
සීනි භාවිතය අගුණ අයට දෙන කෘතිම සීනි රසකාරක (sweetener) ශරීරයකට අහිත කර යයි සමාජයේ ඇතැම් කොටස් අතර මතයක් ඇත. සමහරු විශ්වාස කරන්නේ සීනිවලින් ඇතිවන හානියට වඩා හානි සම්භාරයක් මෙම කෘතිම රසකාරක නිසා ඇති වන බවයි. මේවා බහුල වශයෙන් යොදා ගන්නේ දිය වැඩියා රෝගීන්ට හා ඒ ආකාරයේ සීනි භාවිතය සීමා කරන පුද්ගලයන් වෙනුවෙන්ම සැකසුණු විශේෂ ආහාරපාන වලයි. නිදසුනක් ලෙස ‘ඩයට් කෝක්’ හෙවත් කොකාකෝලා සමාගම සීනි රහිතව නිපදවන පානයෙහි ඇත්තේ ඇස්පාටේම්(Aspartame) නම් කෘතිම සීනි රසකාරකයයි. ඇස්පාටේම් වනාහී විවිධාකාරවූ රෝගාබාධවලට තුඩු දෙන බවට චෝදනා ලැබ විත්ති කූඩුවට නංවා සිටින ප‍්‍රධාන පෙළේ සැකකාරයෙකි. මොළයේ ටියුමර(tumour අසාමාන්‍ය වැඞීමක්), විශාදය(depression), ඇල්සයිමර්ගේ රෝගය(Alzheimer’s decease) ආදී රෝගාබාධ ගණනාවකට අස්පාටේම් මගපාදන බව ඇතැමුන්ගේ මතයයි. මෙහි ඇත්ත නැත්ත කුමක්ද? අපි මුලින් මේ ගැන සලකා බැලීම පිණිස ඇස්පාටේම් යනු කුමක්දැයි විමසා බලමු.
ඇස්පාටේම්වලට ඇත්තේ C14 H18 N2 O5 යන රසායනික සූත‍්‍රයයි. තවද එය සීනි මෙන් 180 වාරයක් පැණි රසය. පෙන දමන බීම වර්ග, සීනි රහිත කේක් වර්ග වැනි බොහෝ පථH ආහාර (diet products) නිෂ්පාදනයේදී ඇස්පාටේම් යොදා ගනු ලැබේ. කලින් දැක්වූ ඩයට් කෝක් එක් නිදසුනක් පමණකි. එහි කැලරි නැති තරම්ය. ඒ නිසා දියවැඩියාව සහිත රෝගීන් මෙන්ම ආහාර සීමා කිරීමේ යේදී සිටින අය අතර එය ‘පැනි බේරෙන’ විකල්පයක් ලෙස ජනපි‍්‍රයය. එමෙන්ම, ඇස්පාටේම ආහාරයට ගැනීමෙන් පසුව ඇතැම් අනෙකුත් සීනි රසකාරකවලදී මෙන් තිත්ත රසයක් මුවගේ නොරැඳේ.

ඇස්පාටේම් මුලින් සොයා ගනු ලැබුවේ G D Searle නම් ඖෂධ සමාගමේ රසායන විද්‍යාඥ ජිම් ස්ක්ලැටර් විසිනි. දිනක් කඩදාසි කැබැල්ලක් අහුලා ගැනීමෙන් පසුව අත්වැරදීමකින් ඇඟිල්ල කටේ දැමූවිට ඔහුට පැණි රස ගතියක් දැනිණ. ඔහු කල්පනා කළේ මුලින් දිවා ආහාරයට ගත් (පාන් පිටිවලින් තනන මූදු හැඬේ ඇති) ඩෝනට් නිසා එම රසය දැනුණු බවයි.එහෙත් ඒ අදහස ඔහු පසුව වෙනස් කළේ දිවා ආහාරයෙන් පසුව අත් හොඳින් සෝදාගත් බව මතක්වීමෙනි. එසේ නම් එය කුමක්ද? අවසානයේදී ඔහුට අවබෝධ වුනේ අත්හදා බැලීමක් සඳහා ඔහු පිළිවෙළ කරමින් තිබූ රසායනිකයකින් පැණි රස ආ බවයි. ඉන් ප‍්‍රබෝදයට පත් ඔහු සිය පර්යේෂණාගාර සගයෙකු හා එක්ව තවත් පරීක්ෂණ ගණනාවක්ම සිදු කළේය. ආරක්ෂාකාරී බව තහවුරු කරගත් ඔවුහු එය සිය කෝපි පානයට එක් කර රස බැලූහ. මෙහි ඇති වාණිජ්‍යමය විභවය වටහා ගැනීමට ඔවුන්ගේ ප‍්‍රධානීන්ට වැඩි කලක් ගත වූයේ නැත.
කෙසේ වෙතත්, 1980 ගණන්වලදී සිදු කළ පර්යේෂණයකදී ඇස්පාටේම් ආහාරයට ගත් මීයන්ගේ මොළයෙහි ටියුමර වර්ධනය වූ බව පෙනීයාමෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (US Food and Drug Administration (FDA)) ඇස්පාටේම් අනුමත නොකරන බව ප‍්‍රකාශයට පත් කළේය. කෙසේ වෙතත් වසරක් ඇතුළත FDA සිය ස්ථාවරය වෙනස් කළේය. ඊට හේතුව මීයන් යොදා කළ ඉහත සඳහන් පර්යේෂණය දෝෂ සහිත බවත් වෙනත් අධ්‍යයන කිහිපයකදීම ඇස්පාටේම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත බවත් පෙනී යාමෙන් පසුවය. ඇස්පාටේම් සඳහා නැවත අනුමැතිය ලැබුන ද අවාසනාවකට මෙන් මොළයේ ටියුමර හා ඇස්පාටේම් අතර සම්බන්දතා පිළිබඳ කටකතා පහව ගියේ නැත. ආහාරවලදී භාවිත සඳහා ආරක්ෂා සහිත බවට අනුමැතිය ලද ද අදටත් අන්තර්ජලය ඔස්සේ ඇස්පාටේම් ගැන අති විශාල සංඛ්‍යාවක ලිපි පළ වේ. ඒවා පදනම් වී ඇත්තේ අනුමානය හා වැරදි තොරතුරු මතය.

මෙම අනුමානයන් හා සැක සංකා හේතුවෙන්දෝ ඇස්පාටේම් මේ වන විට නැවත නැවතත් පරීක්ෂණ ගණනාවකට ලක් වී තිබේ. ඇත්තටම එය ඉතිහාසයේ වඩාත්ම පරීක්ෂණයට ලක්වන ආහාර ආකාලනය(additives)යි. ඒ නිසාමත් ඇස්පාටේම් මිනිසුන්ගේ සෞඛ්‍යයට හානියක් නොවන බවට සාක්ෂි ගොඩක් එක් රැස් වී ඇත. ඇස්පාටේම්වලට එරෙහිව සංවිධානාත්මකව කටයුතු කරන්නන් නගන එක් ප‍්‍රශ්නයක් වන්නේ එය ශරීරයට ඇතුළුවූවාට පසුවත් ආරක්ෂාකාරිව පවතීද යන්නයි. පුද්ගලයෙකු ඇස්පාටේම් කෑමට හෝ බීමට ගත් විට එය ඇමයිනෝ අම්ල(amino acids) සහ සුළු ප‍්‍රමාණය මෙතනොල් (methanol) හැටියට බිඳ වැටෙයි. මෙතනොල් ශරීරයට අන්තරාකාරී බව බොහෝ දෙනෙකු අසා ඇත. ඇත්තටම එය විෂ මධ්‍යසාරයයි. එහෙත් ශරිරය තුළ ඇස්පාටේම් මගින් සෑදෙන මෙතනෝල් ප‍්‍රමාණය කෙතරම් කුඩාද සුළුද කීවොත් ඉන් කිසි හානියක් සිදු නොවන බව විද්‍යාඥයන්ගේ මතය. සංසන්දනයක් සිදු කෙරෙන්නේ නම් පළතුරු බීමද ශරීරය තුළ දී ඇස්පාටේම් තරමටම මෙතනොල් ප‍්‍රමාණයක් සිරුර තුළ ඉතිරි කරයි.

ඇස්පාටේම් ශරීරය තුළ දී ඉතා ඉක්මනින් ඇස්පාටින්අම්ලය, පීනයිඇලනින් (phenylalanine ළමුන්ගේ වර්ධනයට ඉවහල් වන අත්‍යවශ්‍ය ඇමයිනො අම්ලයකි) හා මෙතනොල් බවට බිඳෙයි.
Royal Society of Chemistry හී The Mole නම් සගරාවේ පළවූ Magnificent Molecules: Aspartame යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න