ගෝලීය ජල සැපයුම මත එන්ට එන්ටම වැඩිවන ඉල්ලූම, ජෛවී විවිධත්වය මෙන්ම ආහාර නිෂ්පාදනය සහ මිනිසුන්ගේ අනෙකුත් වැදගත් අවශ්‍යතා වෙත තර්ජනයක් එල්ල කරයි. ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල දැනටමත් ජල හිඟයන් පවතී. බිලියනකට වැඩි පිරිසකට ප‍්‍රමාණවත් තරම් පාණීය ජලය නොලැබේ. ඊට අමතරව, සංවර්ධනය වෙමින් පවතින රටවල බෝවෙන රෝගවලින් 90%ක්ම සම්පේ‍්‍රෂණය වන්නේ දුෂ්‍ය වූ ජලය (polluted water) මාර්ගයෙනි. ලොව පුරා මිරිදියෙන් 70% යෙදෙවෙන්නේ කෘෂිකර්මාන්තය වෙනුවෙනි. මෙයට උදාහරණයක් දැක්වුවහොත් ධාන්‍ය ඇට කිලෝග‍්‍රෑමයක් නිපදවීම සඳහා දළවශයෙන් ජලය ලීටර් 1,000ක් අවශ්‍ය වේ.  ගව මස් කිලෝග‍්‍රෑමයක් නිපදවීමට වැයවන ජල ප‍්‍රමාණය ලීටර් 43,000 කි. ලෝකයට අලූතෙන් ජල සැපයුම් ඇතිවන්නේ විශාල සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා ජල සංරක්ෂණය, ප‍්‍රතිචකී‍්‍රකරණය සහ ජල භාවිතයෙහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ප‍්‍රතිපලය හැටියට වීමට ඉඩ ඇත.

ලොව පුරා මානව ජනගහනයට මෙන්ම අනෙකුත් සතුන්ටත්, ශාකවලට හා ක්ෂුද්‍ර ජීවීන් වෙනුවෙන් ප‍්‍රමාණවත් ආහාර සැපයුමක් සහ ඵලදායී පරිසරයක් පවත්වාගෙන යාම පිණිස ජලය අත්‍යවශ්‍යය. මානව ජනගහනයන් සහ ආර්ථිකයන් වර්දනය වෙද්දී, ගෝලිය මිරිදිය (global freshwater) ඉල්ලූම ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. මිනිසුන්ගේ ආහාර සැපයුමට තර්ජනයක් වීමට අමතරව ජල හිඟයෙන් ජලජ සහ භෞමික පරිසර පද්ධති තුළ ජෛවී විවිධතාවය දැඩි සේ අඩුකරයි. ඒ අතර ම, ජල දූෂණය මිනිසුන්ට වැළඳෙන බරපතල රෝග පැතිරවීමට මෙන්ම ජලයෙහි ගුණාත්මක බව(water quality) අඩුකිරීමට මග පාදයි.

08C9CDCA-93F0-372D-DC3FD21B45F47F5B_1

මානවයන්, සිය පෝෂකවලින්(nutrients)  අතිමහත් බහුතරය ලබාගන්නේ භවබෝග සහ පශු සම්පතෙනි. තවද, මේ පෝෂක ප‍්‍රභවයන් නිෂ්පාදනය සඳහා ජලය, ඉඩම් සහ බලශක්තිය අවශ්‍ය වේ. ඒක පුද්ගල ආහාර සැපයුම (ධාන්‍ය වර්ග) පසුගිය වසර 20 තුළ 17%කින් අඩු වී ඇත. මානව ජනගහනය ඉහළයාම සහ ඊට සමගාමීව මිරිදිය හා බෝග වගා ඉඩම් හිඟය ද ඊට දායක වී ඇත. ආහාර සැපයුමෙහි හිඟයන්, එක්තරා අන්දමකට ලොව පුරා බිලියන තුනකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළීමේ ගෝලීය ගැටලූවට දායක වී තිබේ. මන්දපෝෂණයේ වඩාත් දරුණු ගැටලූ දෙක වන්නේ, බිලියන දෙකක ජනතාවට බලපාන යකඩ ඌණතාව සහ මිලියන 800කට පමණ බලපාන ප්‍රෝටීන හෝ කැලරි ඌණතාවයි. යකඩ ඌණතාව සහ ප්‍රෝටීන හෝ කැලරි ඌණතාව යන දෙකින්ම, එකකින් වසරකට මිලියන 8 ක් පමණ මිය යති.

ලෝක ජනගහනය දැනට බිලියන 7.4 කි (www.worldometers.info/worldpopulation/).  ඊට සෑම දිනකම දෙලක්ෂ පණස් දහසක් පමණ එක්වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරන අන්දමට, වසර 2050 වන විට ලෝක ජනගහනය දළවශයෙන් බිලියන 9.4 දක්වා වැඩි වෙයි. ජනගහන වර්ධනය සමග ජල භාවිතය ඉහළ යාම මගින් එක පුද්ගලයෙකුට ලැබෙන ජල ප‍්‍රමාණය බෙහෙවින් අඩුකෙරෙනවා පමණක් නොව සමස්ත ගෝලීය පරිසර පද්ධතියේ ජෛවී විවිධත්වය කෙරෙහි පීඩනයක්ද ඇති කරයි. ජල සුලබතාව සීමා කරන අනෙකුත් ප‍්‍රධාන සාධක අතර වර්ෂාපතනය, උෂ්ණත්වය වාෂ්පීභවන සීඝ‍්‍රතාව (evaporation rates) පාංශු තත්ත්වය, වෘක්ෂලතා වර්ග සහ දියදෝරය වේ. එපමණක් නොව. ලෝකයේ මිරිදිය සම්පත් රටවල් අතර මෙන්ම රට ඇතුළතම සාධාරණව බෙදා වෙන් කිරීමේදී බලවත් අපහසුතා දැනටමත් පවතී. මෙකී ගැටුම් නව කාර්මික, කෘෂිකාර්මික සහ නාගරික කොට්ඨාශ අතර තවත් වර්ධනය වෙමින් පවතී..

polsources_ag

ලෝකයේ ජල සම්පත, ජල සම්පත් භාවිතය සහ එහිදී මතුවන ගැටලූ  හා වාද විෂයයන් අළලා බයෝ සයන්ස් සඟරාවේ (Bio Science) පළ කෙරුණු පර්යේෂණ වාර්තාව ඇසුරෙන් ලිපි පෙළක් ඉදිරි තතු කලාපවල පළ කෙරේ. මෙම ලිපිපෙළේ දී විශේෂයෙන්ම කෘෂිකාර්මික පද්ධති මගින් ජලය භාවිත කිරීම විශ්ලේෂණය කිරීමට, ජනගහන වර්ධනය, ජල භාවිතය සහ බෙදා හැරීම, ජෛවී විවිධත්වයේ තත්ත්වය, ස්වාභාවික පරිසරය සහ මිනිසුන්ට වැළඳෙන ජලවාහක රෝග සහ පුද්ගලයන් අතර ඇති අන්තර් සම්බන්ධතාව වාර්තා කිරීමටද උත්සාහ දැරේ. මේ බයෝ සයන්ස් සඟරාව පළ කරනු ලබන්නේ ජෛව විද්‍යාවන් පිළිබඳ ඇමරිකානු ආයතනය මගිනි. නිව්යෝක් නුවර, කෝනෙල් විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ ජීවන විද්‍යා විද්‍යාලයේ සේවය කරන පර්යේෂකයන් වන  David Pimentel, Bonnie Berger, David Filiberto, Michelle Newton, Benjamin Wolfe, Elizabethkarabinakis, Steven Clark, Elaine Poon, Elizabeth Abbett, And Sudha Nandagopal විසින් සඟරාවේ 54 වෙළුම 10 ට කලාපයට Water Resources: Agricultural and Environmental Issues යන හිසින් මේ පර්යේෂණ වාර්තාව සපයා තිබුණි. ලිපි පෙළ පළවන්නේ එම පර්යේෂණ වාර්තාව ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending