අපේ මේ පෘථිවිය මත ඉතා ඈත අතීතයේ ජීවත් වූ සතුන් හා ශාක පිළිබඳ සාක්ෂ්‍ය ෆොසිල ලෙස දැක්විය හැකියි. යම්කිසි ෆොසිලයක් සුරැකිව තැන්පත් වී ඇති පාෂාණ ස්ථරය එම ෆොසිලය පිළිබඳ තොරතුරු අපට කියයි. එම ස්ථරය අපට එකී ෆොසිලයේ වයස පෙන්නුම් කරයි. එමෙන්ම එම ශාකය හෝ සත්වයා ජීවත් වූ දේශගුණය හා පරිසරය පිළිබඳ තොරතුරු ද ඉන් අපට දැක්වේ.

lyell_340

නූතන භූ විද්‍යාවේ පියා(father of modern geology) ලෙස සැලකෙන්නේ ශී‍්‍රමත් චාල්ස් ලයෙල්ය. පෘථිවියෙහි භෞතික හා රසායනික ස්වභාවය අධ්‍යයනය භූ විද්‍යාව ලෙස දැක්වේ. පෘථිවි ග‍්‍රහයා මත  අදටත් සිදුවෙන ආකාරයට අතීතයේ දී ද පෘථිවිය සෙමින් සහ ක‍්‍රමක‍්‍රමයෙන් විපර්යාසයන්ට ලක්වූ බව මෙම බි‍්‍රතාන්‍ය ජාතික විද්‍යාඥයා 1830 ගණන්වලදී ඔප්පු කර පෙන්වීය. එම අදහස බොහෝ දෙනා මවිතයෙන් කම්පනයට ලක් කළේය. භූ කම්පන සහ මඩ රූටන වැනි හදිසි ස්වාභාවික විපත් මගින් ක්ෂණිකව කඳු සහ පෘථිවියේ වෙනත් භූ ලක්ෂණ ඇති විනැයි එවක බොහෝ දෙනා විශ්වාස කල මතයයි. එපමණක් නොව, පෘථිවිය වසර බිලියන ගණනාවක් පැරැණි යයි ද ලයෙල් පෙන්වා දුන්නේය. එවක සාමාන්‍ය පිළිගැනීම වූයේ අපේ ග‍්‍රහයා වසර දහස් ගණනක් පමණ  වයසැති බවයි.

jellyfish_520

අසාමාන්‍ය සොයා ගැනීමක් සිදු කිරීමටද ඩෙනවර් සොභාධර්ම සහ විද්‍යා කෞතුකාගාරයේ  පාෂාණීය ධාතු විද්‍යාඥ (paleontologist) ආචාර්ය ජේම්ස් හැගඩොන් සමත් විය. ඒ ලොඩියන් ගේ ෆොසිලයි(jellyfish fossils). මෙහි පෙනෙන කවාකාර ලාඤ්ජන තබා තිබුනේ වසර මිලියන 500 වයසැති වැලි ගල්වලය. මේ සොයා ගැනීම අසාමාන්‍ය බවට පත්වන්නට හේතුව තමයි ලොඩියන්ට අස්ථි කොටස් නොතිබීමයි. මුහුදෙන් ගොඩ ගැසූ ලොඩියන් වැල්ලක අතරමං  වූයේ නම් පහසුවෙන්ම විලෝපියන්ගේ ආහාර බවට පත්වේ. එසේ නම් සිතිය හැක්කේ  වැලිගල් මත ලාඤ්ජන තැබුණු ලොඩියන් වෙරළට ආ විගස වැල්ලෙන් වැසී යන්නට ඇති බවයි.

footprints_520

අඩුම තරමින් මෙයට වසර මිලියන 3.5කට පෙර (මානවයා ඇතුළු හොමිනිඩායි පවුලට අයිති ප‍්‍රිමේටයෙක් වන) හොමිනිඩයන්  හෙවත් මුල් මානවයන්(hominids) දකුණු දිග අපි‍්‍රකාවේ යමහල් දූවිල්ලෙන් වැසී ගිය බිමක් හරහා (අද ටැන්සානියාව ලෙස හඳුන්වන රට හරහා) ඇවිද ගියහ. දූවිලි පාෂාණ ලෙස ගල්විණ. එහිදී ඔවුන්ගේ පා සටහන් සුරැකී ඇති අන්දම මෙහි දැක්වේ. ඇවිද ගිය එක් අයෙකුගේ උස අඩි හතරයි අඟල් 9 ක් පමණ වේ. තවකෙකු අඩි 4 අඟල් 1ක් උස විය. ලොකු පා සටහන් අතරේ කුඩා ළමයෙකුගේ පා සටහන්ද දැකිය හැකිය.

trex3

ෆොසිල අපට සත්ව ජීවිතය ගැන බොහෝ තොරතුරු ගෙන හැර පායි. මෙම ටයිරනසෝරස රෙක්ස් සැකිල්ලෙන්ද තොරතුරු කිහිපයක් දැන ගත හැකිය. මෙම දැවැන්තයාගේ ඉල ඇට කිහිපයක්ම අඩුය. කොන්ද අමාරුවකින්ද පෙළී සිටින්නට ඇත. පාදයක  ඕජස් ගලන තුවාලයක් ද විය. කෙසේ වෙතත්, සතෙකුගේ සමෙහි හෝ ඇස්වල වර්ණය ෆොසිල මගින් දැන ගත නොහැකිය.

ෆොසිල ගවේෂණයෙහි යෙදෙන පාෂාණීය ධාතු විද්‍යාඥයන්ට බටහිර දිග ඇමරිකා එක්සත් ජනපදය තෝතැන්නක් බඳුය. මේ ප‍්‍රදේශය වැලි ගල් ගහණය. සත්ව අස්ථි ෆොසිල ගත වන අවසාදිත පාෂාණ විශේෂයක් ලෙස වැලි ගල් දැක්විය හැකියි. සමහරක් ෆොසිල ලිහිල් වැල්ලෙහි වැළලී ඇති අතර පහසුවෙන් බුරුසුවෙන් සුද්ධකොට මතු කර ගත හැකිය. එහෙත්, වැලි ගල් තුළ සැඟ වී ඇති සමහරක් ෆොසිල මතු කර ගත හැක්කේ වැලිගල් ජැක්කු මිටියකින් තලා පොඩි පට්ටම් කිරීමෙනි.

ෆොසිල සෑදෙන්නේ කෙසේද?

බොහෝ ශාක සතුන් මිය ගොස් දිරා පත් වී යන්නේ කිසිදු සලකුණක් ඉතිරි නොකරමිනි. එසේ වුවද, කිසියම් ප‍්‍රාණියෙකු හෝ ප‍්‍රාණියෙකුගේ දෘඪ  කොටස් සංරක්ෂණය විය හැකි තත්ත්වයන් ද  ඇති වීමට ඉඩ තිබේ. ඒ අනුව ෆොසිල සෑදෙන්නේ මේ විලාශයෙනි. සත්වයෙක් මිය යයි. ඒ ප‍්‍රාණියාගේ දේහය ඉක්මනින් මඩෙන්, තෙත් වැල්ලෙන්, අයිස් හෝ තාරවලින් වැසී යයි.  ඒ ජීවියාගේ සිරුරේ මෘදු කොටස් දිරාපත්වී යා හැකිය. එවිට ඉතිරි වන්නේ අස්ථි, දත්, කොරපොතු(scales) යනාදියයි. තාර හා අයිස් මගින් මෘදු කොටස් ද සංරක්ෂණය විය හැකියි. කාලය ගෙවී යද්දී ඛනිජ අස්ථිවෙත කාන්දු වෙන අතර එමගින් මෘදු අස්ථි පටක ආදේශ වේ.  අස්ථි, පාෂාණ බවට හැරේ. භූමිකම්පා, ඛාදනය වීම්, සහ අනෙකුත් ස්වාභාවික සිද්ධි මගින් ෆොසිල මතුපිටට ගෙන එනු ලැබීමෙන් අනතුරුව ඒවා සොයා ගනු ලැබේ.

 

Kids Discover  වෙබ් අඩවියේ  Fossils: Bones of Stone ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending