ඇමරිකා මහාද්වීපයට මානවයන් පැමිණියේ මෙයට වසර 14,000කට වැඩි කාලයකට පෙර බව දැක්වීමට අලූතෙන් සොයාගත් ගල් ආයුධ හා මැස්ටඩොන් අවශේෂ ආධාර වෙයි.
ඇමරිකාවේ ප්ලොරිඩා නදියේ තිබී සොයාගත් ප්රාග් ඓතිහාසික යුගයේ ගල් ආයුධ අතළොස්සක් සහ වඳවී ගොස් ඇති ඇතෙකුට සමාන වූ මැස්ටඩන් නම් යෝධ ක්ෂීරපායි සතෙකුගේ අවශේෂයන් අතීත ජවනිකාවක එසැණ දසුනක් හෙවත් දැකීම් මාත්‍රයක් ඉදිරිපත් කරයි. මෙයට වසර 14,550කට පමණ පෙර කුඩා ජල තටාකයක් හෝ විලක් අසළක දී මැස්ටඩන් සතෙකු මරා මස්කිරීමක් හෝ එම සතෙකුගේ මළ කුණක් කසළ බිඳීමක් (scavenging) දඩකරු – අන්ත ගවේෂකයෝ (hunter-gatherers) සිදු කරති. ආයුධ සහ සත්ව අවශේෂ හඟවන්නේ මානව වර්ගයා ඊශාන දිග ඇමරිකා එක්සත් ජනපදයට සම්ප්‍රාප්ත වී ඇත්තේ විද්‍යාඥයන් කලින් සිතුවාට වඩා වසර 1,500ක් වත් කලින් බවයි.
ඇමරිකා මහද්වීපයන්ට මානවයන් පැමිණීම කලින් සිදු වූ බවට වෙනත් ස්ථානවලින් ලැබෙන සාක්ෂි ගොන්නට මේ නව සොයා ගැනීමද එක්වෙයි. මානවයා මුලින්ම ඇමරිකාවට පැමිණෙන්නේ කොයි වකවානුවකදී ද එමෙන්ම කොයි ආකාරයකටද යන්න ගැන දිගු කාලයක් තිස්සේ ගොඩ නැගී තිබූ අදහස් ක්‍රමයෙන් වෙනස් කිරීමෙහිලා මෙසේ එක්වන සාක්ෂි ඉවහල් වෙමින් පවතී.
ඖචිල්ලා නදියේ (Aucilla River) අඩි 26ක් දිය යට පිහිටි බැඩ වළක (sinkhole) ඇති පේජ් ලැඞ්සන් (Page-Ladson) නම් කැණීම් භූමියකින් පුරාවිද්‍යාඥයෝ මේ මානව කෘති එකතු කරගත්හ. මෙම ස්ථානයේම 1983ත් 1987 ත් අතර කාලයේ සිදු කළ කැණීම්වලින් මැස්ටඩොන් දළ ලබා ගැනීමට හැකිවිණ. එම දළවල කැපුම් කට්ට තිබූ අතර ඒවා මානවයින් විසින් ඇති කරන ලද කැපුම් ලකුණු ලෙස පෙනේ. දළ සමග ශිලා මානව කෘති කිහිපයක් ද සොයා ගනු ලැබ තිබේ. වසර 14,000කටත් වඩා ඉපැරණි අවසාදිත තට්ටුවක තිබූ සොයා ගත් මෙම සාක්ෂි ආදි මානව කි‍්‍රයාකාරකම් පිළිබඳ ලකුණු දැරුවේ ද යන්න නිශ්චිතවම තීරණය කිරීමට අසීරු තරමට උභයාර්ථ සහිත යයි සැලකිණ.

ඊටත් වසර කිහිපයකට පසුව, ෆ්ලොරිඩා රාජ්‍ය සරසවියේ මානව විද්‍යාඥවරියක වන ජෙසී හැලිගන් සහ ඇගේ කණ්ඩායම, ගං පතුලේ අවික්ෂිප්තව පැවති මෙම පුරාවිද්‍යාත්මක වස්තුන් ගැන යළි සොයා බැලීම පිණිස එම භූමිය වෙත පිය නැගූහ. 2012 සහ 2014 අතරතුරේදී කැණීම්වලින් පර්යේෂකයන්ට තවත් අස්ථි මෙන්ම ගල් ආයුධ කිහිපයක්ම සොයා ගැනීමට හැකිවිය. ආයුධ අතර මානවයන් නිපදවූ ප්‍රාග්තන, ශිලාමය පිහියක් වන දෙමුහුණත් සැතක් ද (biface) විය. ‘මේක මිනිසුන් තැනුවක් මිස ස්වාභාවිකව හැඩ ගැසුනක් වෙන්න කොහොමටවත් ඉඩක් නැහැ’ හැලිගන් පවසයි. මෙම කණ්ඩායම මැස්ටඩන් දළ මත කලින් හඳුනාගෙන තිබූ කට්ට ද යළි පරීක්ෂා කර බැලූහ. සතකුගේ හිසෙන් දළය ඉවත් කිරීමේදී මිනිසුන් අතින් ඇති වූ කැපුම් ලකුණු බවට එම කට්ට පර්යේෂකයෝ නිගමනය කළහ.
මැස්ටඩන් සතාගේ අවශේෂ සහ ගල් ආයුධ යොමු වූ අවසාදිතවල රේඩියෝ කාබන් කාල නිර්ණ හෙළි කළේ එම වස්තූන් වසර 14,550ක් පමණ පැරණි බවයි. වසර 14,000කට වඩා කාලයකට පෙර ඇමරිකා මහාද්වීපයෙහි මානවයන් සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිත භූමි කිහිපය අතරට මේ අනුව ජේජ් ලෑඞ්සන් භූමියද ඇතුළත් වෙයි.
මෙයට දශක කිහිපයකට පෙර ප්රමුඛව පැවතිය මතය වුණේ මෙයට වර්ෂ 13,000 කට පෙර උතුරු ඇමරිකාවේ පදිංචි වූ ක්ලෝවිස් (the clovis) නම් ජනයා පසුව දකුණු දෙසට ව්‍යාප්ත වීමෙන් ඇමරිකාවේ මානව ජනාවාස පිහිටුවීම මුලින්ම සිදු වූ බවයි. එහෙත් ‘පූර්ව -ක්ලෝවිස්’ (pre-Clovis) ප්ලොරීඩා වැනි භූමි අපට කියාපාන්නේ ඇමරිකා මහාද්වීපයත් මුලින්ම ජනාවාස වුණේ වසර 13,000ටත් වඩා පැරණි කාලයක බවයි. ‘ක්ලෝවිස් ජනයා මුලින්ම පැමිණියේ යයි විද්‍යාඥයන් හැටියට අප පිළිගෙන සිටි මතය වැරදි බව පෙනී යන නිසා නව සොයා ගැනීම එක්තරා දුරකට විශාල ජයග්‍රණයක්. අප සත්‍ය කතාව සොයා ගත යුතුයි’ යනුවෙන් හැලිගන් කියා සිටියි.

ඔරිගන් විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාඥ ජොන් එර්ලෑන්ඞ්සන්ට අනුව ‘මෙය මුලින්ම ආවේ ක්ලෝවි ජනයා යන මතයට වැදුණු බලගතු පහරක්’ බවයි. ඔහු මෙම අධ්‍යයනයට සම්බන්ධව නොසිටි විද්‍යාඥයෙකි. ප්‍රධාන ධාරාවේ වෘත්තාන්තයෙන් කියැවුණේ, උතුරු ඇමරිකාවට මුලින්ම මානවයන් පැමිණෙන්නේ දැන් බෙරිං සමුද්‍ර සන්ධිය ලෙස හැඳින්වෙන රුසියාව හා ඇලස්කාව අතර ගොඩබිම් පාලම හරහා බවයි. ඉන් අනතුරුව එසේ ආ පිරිස් කලක් කැනඩාව හා උතුරු එක්සත් ජනපදය වසා තිබූ යෝධ අයිස් තලාව අතරේ පිහිටි ඊනියා අයිස් තොර කොරිඩෝව දිගේ රට අභ්‍යන්තරයට ව්‍යාප්ත වූ බවයි. එහෙත් මෙම මතයෙහි ගැටලූව වන්නේ එකී අයිස් තොර කොරිඩෝව මෙයට වසර 14,000ට හෝ ඉන් පසුව වනතුරු විවෘත නොවී තිබීමයි. එහෙත් නව පර්යේෂණය පෙන්වා දෙන්නේ ඊටත් වසර 400කට 500කට පෙර ප්ලොරිඩාවේ මානවයන් සිටි බවයි. බෙරිං සමුද්‍රසන්ධිය හරහා පමණක් මානවයන් ඇමරිකාවට පැමිණි බව පැවසෙන අදහසද මේ නිසා පසුබෑමකට ලක්වේ. ‘ඇමරිකාව මුලින්ම ජනාවාස වුණේ කෙසේද යන්න ගැන අප මුලින් අහපු ප්‍රශ්න සියල්ලම යළි පර්යේෂණයට ලක් කළ යුතුව ඇත’ යනුවෙන් ජෙසී හැලිගන් තවදුරටත් කියා සිටියි.
Smithsonian SmartNews හී පළවූ Underwater Finds Reveal Humans’ Long Presence in North America ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න