ඇදුම, හෘදයට හානිකර විය හැකි වන සිරුරේ බර වැඩිවීම හා රුධිරවාහිනී ගැටළු වලට මග පෑදිය හැකි යයි නව අධ්‍යයනයකින් හෙළි වෙයි. වසරේ ඇතැම් කාලයකට වාරිකව හැදෙන රෝග, ඇදුම සහ අනෙකුත් ස්වයං ප්‍රතිශක්ති තත්ත්වයන් හේතු කොටගෙන ළමුන් සහ ගැටවර වියේ පසුවන්නන් ස්ථූලභාවයට හා හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානමක් ඇති වෙතැයි ඉන් කියවේ. ඇතැම් අවස්ථා වල ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය වුවමනාවට වඩා සංවේදී ව ක්‍රියා කරයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් බලාපොරොත්තු වන්නේ රෝගාබාධ සහ බාහිර ක්ෂුද්‍ර ජීවින්ට එරෙහිව සටන් වැදීමයි. එහෙත්, ඇතැම් අවස්ථාවල එම පද්ධතිය ශරීරයේ ම සෞඛ්‍ය සම්පන්න කොටස්වලට එරෙහිව සටන් වදියි. මෙය වෛද්‍ය විද්‍යාවේ දී හැඳින්වෙන්නේ ස්වයං ප්‍රතිශක්ති රෝගාබාධය(autoimmune disease) ලෙසට ය. මෙයට පහසුවෙන් දැක්විය හැකි නිදසුන් ලෙස ඇදුම හා අසාත්මිකතාවන් සඳහන් කළ හැකිය. එවැනි රෝගාබාධ සහිත ළමුන්, සිරුරේ බර අධික වීම මෙන් ම හෘද රෝගාබාධ වලට මග පාදන තත්ත්වයන් වර්ධනය වීමට සාමාන්‍යයට වඩා වැඩි අවදානමක් තිබෙන බව නව අධ්‍යයනය පෙන්වා දෙයි.
ඇදුම රෝගයෙන් රෝගාතුර වූ විට පෙනහළුවල වා මං ඉදිමී ශ්ලේෂ්මලෙන් (mucus) පිරී යයි. එවිට වාතය ඇතුළට ගැනීම හා පිට කිරීම අපහසු වෙයි. මෙලෙස වා මං ඇහිරීම හේතු කොටගෙන ආශ්වාස ප්‍රශ්වාස කිරීම අපහසු වෙයි. එක්සිමාව ද (Eczema) ස්වයං ප්‍රතිශක්ති රෝගයකි. එය හම ගොරෝසු කිරීමට, කසන සුළු බව ඇති කිරීමට මෙන් ම රතු පැහැයට හැරවීමට බලපායි. වටපිටාවේ ඇති හානිකර නොවන දෙයක් අන්තරායාකාරී යයි සිරුරට හැඟෙන විට අසාත්මිකතා මතු වෙයි. සිරුර ඊළඟට ඊට එරෙහිව සටන් වැදීමට වෙර දරයි.
මේ ආකාර පුද්ගලයන් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ දිග විශ්ව විද්‍යාලයට අනුබද්ධ චිකාගෝ හි ෆීන්බර්ග් වෛද්‍ය විද්‍යාලයේ චර්ම රෝග විශේෂඥ (dermatologist) ජොනතන් සිල්වර්බර්ග් විසින් කරුණු හැදෑරීමක් සිදු කරන ලදී. සිල්වර්බර්ග් ඇමරිකාවේ ළමුන්, යෞවන යෞවනියන් (හා ඔවුන්ගේ පවුල් වල අය) 13,000 කට වැඩි පිරිසකගේ දත්ත එකතු කළේය. එහි දී පෙනී ගියේ වයස අවුරුදු 17 දක්වා වූ ළමුන්ගෙන් 14% ක් ඇදුම රෝගයෙන් පෙළෙන බවයි. තවත් 12% කට එක්සිමාව වැළදී තිබුණි. තවත් 17% කට කෘශ උණය (hay fever) හෙවත් වාරික අසාත්මිකතාවන් ය. ඉන් අනතුරුව ඔවුන්ගේ ස්වයං ප්‍රතිශක්ති රෝග ලක්ෂණවලින් ඔබ්බට යමින් අනෙකුත් පාදක වන රෝගාබාධ ගැන සිල්වර්බර්ග් සොයා බැලීය. එහිදී පෙනී ගියේ අසාත්මිකතා සහිත ළමුන් ස්ථුලභාවයට පත්වීමේ ප්‍රවණතාව, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් අධික වීමේ හැකියාව අසාත්මිකතා නොමැති ළමුන්ට වඩා වැඩි බවයි. ස්ථුලභාවය දැන් රෝගයක් ලෙස වර්ග කර ඇත. එක්සිමාව මෙන් ම ඇදුම හෝ කෘශ උණ සහිත ළමුන් සෙස්සන්ට වඩා මදක් ස්ථුල වීමට ඉඩ ඇති බව අධ්‍යයනයෙන් පෙනී ගියේය. අධික රුධිර පීඩනය මෙන් ම කොලෙස්ටරෝල් අධික වීම හෘදයාබාධ ඇතුළුව හෘදයට සම්බන්ධ ප්‍රශ්න ගණනාවකට බලපායි.
ඇදුම සහ කෘෂ උණ සහිත ළමුන් අධික රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් අධික වීම සඳහා ඇති හැකියාව අන් ළමුන්ට මෙන් දෙගුණයක් පමණ වන බව සිල්වර් බර්ග් ට අනාවරණය විය. කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් ගත් කළ අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් අධික වීමට මෙකී ළමුන්ට ඇති අවදානම මද ය. එමෙන් ම, අධි රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් අධික වීමට හේතු වුනේ ඇදුම රෝගය හෝ වෙනත් අසාත්මිකතාවන් ද යන්න ගැන ස්ථිරවම සිල්වර් බර්ග්ට පැවසිය නොහැක. එහෙත් එය සිදුවීමට සත්තකින් ම, පැහැදිලිවම ඉඩකඩ තිබෙන බව 2015 දෙසැම්බර් මුල දී Journal of Allergy and Clinical Immunology නම් සඟරාවට ලිපියක් සපයමින් ප්‍රකාශ කර සිටියි.
නව සොයා ගැනීම තුළින් අප වටහා ගත යුත්තේ කුමක් ද? ඔරිගන් සෞඛ්‍ය හා විද්‍යා විශ්ව විද්‍යාලයේ පුප්ඵුසීයරෝග විශේෂඥ කෙල්වින් මැක්ඩොනල්ඞ් මෙය දකින්නේ කුකුල් පැටියා ද බිත්තරය ද යන ප්‍රශ්නය ආකාරව ය. ඉන් අදහස් කෙරෙන්නේ මෙවැනි දෙයකි: “ළමයාට ඇදුම තියෙනවා. ඒ නිසා සාමාන්‍ය පරිදි ව්‍යායාම ආදියෙහි නිරත වන්න බැහැ. එම හේතුව මත ළමයා ස්ථුලභාවයට පත් වෙනවා. එසේ නැතිනම් ළමයා අලස ජීවිතයක් ගත කරනවා. එනිසා ස්ථුලභාවයට පත්වෙනවා. එම හේතුව මත ළමයාට ඇදුම වැළදෙනවා”.
කෙසේ වෙතත්, සිල්වර්බර්ග් කල්පනා කරන අන්දමට නම් ඇදුම හෝ අසාත්මිකතාවන් රුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් ඉහළ දමන ආකාර බොහොමයක් තිබේ. උදාහරණයක් වශයෙන් ප්‍රදාහය (Inflammation) දැක්විය හැකිය. ප්‍රදාහයක් ඇති කළ ප්‍රතිශක්ති සෛල ප්‍රෝටීන හා හෝමෝන මුදා හරියි. ඒවා සිරුර තුළ වෙනස්කම් ඇති කරයි. එමෙන් ම, ඇදුම රෝගය හෝ වෙනත් අසාත්මිකතාවන් තවත් උග්‍ර වේය යන බියෙන් ළමුන් නිසි පරිදි ව්‍යායාම ගැනීමෙහි නිරත නොවන්නට පුළුවන. ඔවුන්ට ඖෂධ වර්ග ලබා දෙයි. මෙකී ඖෂධ ගැනීම හෝ ව්‍යායාම වල යෙදීමේ අඩුකම නැතහොත් එම කාරණා දෙකම රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ඉහළ යාමට බලපෑ හැකි යයි සිල්වර් බර්ග් පවසයි. කෙසේ වෙතත්, මේ ගැන තව දුරටත් පර්යේෂණ සිදු කිරීම වැදගත් වන බව ඔහු පිළිගනියි.






ප්‍රතිචාරයක් ලබාදෙන්න