මෙයට වසර මිලියන 550කට පෙර අවධියේ සැකිලි හෙවත් කංකාල(skeletons) සහිත සත්තු ජීවත් නොවූහ. විද්‍යාඥයන් දක්වන පරිදි ඉන් අනතුරුව, වායුගෝලීය ඔක්සිජන් මට්ටම් ඉහළ ගිය අතර සතුන්ට සිය දෘඪ ව්‍යුහමය කොටස් ගොඩ නගා ගැනීමට වුවමනා වන ඛනිජ උකහා ගැනීමට හැකි වන පරිදි සාගරවල රසායන සංයුතිය විපර්යාසයට ලක්විය. සයිබීරියාවේ පුරාතන පාෂාණ ස්තර පිළිබඳ අලූත්ම විශ්ලේෂණයකින් මේ මතයට සහාය පළ වේ. මෙයින් අපට පෙන්නුම් කරන්නේ සැකිලි සෑදිමට අවැසි තැනුම් ඒකකවලින් සාගර සරුසාර වූයේ සැකිලි සහිත සතුන්ගේ මුල්ම ෆොසිල මතුවෙන්නට පටන් ගත් අවදියේම බවයි.

“සතුන්ට මුලින්ම සැකිලි ආවේ කෙලෙසද? එමෙන්ම ඔවුන් අද අප දන්නා අන්දමේ සතුන් බවට පරිණාමය වූයේ කෙසේද? යන ප‍්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මෙම නව අධ්‍යයන වාර්තාව බොහෝ සේ උපකාරී වේ” යයි පවසන්නේ යේල් විශ්වවිද්‍යාලයේ අවසාදිත අධ්‍යයන විද්‍යාඥ(sedimentologist) ඈෂ්ලේ හුඞ්ය. ඇය මේ අධ්‍යයනයට සම්බන්ධ නොවූවකි.

වර්තමානනේ වායුගෝලයේ ඔක්සිජන් ප‍්‍රමාණය 20%ක් පමණ වන මුත් සැමදාමත් එය එසේ පැවතුනේ නොවේ. මෙයට වසර මිලියන 800කට පමණ පෙර අපේ මේ පෘථිවියෙහි වායුගෝලයේ ඔක්සිජන් මට්ටම වර්තමානයේ මට්ටමින් 0.1% තරම් අඩු ප‍්‍රමාණයක පැවතුණි. ඉන් පසුව, භූ විද්‍යාඥයන්ට තවමත් හරිහැටි පැහැදිලි කර ගැනීමට අපොහොසත් වී ඇති හේතු සාධක නිසාවෙන් ඔක්සිජන් මට්ටම් ඉහළ යාමට පටන් ගත්තේය.

සයිබීරියානු යුදෝමා නදියේ නූච්චලක්ෂ් නිම්නයෙන් සාම්පල එකතුකරමින්
සයිබීරියානු යුදෝමා නදියේ නූච්චලක්ෂ් නිම්නයෙන් සාම්පල එකතුකරමින්

 

ඉහළ යන ඔක්සිජන් මට්ටම් සහ සතුන් අතරේ සැකිලි පරිණාමය වීම අතර සම්බන්ධය හෙවත් ඈඳීය අවබෝධකර ගනු වස් එඩින්බර්ග් සරසවියේ භූ විද්‍යාඥවරියක වන රැෂෙල් වුඞ් සහ ඇගේ පර්යේෂක කණ්ඩායම සයිබීරියාවේ යුදෝමා නදිය අසබඩ වන පියසක  ඇතුළත පුරාතන පාෂාණ ස්තර පරීක්ෂා කර බැලූහ. මේ පාෂාණ සෑදී ඇත්තේ ආදී කල්පිත සාගරවල තැන්පත් වූ අවසාදිත ස්තර මගිනි. ඒවායේ ෆොසිල  අඩංගුවනවා පමණක් නොව සතුන්ට සැකිලි හටගත්තා යයි කල්පනා කරන අවදියේ සාගරවල රසායන සංයුතිය  වෙනස් වූ ආකාරය ගැන දැන ගත හැකි අවශේෂමය ඉඟි ද අඩංගුය. එඩියකාරන් (Ediacaran) සහ පේලියෝසොයික යුගයේ මුල් කාලය වන කැම්බි‍්‍රයානු(Cambrian) අවධිවල,  ඒ කියන්නේ එක්ව ගත් කල වසර මිලියන 635 සිට 485 පමණ පෙර කාලයට අයත් සාගරික රසායන විපර්යාසයන් මාලාවක් හඳුනා ගැනීමට වුඞ් සමත් වූවාය. මෙයට දළ වශයෙන් වසර මිලියන 545ක් වනතුරු පාෂාණ ඩොලමයිට් ඛනිජයෙන් පොහොසත් විය. ඔක්සිජන් මට්ටම පහළ තිබූ අවධියේ සාගරවල ඩොලමයිට් හට ගන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව හූඞ් පවසයි. ඉන් පසුව, වායුගෝලීය ඔක්සිජන් මට්ටම් ඉහළ යද්දී හුණුගල් ප‍්‍රමුඛත්වයට පත් විය.

ක්ෂේත‍්‍ර බිමෙහි හුණුගල්වල ඇරගනයිට්(aragonite) සහ කැල්සයිට්(calcite) යන ඛනිජ  අඩංගුය. සතුන්ට සැකිලි තනා ගැනීම පිණිස මේවා අවශ්‍ය වේ. ඩොලමයිට්වලට වඩා වේගයකින් එහෙත් අඩු ශක්තියක් උපයෝගී කරගනිමින් ඇරගනයිට් සහ කැල්සයිට් ස්ඵටික සෑදේ. එහෙයින් ඩොලමයිට් මගින් කර ගත නොහැකි ආකාරයට සතුන්ට එහි ඛනිජ යොදාගනිමින් සිය සැකිලි තනාගැනීමට හැකි වේ. එපමණක් නොව, ගොඩ බිමෙහිදී සුළං හා වර්ෂාපතනය වැනි ඛාදනයට බලපාන සාධකවලින් අතිශය ඉහළ මට්ටමකින් මහාද්වීපවලට නිරතුරුව පහර එල්ල විය. මෙය, ඇරගනයිට් සහ කැල්සයිට් සෑදීමට අවශ්‍ය එක්තරා සුවිශේෂී පෝෂකයක්– එනම්, කැල්සියම්වලින් සාගර පිරෙන්නට මගපෑදීය. සැකිලි පරිණාමණය ඉන් තවත් බලවත් වූයේ යයි Geology (භූවිද්‍යා) සඟරාවේ 2016 නොවැම්බර කලාපයට  මේ කණ්ඩායම සපයා ඇති වාර්තාවක සඳහන් වේ.

cc_cloudinaxiao_16x9

මෙකී සැකිලි විප්ලවය පාෂාණවලමත් පිළිබිඹු වේ. ඩොලමයිට් බහුල ස්ථරවල ප‍්‍රමුඛව දැකිය හැක්කේ මුහුදු පත්ලේ ඇලී ජීවත්වන ඇස්පිඩෙල්ලා (Aspidella) වැනි මෘදු ශරීර සහිත ජීවීන්ගේ ෆොසිලයි. අනතුරුව හුණුගල්වල, සැකිලි සහිත මුල්ම සත්වයන් ලෙස හඳුනාගනු ලැබූ ක්ලවුඩිනා(Cloudina) දැක ගත හැකිවේ. මිලිමීටර මට්ටමේ මේ සතා සෑදී ඇත්තේ එක මත එක තබූ අයිස්කී‍්‍රම් කේතු (කෝන්) කැටියක් බඳුව දිස්වෙන චූර්ණීභවනීය (calcified) කවචයකිනි. මෙවැනි ආරම්භයකින් පසුව සැකිලිගත සත්තු, වඩා හුරුපුරුදු ස්වරූප වන මත්ස්‍යයන්,  න. ඩයිනසෝරයන් සහ අනුෂාංගිකව මානවයන් බවට පරිණාමය වුහ.

ඉහළ යන ඔක්සිජන් මට්ටම්, සාගර රසායනය සහ ජීවයේ විපර්යාසයන් සමායෝජිත ආකාරයකින් දැක්වීම ගැන හුඞ් පර්යේෂණ කණ්ඩායම ප‍්‍රශංසාවට ලක්කරන්නීය. “එකිනෙකට වෙනස් මං තුනක් මොවුන් ඈදා තියෙනවා” ඈ කියයි. මේ කතාවට දැන් සයිබීරියාවෙන් මුල පිරුණත් සෙසු ප‍්‍රදේශවලදී ද එය එලෙසම සිදුවේදැයි සොයා බැලීම ඊළඟ කාර්යය වන බව හුඞ් සහ වුඞ් යන දෙදෙනාම පිළිගනිති.

 

American Association for the Advancement of Science (AAAS), SCIENCE හී පල වූ  How did animals get their skeletons? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Trending