තතු නිතර දේශගුණය හා ඊට අදාළ මාතෘකා ගැන කතා කරන බව තතු හිතවත්තු දනිති. අද අපි දේශගුණයට අදාළ තවත් පැතිකඩකට යොමුවෙමු. ‘කොහොමද ඔබේ දේශගුණය?’ කියා ඔබ කවදා හෝ යම්කිසි කෙනෙකුගෙන් අසා තිබෙනවාද? ඔබ සාමාන්‍යයෙන් විමසා සිටින්නේ ‘කොහොමද කාලගුණය’ යනුවෙනි. සාමාන්‍යයෙන් අප දේශගුණය හා කාලගුණය පටලවා ගන්නේ නැත. අප කාලගුණය ගැන විපරම් කිරීමේ දී සාමාන්‍යයෙන් අදහස් කරන්නේ උෂ්ණත්වයෙහි, වර්ෂණයෙහි සහ සුළගෙහි       වෙනස්වීම් ගැන දැනගැනීමට ය. මන්ද, එම වෙනස්කම් අපේ එදිනෙදා ජීවිතයට කෙළින්ම බලපාන හෙයිනි. අද වැඩට යන විට කුඩයක් ගෙන යා යුතුද? සෝදා දැමු ඇඳුම් අදවත් වේලා ගැනීමට හැකිවේද? ආදී තීරණ ගත යුතුව ඇත.

ඒ සඳහා අප විශ්වාසය තබන්නේ කාලගුණ දෙපාර්තමේන්තු අනාවැකි හෝ මාධ්‍ය නිවේදන මත ය. තීරණ ගන්නේ ඒවා පදනම් කරගෙනය. කාලගුණ විද්‍යාඥයන් කෙරෙහි මේ රඳා පැවැත්ම කොපමණද කීවොත්, තනිකරම කාලගුණ අනාවැකි පළ කිරීම සඳහා විද්‍යාවේ වෙනමම ශාඛාවක් වෙන් වී ඇත. එහෙත් කාලගුණය සම්බන්ධයෙන්  පුරෝකතන කිරීම පහසු කාර්යයක් නම් නොවේ. ඊට හේතුව අනාවැකි පළ කිරීමට අදාලව  විචල්‍ය සාධක බොහෝ පැවතීමයි.

weather_climate

කාලගුණ විද්‍යාව(meteorology)

කාලගුණ විද්‍යාව යනු වායුගෝලය සහ එහි සංසිද්ධි වලට අදාල විද්‍යාවයි. කාලගුණ විද්‍යාඥයන් වායුගෝලයෙහි උෂ්ණත්වය, ඝනත්වය, සුළං, වළාකුළු, වර්ෂණය සහ එහි වෙනත් ගුණාංග නිරීක්ෂණයෙහි යෙදෙන අතර එහි නිරීක්ෂිත ව්‍යුහය ගැනත් එහි ඊට පිටතින් එන බලපෑම් ගැනත් භෞතික විද්‍යාවේ මූලික නීති ගැනත් කරුණු දක්වති. කාලගුණ විද්‍යාත්මක සංසිද්ධි වායුගෝලයෙහි රසායනික ගුණ කෙරෙහි බලපායි. කාලගුණය යනු වායුගෝලයෙහි පවතින ස්වභාවයයි. ප‍්‍රධාන වශයෙන් මිනිස් ජීවිත වලට හා මිනිස් ක‍්‍රියාකාරකම් වලට අදාලව වායුගෝලයෙහි ස්වභාවයයි. එය දිගු කාලීන කාලගුණ ස්වභාවයන්ගේ බලපෑම් ගැන කියවෙන දේශගුණයෙන් වෙන් කොට දත යුතුය. කාලගුණය සමන්විත වන්නේ වායුගෝලයේ කෙටි කාලීන (මිනිත්තු ගණනේ සිට මාස ගණන්) විචල්‍යයන් වෙනස්කම් වලිනි. කාලගුණය මූලිකව ම විග‍්‍රහ කරනු ලබන්නේ තාපය (උෂ්ණත්වය), පීඩනය, වළාකුළු, ආර්දතාව, සුළං සහ තෙතමනයට අදාලව ය. මන්ද ඒවා තමයි කාලගුණය සැදුම්ලත් අංග. රික්තයකට ආසන්න වන තරමට වායු ගෝලය තුනීව පවතින පෘථිවියේ ඉහළ මට්ටමක දී කාලගුණය නොපවතී. එහෙයින් කාලගුණය ඇත්තටම පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව ඇතිවන සංසිද්ධියකි. අපේ පරිසරය පුරා දිවෙන සදා වෙනස්වන ඇතැම් විට අනපේක්ෂිත ලෙස වෙනස්වන, බොහෝ විට ප‍්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා කාලගුණික සංදර්ශන අපට පැහැදිලිව ම දිනපතා ම දැකගත හැකිවේ.

residents-agriculture-weatherClimate

පරිසර විද්‍යාව හැදෑරීමේ දී, වඩාත් සුවිශේෂීව ගතහොත් (කිසියම් ප‍්‍රදේශයක වායු දූෂණය විශේෂයෙන් සැලකිල්ලට ගනිමින්) සුළෙඟහි ගුණාත්මක බව අධ්‍යයන කිරීමේ දී තීරණාත්මක සාධක සෘජුවම සම්බන්ධ වන්නේ වායුගෝලයේ ගතිකයන්ට ය — ස්ථානීය කාලගුණය. මෙකී තීරණාත්මක සාධක අතර සුළංවල ශක්තිය, ඒවා හමන දිශාව(), උෂ්ණත්වය සහ ලැබෙන සූර්යාලෝකය (ධූමිකා නිපදවන ප‍්‍රකාශ රසායනික ප‍්‍රතිචාරයන් මුල පිරීමට සූර්යාලෝකය අවශ්‍ය වේ) සහ අවසන් කාලගුණ සංසිද්ධිය (දැඩි සුළඟ සහ තද වර්ෂණය ඇතුළුව) ඇතිවී ගතවූ කාලය ද වේ. අප ආශ්වාස කරන වාතය පවිත‍්‍ර කිරීමට බලපාන්නාවූ හානි පමුණුවන්නේ නැති කාලගුණ සිද්ධි පැහැදිලිව ම වැඩදායක ය. කෙසේ වෙතත්, ටයිපූන්, සුළි සුළං සහිත චණ්ඩමාරුත (tornado) හා සැඩ කුණාටු වැඩදායක කාලගුණ සිද්ධි ලෙස දක්වන්නෝ විරලය. තව ඇතැම් කාලගුණ සිද්ධිවල ධනාත්මක මෙන් ම සෘණාත්මක පැති තිබෙන්නට පුළුවන. එල්නිනෝ එවැනි සංසිද්ධියකි.

THE HANDBOOK OF METEOROLOGY(2013) by Frank R. Spellman හි Weather and Climate ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending