මිනිසුන් හා සුනඛයන් අතර සම්බන්ධය බොහෝ දුර ඈත අතීතයකට දිව යන්නක් බව නොදන්නා කෙනෙක් නැති තරම් ය. එහෙත් එය කොපමණ නම් අතීතයක් ද? සුනඛ සගයන් සමග මානවයා සම්බන්ධතාව ගොඩ නගා ගත් නිශ්චිත වකවානුව පිළිබඳ විවාදය තවමත් පවතී.එපමණක් නොව මිනිසුන් හා සුනඛයන් අතර සම්බන්ධය ගොඩ නැගුනේ කුමන අවධියකදී ද යන ප‍්‍රශ්නයට පිළිතුර ද දැන් වඩාත් සංකීර්ණ වී ඇත. අළුත් ම අධ්‍යයනයකින් හැඟවෙන්නේ ලෝකයේ එකිනෙකට වෙනස් කොට්ඨාශ හෙවත් කලාප දෙකක මානවයන් එකිනෙකාගෙන් ස්වාධීනව අද අප දන්නා නිවසේ සුරතලා බවට පත්ව ඇති සුනඛයන් ලෙස වෘකයන් ගෘහාශ‍්‍රිතකරණය(domestication)  ආරම්භ කරන්නට ඇති බවයි.

Dog Cop

Science නම් සඟරාවේ පළ කර ඇති මෙම අධ්‍යයනය පර්යේෂකයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘ගෘහාශ‍්‍රිතකරණය පිළිබඳ නොපසුබස්නා පරීක්ෂණයක්’ (“a dogged investigation of domestication”) යනුවෙනි. අධ්‍යයනය සඳහා ජාත්‍යාන්තර විද්‍යාඥයෝ කණ්ඩායම පුරාණ සුනඛයන්ගේ හා නූතන සුනඛයන්ගේ DNA  අනුක‍්‍රමණය කළහ. එහිදී ඔවුනට පෙනී ගියේ වර්ථමාන සුනඛයන්ගේ ආදීතමයන් යුරෝසියාවේ විවිධ පැති දෙකක වෙනස් වෘක ගහණ දෙකක දෙකොට්ටාශයක් විය හැකි බවයි. මෙයින් පෙනී යන්නේ ආසියාවේ මෙන් ම යුරෝපයේ මානවයන් වෙන වෙනම වෘක පරපුරේ සාමාජිකයන් සුනඛයන් ලෙස හීලෑ කර ගත්තා විය හැකි බවයි. මෙය නූතන කාලයේ සුනඛයන් නැගෙනහිර මෙන් ම බටහිර ද සම්මිශ‍්‍රණයක් වී ඇත්තේ මක් නිසා ද යනුවෙන් දිගු කාලයක් තිස්සේ පවතින පටලැවිල්ල විසඳීමට ද මග පෑදිය හැකිය. සුනඛ ජෙනෝමයෙන් (ජීවයක ප‍්‍රවේණි ද්‍රව්‍ය) ලැබෙන සාක්ෂි වලින් හැඟවෙන්නේ මෙයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙහි දී සුනඛයන් ගෘහාශ‍්‍රිතකරණය වූ බවකි. එහෙත් යුරෝපයේ මෙයටත් වඩා කලින් සිටි සුනඛයන් පිළිබඳ සාක්ෂි අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ සමත් ව සිටිති.

‘මේ ගැන අදහස් දක්වන්නේ නම් අප මතු කරගෙන ඇති සාක්ෂිවල ශක්තිය (වලංගුභාවය) දහයෙන් හතක් කියන්න පුළුවන්’ යයි පුරා විද්‍යාඥ සහ ප‍්‍රවේණි විද්‍යාඥ ග්‍රෙගර් ලාසන් පවසයි. පර්යේෂක කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඔහුය. වාද විෂයට පිළිතුර හිර වී ඇත්තේ සුනඛයන්ගේ මයිටෙ‍්‍ර‍්‍රාකොන්ඩි‍්‍රයම DNA   (mitochondrial DNA)   තුළ බවක් පෙනේ. මේ වර්ගයේ DNA  මවකගේ සිට දරුවාට සැපයෙනනේ වෙනස්වීමකින් තොරව නිසා එය සතාගේ පෙළපතට සෘජු පුරුකකි. මේ සිද්ධියේ දී මයිටොකොන්ඩි‍්‍රයම DNA  විශ්ලේෂණ පෙන්නුම් කළේ නැගෙනහිර මෙන් ම බටහිර සුනඛයන් එකිනෙකාගෙන් වෙන් වූයේ බටහිර මෙන් ම නැගෙනහිර පැරණිතම සුනඛයන් පිළිබඳ සාක්ෂිවලින් කියැවෙන දින වකවානුවලට පෙර බවයි. එසේ නම්, පිළිගත හැකි එකම පැහැදිලි කිරීම වන්නේ සුනඛයන් නැගෙනහිර දී මෙන් ම බටහිර දී ද වෙන් වෙන් වශයෙන් ගෘහාශ‍්‍රිතකරණය වී ඇති බවයි.

CeV4cV5WsAAQubs

කිසියම් අවස්ථාවකදී බටහිර සුනඛයන්ගේ සංඛ්‍යාව අඩුවෙන්නට පටන් ගත් අතර සංක‍්‍රමණිකයන් විසින් බටහිරට ගෙනෙ යනු ලැබූ ගෘහාශ‍්‍රිතකරණයට ලක් වූ සුනඛයන් බටහිර ඉතිරි සුනඛයන් සමග සම්යෝගයෙහි යෙදෙන්න ඇත. එකිනෙකා හා මෙසේ මිශ‍්‍රවීම නැගෙනහිර-බටහිර දෙමුහුන් සුනඛ පිරිසක් බිහිකළ අතර දෙමුහුන් පිරිස බටහිර නුමුහුන් බලූ පිරිස වෙනුවට ආදේශ වන්නට ඇත. මේ අතර වාරයේ මුල් නැගෙනහිර සුනඛ පිරිස ආසියාව තුළ අඛණ්ඩව බෝවන්නට ඇත.

කෙසේ වෙතත්, බටහිරට අනන්‍ය වූ වෘක පූර්වජයෙකු(wolf ancestor) පිළිබඳ සාක්ෂි මෙතෙක් ලැබී නැත. නැගෙනහිර බටහිර මෙම සම්මිශ‍්‍රණය ජානමය සාක්ෂි අවුල් කර ඇති අතර නැවත නුමුහුන් ජනිත (pure-bred) ගෘහාශ‍්‍රතකරණය කරන ලද බටහිර බලූ පැටවෙකු නොමැතිව මෙම අදහස ඔප්පු කිරීම අසීරු බව විශේෂ මාධ්‍යවේදියෙකු වන ටිම් රැඞ්ෆර්ඞ් ගාඩියන් පුවත් පතට ප‍්‍රකාශ කළේය.

පැහැදිලිවම මේ ගැන සිදු කළ යුතු කාර්යයන් බොහොමයි. පුරාතන වෘකයන් සහ සුනඛයන් දහස් ගණන් විශ්ලේෂණය කිරීමෙන් සිය න්‍යාය පරීක්ෂණයට භාජන කිරීමට සැලසුම් කරන බව පර්යේෂක කණ්ඩායම ප‍්‍රකාශ කරති. ඔවුන්ගේ න්‍යාය සනාථ වුවහොත් මිනිසාගේ හිතවත් ම සත්වයා පිළිබඳ කතාන්දරය යළි රචනා කිරීමට සිදුවනු ඇත.

 

Smithsonian Smart News හි පළවූ Man’s Best Friend May Have Been Domesticated Twice ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending