ඔබ උදේ ආහාරයට බිත්තරයක් කෑවා යයි සිතමු. එසේ නම් ඔබ අනුභව කර ඇත්තේ සම්පූර්ණ සෛලයක්. ඒත්… ? ඔව් මේ ලිපියේ මාතෘකාවෙන් අහන්නේ සෛල විශාල නැත්තේ ඇයි කියලා. සෛල ගැන හිතනකොට බිත්තරය කොපමණ නම් විශාලද? හරි අපි බිත්තරයේ කතාව මදකට කල් තබලා සෛල ගැන සොයා බලමු.
අප බොහෝ දෙනෙකු දන්නා පරිදි සෛල බොහොමයක්ම අතිශය කුඩායි. ඒවායේ විෂ්කම්භය මයික්‍රෝන 10 සිට 30 දක්වා පරාසයකයි තිබෙන්නේ. මේ ප්‍රමාණය තේරුම් ගැනීම පහසු කිරිමට නිදසුනක් දැක්වුවහොත් කඩදාසි අමුණන ක්ලිප් එකක පළල මයික්‍රෝන 1000ක් ඒ කියන්නේ මිලිමීටරයක් (මයික්‍රෝන 1000 = මිමි 1 යි). සෛල කොතරම් කුඩාද කියතහොත් සෛල බහුතරය පියවි ඇසින් දැක බලා ගන්න බැහැ. ඒවා දැක ගැනීමට නම් අන්වීක්ෂයෙන් ඒ කියන්නේ මයික‍්‍රස්කෝපයක් () අවශ්‍යයි. නිදසුනක් දක්වතොත් ඔබේ රුධිර සෛල කොපමණ කුඩා ද කියතහොත්, කලකට පෙර තිබූ ශතයේ කාසියක විෂ්කම්භය හරහා තබන්නට එක දිගට රුධිර සෛල 2,500ක් පමණ පෙළ ගැස්විය යුතු වේ. විශාල සෛල ඇත්තේ ඉතාමත් සුළු සංඛ්‍යාවක්. මේ ලිපියේ ආරම්භයේ සඳහන් කළ බිත්තර එවැනි එක් තනි සෛලයක්. තවත් නිදසුනක් දක්වතොත් සමුද්‍ර ඇල්ගී වර්ගයක් වන ඇසටබුලේරියා (acetabularia) ශාකයේ එක් එක් තනි සෛල දිගින් සෙන්ටි මීටර 5 ක් පමණ වේ මේ හැරුණු කොට හීනි දිග තවත් වර්ගයක සෛල ද තිබේ. ඔබේ කණ්ටකීය රජ්ජුව(spinal cord) හෙවත් සුෂුම්නාවේ (කොඳු ඇට පේළිය තුළ ඇති ස්නායු මිටියෙහි) සිට පා ඇඟිලි හෝ අත් ඇඟිලි වෙත දිවෙන ස්නායු සෛල (nerve cells) හීනියි. දිගටයි. එහෙම වුණත් කිකිළි බිත්තරයක් තරම් විශාල වන්නේත් ස්නායු සෛල තරම් දිගින් යුක්ත වන්නේත් සෛල අල්පයකි.
සෛල මෙතරම් කුඩා වන්නේ මන්දැයි වටහා ගැනීමට නම් අප ප්‍රථමයෙන් දැන ගත යුතු කාරණාව වන්නේ සෛල බහුතරය නිරතුරුවම වැඩෙහි යෙදී සිටින බවයි. මොනවද මේ වැඩ? ශක්තිය පතා අණු සිඳ බිඳ දැමීම, සෛලවලට අවශ්‍ය වන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම එවැනි කාර්යයන්ය. සෑම සෛලයක් සිය මායිම ඒ කියන්නේ සෛල පටලය හරහා සිය අවශ්‍යතා සපුරා ගැනීමට තරම් ප්‍රමාණවත් වන වේගයකින් ද්‍රව්‍ය ඇතුළටත් පිටතටත් එහා මෙහා කළ යුතුය. එම හේතුව නිසා, එහි පටලමය පෘෂ්ඨ කෙෂ්ත්‍රඵලය (surface area = SA), සෛල මගින් කොටු කරගන්නා පරිමාවට අනුපාතිකව සෛලයේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක වේ.
මෙය අපි තව ටිකක් පැහැදිලි කර ගමු. සෛලයක් පහත රූප සටහනෙහි දක්වා ඇති මාදිලියේ සමචතුරශ‍්‍ර පැති හයක් ඇති ඝනකයක් යයි සිතමු. මෙම සෛලයේ සෑම පැත්තක්ම දිගින් සෙන්ටිමීටර 1 යි. ඒ අනුව සෛලයේ සෑම පැත්තකම පෘෂ්ඨ කෙෂ්ත්‍ර ඵලය සෙ.මී. 1xසෙමි. 1 = සෙමි 2 1 වේ. එවිට පෘෂ්ඨ 6 හි එනම් පැති 6 හි සම්පූර්ණ කෙෂ්ත්‍රඵලය (සෙමි. 2 6 කි) වර්ග සෙන්ටි මීටර හයකි. මෙකී සෛලයේ පරිමාව ගණනය කරන්නේ එහි දිග xපළලxඋස වැඩිකිරීමෙනි. ඒ අනුව එහි පරිමාව සෙමි. 1x සෙමි. 1 x සෙමි. 1 = සෙමි3 1 යි. මෙම සෛලයේ පෘෂ්ඨ කෙෂ්ත්‍රඵලය සහ පරිමාව අතර සම්බන්ධය හෙවත් අනුපාතය 6:1 (හයට එක) ලෙස දැක්විය හැකියි.

දැන් බලමු සෛලය වර්ධනය වන විට සිදුවන්නේ කුමක්දැයි බලමු. නැවතත් රූප සටහනට යොමු වුණොත් දැන් සෛලයේ එක පැත්තක් සෙමි.2 ක් දක්වා වැඩි වී ඇත. එවිට මුළු පෘෂ්ඨය කෙෂ්ත්‍රඵලය සෙ.මී. 24 කි. එහි පරිමාව දැන් සෙමි 3 8 දක්වා ඉහළ ගොසින්ය. (සෙමි. 2x සෙමි 2x සෙමි2) පෘෂ්ඨ කෙෂ්ත්‍රඵලය හා පරිමාව අතර අනුපාතය දැන් 24:8ක් හෙවත් 3:1කි. සෛලය දිගටම වර්ධනය වෙද්දී මේ අනුපාතය තවත් කුඩා වන බව රූප සටහන නිරීක්ෂණයෙන් පැහැදිලි වෙයි.
මේ අනුව, සෛල අන්වීක්ෂිය වීමට (පියවි ඇසට නොපෙනීමට තරම් කුඩා වීමට) එක් හේතුවක් වන්නේ, ඒවා සිය පෘෂ්ඨ කෙෂ්ත්‍රඵලයට අනුපාතිකව පරිමාව විශාලව තබා නොගතහොත් සිය අවශ්‍යතා සපුරා ගනු වස් ප්‍රමාණවත් වන තරමට වේගයෙන් (සිය සෛල පටල හරහා) ද්‍රව්‍ය පිටතට හා අතුළට එහා මෙහා කිරීමට නොහැකි වන නිසාය.
සෛල පොදුවේ ගත් කල විශාලව වර්ධනය නොවීමට බලපාන තවත් සාධකයක් වන්නේ ඒවායේ පාලක මධ්‍යස්ථානය හෙවත් න්‍යෂ්ටියයි(nuclei). සෛලය වුවමනාවට වඩා විශාල වුවහොත් ක‍්‍රියාකාරී සෛලයක සියලුම කටයුතු පාලනය කිරීමට න්‍යෂ්ටියට නොහැකිවෙතැයි විද්‍යාඥයෝ කල්පනාකරති. ඇත්ත වශයෙන්ම ඒක සෛලික (unicellular) පැරමීසියාවන් (ඒක ෙසෙලික කරදිය ජීවීන්) වැනි සමහර විශාල සංකීර්ණ සෛලවල න්‍යෂ්ටි දෙකක් තිබේ. න්‍යෂ්ටි එකක් පමණක් තිබෙන සංස්චනය නොවූ ඩිම්බ සෛල වැනි විශාල සෛල සාමාන්‍යයෙන් අක‍්‍රිය සෛලයි. ඉතින් මාතෘකාවේ දක්වා ඇති ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කිව හැක්කේ තම අවශ්‍යතා සපුරා ගැනීම පිණිස සෛල කුඩාවට පවතින බවයි.
HUMAN BIOLOGY (by Sandra S. Gottfried) ග‍්‍රන්ථයෙහි Why aren’t cells larger? යන උප මාතෘකාව ඇසුරෙනි





Opatha Vithanage Samanthika Madavi වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න