මිනිස් අපට සමාන සත්තු ගැන හිතුවොත් මුලින් ම අපේ හිතට එන්නේ වානරයෝ, වඳුරෝ, වැඩිම වුණොත් අපත් අයිති ක්ෂීරපායි සතුන් කවුරු හරි.  අපෙන් ඇහුවොත් ඇයි හෝ මැස්සා මතක් වෙන්නේ නැද්ද කියලා අපට හිතෙයි අහපු පුද්ගලයාට ඔල්මාද  ද කියලා. ඇත්තටම හෝ මැස්සෙකු(පලතුරු මැස්සා = fruit fly) හා මිනිසෙකු අතර තියෙන සමාන කම මොකක්ද? කොහොමටවත් හිතා ගන්න බෑ. ඒත් ඉතින් විද්‍යාඥයෝ කියන අන්දමට නම් කෘමීන් හා මිනිසුන් අතර අප හිතනවාට වඩා සම්බන්ධකමක් තියෙනවා. කල්පනා කරලා බැලූවොත් පේශී හා ස්නායු පද්ධතිවල සිට අපේ සෛල සන්නිවේදනයේ යෙදෙන ක‍්‍රම දක්වා සෑම දෙයක්ම ආවරණය වෙන පුළුල් පරාසයක සමානතා අප දෙපාර්ශ්වය අතර හවුලේ දැකගත හැකියි.

මිනිසුන්ගේ හා කෘමීන්ගේ සෛල එකම කි‍්‍රයාදාම බොහොමයක් යොදා ගන්නා නිසා වෛද්‍ය විද්‍යාවේ වැදගත් ඉදිරි පියවර ගණනාවකටම මග පාදා ඇත්තේ කෘමීන් අධ්‍යයනයයි. එහෙත්, අවාසනාවකට මෙන් මානවයන්ට මෙන්ම මේ පෘථිවිතලයට කෘමීන්ගේ ඇති වැදගත්කම වටහා ගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණයි. ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් හැරිසන් ඒ ටික දෙනාගෙන් එක් අයෙක්. ඔහු කෘමී පරිසරාත්මක කායික විද්‍යා ක්ෂේත‍්‍රයේ(field of insect ecological physiology) පර්යේෂණ පවත්වයි. හෝ මැස්සන් (පළතුරු මැස්සන්) පළගැටියන්, මී මැස්සන්, කුරුමිණියන් සහ තවත් බොහෝ කෘමීන් යොදා ගනිමින් හෙතෙම කෘමීන් කි‍්‍රයාකරන ආකාරය, පරිසරාත්මක අභියෝගයන්ට් මුහුණ දෙන ආකාරය මෙන්ම කෘමීන් පරිණාමය වන අන්දම ගැන පරීක්ෂණ පවත්වයි.

insect-main

කෘමීන් ගැන සොයා බැලීමේ දී අපේ උනන්දුව ඇතිවන එක් කාරණයක් වන්නේ, මිනිස් අපට කළ නො හැකි දේවල් කිරීමට ඔවුනට ඇති හැකියාවයි. සමහර කෘමීන්ට සීතලෙන් මිදී ඝනව  කැටි ගැහී පසුව හිමහරණය වි ආපදාවකින් තොරව ජීවිතය ඉදිරියට ගෙන යා හැකියි. තවද, ඔක්සිජන් නොමැතිව යහතින් ජීවත් වීමට ද දක්ෂය. මානවයන් වන අපට ඔක්සිජන් නොලැබී ගියොත් විනාඩි ගණනාවක් ඇතුළත මරණය සිදුවෙයි. ඒත් කෘමීන් සියල්ලන්ටම පාහේ ඔක්සිජන් නොමැතිව පැය ගණනාවක් ජීවත් විය හැකිය. කෘමීන්ගේ මේ හැකියාවන් ගැන හැදෑරීම මිනිස් අපට වැදගත් වේ. නිදසුනක් ලෙස හෝ මැස්සන් ඔක්සිජන් නැතුව නොනැසී පවතින්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම අපරිණත බිළිඳුන්(premature babies) හා ආඝත රෝගීන්ට(stroke patients) ප‍්‍රතිකාර කිරීමේදී උපකාරී වෙන මෙවලම් වැඩිදියුණු කිරීමට මඟ පාදනු ඇත.

කෘමීන් ගැන අධ්‍යයනය කිරීමේ තවත් වැදගත් කමක් ඇති වන්නේ කෘමීන් ප‍්‍රධාන පෙළේ පළිබෝධ ලෙස සැලකෙන බැවිනි. පොදි වශයෙන් සරන පතංගයන්(locusts) ලොව ආහාර සැපයුම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. එමෙන්ම, මිනිසුන් හැරුණු කොට ලොව වඩාත්ම දරුණුතම සත්වයන් ලෙස සිටින රෝග කාරක මදුරුවන් ප‍්‍රධානතම පළිබෝධකයෙකි. එහෙත්, කෘමීන් පලිබෝධකයන් බවට පත්විය හැකි වුවද, ඔවුන් අපට අවශ්‍ය වෙන්නා වූ ද  පිරිසකි. කෘමීන් අපේ බෝග බොහොමයක් පරාගණය කරන අතර අනෙකුත් වන සතුනට ඔවුන් කදිම ආහාර ප‍්‍රභවයකි. මේ හේතු නිසා විවිධ උෂ්ණත්වයට හෝ විවිධ ඔක්සිජන් මට්ටම වැනි පාරිසරික විපර්යාසයන්ට ඔවුන් මුහුණ දෙන ආකාරය හා ප‍්‍රතිචාර දක්වන ආකාරය වඩා හොඳින් අවබෝද කරගැනීම අපට අවශ්‍ය වෙයි.

insect-1

කෘමීන්ගේ සිරුරු කි‍්‍රයාකරන ආකාරය අධ්‍යයනය කිරීම අදට  වැදගත් වන්නා සේ ම කෘමීන් අතීතයේ දී කුමන ස්වරූපයක් ගත්තේද යන්න ගැන පර්යේෂණ පැවැත්වීම ද  වැඩ දායී වේ. මහා ගොඩනැගිලි පවා කඩා බිඳ දමන දැවැන්ත කෘමීන් අප දකින්නේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවලදීය. එහෙත් අද කෘමීන් කොපමණ කුඩා ද කීවොත් අපේ පයට පෑගී විනාශ වී යා හැකි තරම්ය.

එහෙත් විශාල කෘමීන් ප‍්‍රබන්ධවලට සීමා වූයේ නොවේ. ඉතා ඈත අතීතයේ කෘමීන් අදට වඩා පස් ගුණයක සිට දස ගුණයක් තරම් විශාලය. මේසා  විශාල සිරුර වැඞී තිබුණේ ඈත අතීතයේ දී ඉහළ මට්ටම්වල ඔක්සිජන් පැවතීමේ හේතුවේන් දැයි ජොන් හැරිසන් ඇතුළු  තවත් විද්‍යාඥයෝ පර්යේෂණ සිදු කරමින් සිටිති.  කෘමීන් පාදක කරගත් පර්යේෂණ මානව වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයන්ගේ බොහෝ ප‍්‍රදේශවල වර්ධනයක් ඇති කිරීමට ඉවහල් වනු ඇති බව හැරිසන් සහ සෙසු පර්යේෂකයන්ගේ වෑයම දෙස් දෙයි. ඉතින් මීළඟ වාරයේ ඔබ හෝ මැස්සෙකු හෝ කුරුමිණියෙකු දටු විට සතුරෙකු ලෙසම නොසලකා මේ කුඩා සතුන් අපට ද යහපතක් ගෙන ඒමට සමත් විය හැකි දැයි සිතීමට මේ පර්යේෂණ අපව යොමු කරවයි.

Ask a Biologist හී පළවූ The interest of insects නම් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending