ගෝලීය වශයෙන් මුහුදු මට්ටම් ඉහළ යාමේ ඵලවිපාක ප්‍රමුඛ කාලගුණ ආකෘතිවලින් පුරෝකථනය කළ තත්ත්වයන්ට වඩා භයානක විය හැකි බව පැවසේ. මෙකී කාලගුණ ආකෘති අයිස් තලා සහ ග්ලැසියර මිදීයාම සම්පූර්ණ වශයෙන් සැලකිල්ලට ගත්තේ නැත. ඒ මදිවාට, මෙම කරුණු අනාවරණය කරන නාසා විද්‍යාඥයන් කියා සිටින්නේ දැනටමත් මුහුදු මට්ටම් ඉහළ යාම සිදුවන බවයි. අද ලෝකය හමුවේ ඇති විවෘත ගැටලුව වන්නේ අනාගතයේදී මුහුදු මට්ටම් කොපමණ සීඝ්‍රයෙන් ඉහළ නගී ද යන්න බව ඔවුන්ගේ මතයයි.
වර්තමානයේ මුහුදු උණුසුම්වීම සහ ඊට සම්බන්ධිතව ඒවායේ ජලය ව්‍යාප්තවීම, ලෝකය පුරා මුහුදු මට්ටම ඉහළ යාමෙන් තුනෙන් එකකට පමණ වගකිව යුතුවේ. ඉතිරි තුනෙන් දෙක ඇතිවන්නේ ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර අයිස් තලා දියවීම සහ කඳුකර ග්ලැසියර දියවීමේ ප්‍රතිඵලයක් හැටියටයි. නාසා චන්ද්‍රිකා එකතුවක් මගින් රැස්කර ගන්නා ලද දත්ත අනුව හෙළිවන්නේ සාගරයේ ස්කන්ධය ඉහළ යමින් පවතින බවයි. මෙම වැඩිවීම වෙන ආකාරයකට දක්වතොත් ගෝලීය වශයෙන් මුහුදු මට්ටම වසරකට මිලිමීටර 1.9කින් ඉහළ යන බව යයි ස්ටීව් නේරම් පවසයි. ස්ටීව්, කොලරාඩෝ සරසවියට අනුයුක්ත නාසා මුහුදු මට්ටම් විපර්යාස අධ්‍යයන කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥයායි.
ගෝලීය උණුසුම්වීම නොකඩවා සිදුවුවහොත් ඊළඟ සියවසේ දී අඩි 21 ක් (මීටර් 6.4 ක්) දක්වා ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස අන්තර් ජාතික පැනලය පුරෝකතනය කරයි. එහෙත් එවැනි භයානක තත්වයක් පිළිබඳ පුරෝකතනයකදී පවා සැබෑ අවදානම සැලකිල්ලට නොගන්නා බව පෙනේ. ඊට හේතුව පැනලයේ ආකෘති මගින් ග්ලැසියර් මතුපිට උෂ්ණත්වය වෙනස්වීම ගැන සැලකිලිමත්වුවත්, ග්ලැසියර කඩාවැටී සයුරට බිඳ වැටෙන විට සීඝ්‍රයෙන් දියවීයාම සැලකිල්ලට නොගෙනීම යයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ග්ලැසියර විද්‍යාඥ එරික් රිග්නොට් පවසයි. මීටත් අමතරව ග්ලැසියර දියවීම වැඩිපුරම සිද්ධවන්නේ ගැඹුරු මුහුදු යට දොරුවේ හෙවත් අයිස් කැනියමෙහිය. උණුසුම් ජලය ලවණ ගතියෙන් වැඩිය. එහෙයින්ම බරින්ද වැඩිය. එයින් හැඟීයන්නේ, සාගරයේ ගැඹුරු ස්තර වෙත එය කිඳා බසින බවයි. මෙම උණුසුම් ජලය මුහුදුයට අයිස් කැනියම වෙත යාමෙන් ප්‍රමාණය දැන ගත නොහැකි එහෙත් සැලකිය යුතු ප්‍රමාණයකින් මුහුදු මට්ටම ඉහළ යන බව සාගර විද්‍යාඥයෙකුවන ජොෂ් විලිස් පෙන්වා දෙයි. පසුගිය ගිම්හානයේ ග්‍රීන්ලන්තයේ දැවැන්ත ජැකොබ්ෂෝන් ග්ලැසියර ඇතුළට කඩා වැටුණු විට එය එක් දිනකදී අයිස් වර්ග සැතපුම් 4.5ක අයිස් විස්ථාපනය කළේය. මෙකී ග්ලැසියරය සම්පූර්ණයෙන් දියවී ගියේ නම් ගෝලීය මුහුදු මට්ටම මීටර් භාගයකින් ඉහළ දැමීමට ප්‍රමාණවත් අයිස් එහි අඩංගුය.
මෙය ග්‍රීන්ලන්තයේ එක ග්ලැසියරයක් පමණකි යනුවෙන් රිග්නොට් පෙන්වා දෙයි. පෘථිවි ග්‍රහයා සතු භූමි අයිස් සියල්ල දියවුණොත් මුහුදු මට්ටම් අඩි 197කින්(මීටර් 60 කින් පමණ) ඉහළ යනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි. අයිස් එක්තරා ප්‍රමාණයක් දැනටත් දියවී ගොස් හමාරය. එය යළි ආපසු හැරවිය නොහැකි අතර එහි ප්‍රතිඵලය ආපසු හැරවීම සඳහා වසර සිය ගණන් ගත වන බව රිග්නොට්ගේ අදහසයි. පසුගිය වසර 22 ක තුළ ගෝලීය මුහුදු මට්ටම අඟල් 2.75 (සෙන්ටිමීටර් 7 ක්) ඉහළ ගොස් ඇත.
Scientific American හි Rising Sea Levels More Dangerous Than Thought ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න