාත්මක මනාපයන්(aesthetic preferences)   බලපාන්නේ මුහුණක් කෙරෙහි ඇතිවන සම්පූර්ණ ආකර්ෂණයෙන් සියයට 50 කට පමණ වේ. මේ සමීකරණයේ ඉතිරි අර්ධය බෙහෙවින් පෞද්ගලික සාධක නිසා විය හැකිය. අප කුඩා කාලයේ දැන සිටි මිතුරිය හෝ මිතුරාගේ මුහුණ අපේ මනාපයන් කෙරෙහි ජීවිත කාලය පුරා පවා බලපෑම් ඇති කිරීමට පුළුවන. එක සමාන ජාන සහිත සර්වසම නිවුන්නු පවා එකම මුහුණකට එක හා සමානව මනාපයන් නොදක්වන්නේ මේ හේතුව නිසාවෙනි. ‘‘බ‍්‍රැඞ් පිට් ආකර්ෂණීය පුද්ගලයෙකු බව බොහෝ දෙනා පොදුවේ පිළි ගනිති. සමහරු ඔහුට හතෙන් හතක් ලකුණු දීමට සූදානම් අතර සමහරු හතරක් දීමට ඉඩ ඇත. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් ගත් කළ සුපිරි තරු ආකර්ෂණීය බව පිළි ගන්නවා’’ යයි අධ්‍යයනයේ සම කර්තෘ, මනෝ විද්‍යාඥ ජෙරමි විල්මර් පවසයි.

අප පොදුවේ පිළිගන්නා මනාපයන්ෙග් නිමිත්ත ගැන විවාද පවතින්නේ දිගු කාලයක් තිස්සේය. කළින් සිදුකළ අධ්‍යයන සමහරකින් සෞඛ්‍ය සම්පන්න හා සාර්ථක ප‍්‍රජනනයට සම්බන්ධ කිරීමට හැකියාවක් ඇති පරිණාමීය කාර්ය භාරයක් ඇතැයි යෝජනා කෙරිණ. එහෙත් තවත්අතීත අධ්‍යයනවලින් වැඩි අවධානයක් යොමු කෙරුණේ අපේ මනාපයන් හැඩ ගැස්වීමේ දී සංස්කෘතිය ඉටු කරන කාර්ය භාරය කෙරෙහිය. යම් අයෙකු පොදුවේ සිත්ගත් පුද්ගලයෙකු බවට පත්වන්නේ මන්දැයි යන්න කෙරෙහි නැඹුරු නොවී විල්මර් හා සගයන් සොයා බැලීමට උත්සහා කළේ ප‍්‍රියකරු බව ඒ ඒ පුද්ගලයාගේ ඇසට පෙනෙන ආකාරය සහ අපට සුවිශේෂී මනාපයන් ඇතිවන්නේ කොයිබින්ද යන්න සොයා බැලීමටය. ඒ අනුව ඔවුන් වෙබ් අඩවියක් අරඹා එහි එකිනෙකට වෙනස් මුහුණු 250 ක් පළ කොට තමන්ට දැනෙන ආකාර්ෂණය අනුව 1 සිට 7 දක්වා ලකුණු දෙන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලීමක් කෙරිණ.

ආකාර්ෂණය අනුව ලකුණු දීමට සපයා තිබූ මුහුණක්
ආකාර්ෂණය අනුව ලකුණු දීමට සපයා තිබූ මුහුණක්

මුලින් ස්වේච්ඡාවෙන් සහභාගී වන අය 35,000 ක් ප‍්‍රතිචාර දැක්වූහ. මෙහි දී  පෙනී ගියේ සංඛ්‍යාවෙන් අඩක් ම අහඹු ලෙස තම මනාපයන් දක්වන බවයි. ඉන් අනතුරුව විද්‍යාඥයන් පිරිස එම පරීක්ෂණය ම සර්ව සම නිවුනන් යුගල 547 ක් සහ සර්ව සම නොවන නිවුන්නන් යුගල 214 ක් අරභයා පැවැත් වූහ. සියළුම ජාන පාහේ එක සමාන වන අයවලූන් අතරේ ද මනාප මට්ටම 50-50%  පැවති බව පරීක්ෂණ කණ්ඩායමට පෙනී ගියේය. මානව සංජානනය, චින්තනය හා චර්යාව ගැන මීට කලින් නිවුන්නන් යොදා කළ පරීක්ෂණ වල දී පෙනී ගියේ ජාන ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන බවයි. සමාන චර්යා ගැන කළ පරීක්ෂණක දී පවා මුහුණ හඳුනා ගැනීම හෙවත් වක්ත‍්‍ර ප‍්‍රත්‍යාභිඥනය(facial recognition) බොහෝ කොට ජාන මගින් මෙහෙය වන්නක් බව පෙනී ගියේ යැයි විල්මර් පවසයි. ‘‘ඒ හන්දා අපේ පරීක්ෂණයේ දී ජානවලට අඩු තැනකුත් පරිසරයට වැඩි වටිනාකමකුත් එකතුවීම අපට පුදුමය ගෙන දෙන්නක් වුණා’’. පර්යේෂණයට ලක් වූවන්ගේ මනාපයන් ට මූලිකවම විවිධ පුද්ගලයන් සමග හෝ මාධ්‍යයේ දැක්වෙන මුහුණු වල අනුරූප සමග අතීතයේ දී සිදුකළ සමාජමය අන්තර් ක‍්‍රියාද ඇතුළුව බලපෑවේ පෞද්ගලික අත්දැකීම් බව හෙතෙම හෙළි කළේය.

‘‘සර්වසම නිවුනන්ට සමාන ජාන තිබෙනවා. ඉන්නේ එකම පවුලක. ඒත් ඔවුන්ගේ සමාජ ආශ‍්‍රයේ දී ඔවුන්ට වෙන වෙනම මිතුරන් ඉන්නවා. වෙන වෙනම වෙනත් වැදගත් අය හා අන්තර් ක‍්‍රියා කරනවා.’’

පර්යේෂණ කණ්ඩායමේ ඊළඟ පියවර වන්නේ ඒ ඒ අය පුද්ගලිකව ආකර්ෂණය කිරීමට සමත් වන මුහුණු වල සුවිශේෂී අංග ගැන විමසීමයි. එමෙන් ම අපේ මනාපයන් මත වැඩිම බලපෑම ඇති කරන්නේ කුමකින්ද යන්න ගැනත් සොයා බැලීමට යි. තව ද මුහුණු හැරුණු කොට අප පියකරු යැයි සිතන අනෙක් දේවල් කෙරෙහි ඒ ඒ පුද්ගලයාගේ අත්දැකීම් හෝ ජාන කෙතෙක් බලපෑම් ඇති කරන්නේ ද යන්න ද සොයා බැලීමට නියමිතයි.

‘‘ අපට තව බලන්න පුළුවන් කලා කෘති, සංගීතය හෝ විවිධ වර්ණ හෝ භූ දර්ශණ එහෙමත් නැත්නම් අනෙකුත් දේ ගැන මොනවද හිතෙන්නේ කියලා’’ විල්මර් කියයි “ඒ සියල්ල ගැන අපට මෙලෙස දර්ශණ වාදීව ප‍්‍රශ්ණයක් නැගිය හැකිය. ලස්සන කියන්නේ මොකක්ද, බලන්නාගේ ඇස් මත එයින් කොපමණ රඳා පවතීද? ඒ වගේම එය එන්නේ කොයිබින්ද?”

SMITHSONIAN SCIENCE MAGAZINE   හි   What’s Beautiful? It Depends on What Your Eyes Have Already Beheld ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending