අපේ ක්ෂීර පථය මධ්‍යයේ සැගිටේරියස් ඒ තාරකාව (“Sagittarius A-star”) යන නමින් කළු කුහරයක් ඇති බව අප බොහෝ දෙනෙක් අසා තිබෙන්නට පුළුවනි. ක්ෂීරපථය කුමන හැඩයකින් යුක්තද යන්න ගැන නම් අපට හොඳ අවබෝධයක් ඇත. එය සැගිටේරියස් වලින් පිටතට විහිදෙන බාහු දෙකකින් සමන්විත සර්පිලාකාර හැඩය ගත් මන්දාකිණියෙකි. එමෙන්ම එය නිරතුරුව භ‍්‍රමණය වෙයි. එසේ වුවද, විද්‍යාඥයන් ක්ෂීරපථය මන්දාකිණියේ ගුරුත්වා කර්ෂණ බලපෑම් නිරීක්ෂණය කරද්දී යමක් මඟ හැරී ඇති බවක් නැති නම් ගිලිහී ඇති බවක් ඔවුනට තේරුම් ගියේය. අඥාත ද්‍රව්‍යය (dark matter) ගණන් ගන්නේ නැතුව බැලූවොත් ක්ෂීර පථය අපේ සූර්යයාගේ බර මෙන් බිලියන 150 සිට 300 දක්වා ප‍්‍රමාණයකින් බරය. එහෙත් පර්යේෂකයන්ට සොයා ගත හැකිව ඇත්තේ සෞර ස්කන්ධ බිලියන 65ක් සම්බන්ධයෙන් සාක්ෂි පමණකි. ඒ කියන්නේ ස්කන්ධ අති විශාල ප‍්‍රමාණයක් මඟහැරී හෝ ගිලිහී ගොස් ඇති බවයි.

The Astrophysical Journal නම් සඟරාවෙහි පළ කර ඇති තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඞ් ස්මිත්යෝනියන් මධ්‍යස්ථානයේ නව පර්යේෂන වාර්තාවක් මෙකී ගිලිහී ගොස් ඇති ස්කන්ධයෙන් වැඩිකොටසක් පිළිබඳ පැහැදිලි කිරීමක් සපයයි. එය මේ මන්දාකිණියේ මෑතක ඉතිහාසය වඩා හොඳින් වටහා ගැනීමටද දායක වෙයි. X කිරණ ටෙලස්කෝප (දුරෙක්ෂ) යොදා ගනිමින් සැගිටේරියස් වටපිටාවේ සිට පැතිරෙන සුපිරි ලෙස රත්වූ අති දැවැන්ත වායු බුබුලක් පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත. එම වායුව කොපමණ නම් රත්වී ඇත්ද කීවොත් (අංශක මිලියනයකට වැඩි ප‍්‍රමාණයක රත්වීමක්) එය සාමාන්‍ය ටෙලස්කෝපයකට පෙනෙන්නේ නැත. මෙම මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ සහ පර්යේෂණ වාර්තාවේ කතුවරයෙකු වන මාටින් එල්විස් කියා සිටින්නේ එපමණ ප‍්‍රමාණයක ස්කන්ධයක් ක්ෂිරපථය මන්දාකිණිය මගින් සඟවා ගෙන සිටින්නේ කෙලෙසද යන්න පැහැදිලි කිරීම ප‍්‍රහේලිකාවක් බවයි.” සාමාන්‍ය ද්‍රව්‍ය බොහොමයක් අපට පහසුවෙන් දැක ගත හැකි දෙයක බලාගන්න අපහසුයි. රත්වෙද්දි එය සැඟවී යනවා.” එල්විස් කියයි.එහෙයින්, සාමාන්‍ය ආලෝකය වෙනුවට විද්‍යාඥයෝ X කිරණ නිරීක්ෂණය කරන ටෙලස්කෝප් යොදා ගත්හ. නිව්ටන් සහ චන්ද්‍ර ( XMM-Newton and Chandra) අභ්‍යාවකාශ යානා යොදා ගෙන X කිරණ අධ්‍යයන කිරීමේදී ඇති දැවැන්ත වායු බුබුළක හැඩ හුරුව ඉස්මතු වන්නට විය.
මේ මොහොත ගතහොත් සැගිටේරියස් ඒ තාරකාව වනාහි සාපේක්ෂව අකී‍්‍රය කළු කුහරයකි. එහෙත් මානවයන් සහ ඔවුන්ගේ ආදිතමයන් මේ මිහිතලය මත දිස්වෙන්නට පටන් ගනිද්දී මෙයට වසර මිලියන හයකට පෙර එම කළු කුහරය ඊට ආසන්නව තිබූ පදාර්ථ අති විශාල ප‍්‍රමාණයක් උරා ගැනීමට පටන් ගත්තේය. මේ හේතුව නිසා සාපේක්ෂව හිස් අවකාශයකින් සමන්විත බුබුළක් නිර්මාණය විය. එසේ වුවද, සැග අඩු ඝනත්වයකින් යුතු වායුවක් අභ්‍යවාකශයට පොම්ප කිරීමටද සැගිටේරියස් පටන් ගත්තේය. එම වායුව ඔක්සිජන් බොහොමයක් සහ ඇතැම්විට හයිඩ‍්‍රජන් සහ අනෙකුත් මූල ද්‍රව්‍යයද අඩංගු විය.
“අපට ඇත්තටම පුළුවන් වන්නේ ඔක්සිජන් මනින්ට පමණයි. එහි පහසුවෙන් දැක ගැනීමේ අවස්ථාව ඇතත් ඔක්සිජන්වලට අනෙකුත් මූලද්‍රව්‍යය දැක ගන්න අපහසුයි. ඒවා පැහැදිලිව විශ්වය ආරම්භයේ තිබූ මුල් තත්ත්වයේ වායු නොවෙයි. මන්ද මෙකී ඔක්සිජන් එහි ඇති නිසයි” යනුවෙන් එල්විස් පවසයි. වායුව කිසිදිනක සිසිල් වී නොයන්නට ඉඩ ඇත. ‘වායු සිසිල් විය හැකි මග ශක්තිය ඉවතට විකිරණය වීමෙනුයි. ඒත් අඩු ඝනත්වවලදී එය සිදු නොවේ. ඒ නිසා එය සිදුවන්නට ඉඩක් නැහැ.’ එල්විස් පැහැදිලි කරයි.

මෙකී වායු බුබුළ පැයකට හැතැප්ම මිලියනයකින් පමණ ප‍්‍රසාරණය වන අතර දැනටමත් පෘථිවියට ඇති දුරින් තුනෙන් දෙකකට පමණ වන තෙක් පැමිණ ඇත. තව වසර මිලියන කිහිපයකින් එය මෙහි එනු ඇත. “හැබැයි ඒ වන විට එහි ඝනත්වය අඩු වෙනවා” එල්විස් කියයි. එහෙත් ඉතින් බියවීමට කාරණාවක් නැත. මේ වායුව සුපිරි ආකාරයට රත්ව ඇතත් එහි අංශු කොපමණ නම් විසරණයවී ඇත්ද කිවහොත් ඉන් මිනිසුන්ට(ඒ වන විට මිනිසුන් සිටියොත්) හානියක් සිදු නොවේ. එය සාමාන්‍ය අන්තස්තාරීය මාධ්‍යයන්ට වඩා ඝනත්වයෙන් අඩුයි. එල්විස් තවදුරටත් පැහැදිලි කරයි.
ඈත ඉස්මතු වන වායු බුබුළෙහි වඩා හොඳ අනුරූප ලබාගැනීමට හැකිවන වඩා බලගතු X කිරණ ටෙලස්කෝපයකින් අවසානයේ මග පෑදෙනු ඇතැයි එල්විස් බලාපොරොත්තු වෙයි. X කිරණ එක්කාසු කිරීම පිණිස චන්ද්‍ර X කිරණ ටෙලස්කෝපයට ඇත්තේ කෑම දීසියක තරම් වූ වපසරියකි. “X කිරණ සමීක්ෂක (The X-ray Surveyor.) යනුවෙන් නම් කර ඇති අභ්‍යවකාශ යානයක් තැනීමේ යෝජනාවක් ගැන නාසා ආයතනයේ සැලකිල්ල යොමු වී ඇත. වර්ග මීටර කිහිපයක ප‍්‍රමාණයකින් යුත් වපසරියක් X කිරණ එක්කාසු කිරීම සඳහා වෙන්වෙනු ඇති” එල්විස් සඳහන් කරයි. “ඒ ආකාරයේ ටෙලස්කෝපයක් මගින් වඩාත් විශාල ප‍්‍රදේශයක් ගැන වඩාත් සියුම්ව සොයා බැලීම් කිරීමට අපට හැකිවේවි. එහෙම වුණොත් මේ බුබුළ සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීමටද අපට හැකිවේවි. එවැනි ටෙලස්කෝපයක් තැනිය හැකිවේදැයි ස්තිරසාරවම කියන්න අපට අපහසුයි. ඒත් ඒ ගැන පර්යේෂණ පැවැත්වෙනවා”.
Smithsonian.com හි පළවූ Solving the Mystery of the Milky Way’s Missing Mass යන ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න