හෘද රෝගීන් දස දහස් ගණනින් යොදා ගනිමින් දශක ගණනාවක් තිස්සේ සිදු කරන ලද අධ්‍යයන මගින් හෙළි කරුණු යම් දෙයක් වේද, ඒ තමයි කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමෙන් හෘදයාබාද සහ මරණ පිළිබඳ අවදානම පහළ හෙළිය හැකි බවයි. මෙතෙක් කිසිදාක නොසිතූ මට්ටමකට කොලෙස්ටරෝල් පහත දැමිය හැකි නව ඖෂධ වෙළෙඳපොළට පැමිණ තිබෙන මේ අවධියේ පර්යේෂකයන් මහත් ආශාවෙන් බලා සිටින්නේ ඊළඟ ප‍්‍රශ්නවලට පිළිතුරය.
අධි අවදානමක් සහිත රෝගීන්ට ලැබෙන වාසිවල සීමාවක් තිබේද? එක්තරා ලක්ෂ්‍යයක් නැතහොත් සීමාවක් පසුකිරිමෙන් අනතුරුව එම වාසි නවතීද? නැතහොත් වාසි අවාසි බවට ආපසු හැරෙයිද?
නව අධ්‍යයනයකින් නම් කියැවෙන්නේ එවැනි මට්ටම්වීමක් සිදුවන්නේ නැත යන්නයි. එහෙත් ඒ ශුභාරංචිය ගෙන එන්නේ PCSK9 ප‍්‍රතිෂේධන(inhibitors) ලෙසින් හඳුන්වන අලූත් ඖෂධ සම්බන්ධයෙන් මතු වන අනපේක්ෂිත ප‍්‍රශ්න සමගය.

Pfizer සමාගම මෙවැනි නව ඖෂධ සංවර්ධනය කෙරෙමින් සිටින සමාගම් තුනෙන් එකකි. මේ ව්‍යාපෘතිය නතර කරන බව එම සාමාගම නොවැම්බර් 1 දා ප‍්‍රකාශයට පත් කළේය. ඒ ඖෂධය වැඩි දියුණු කිරීම වස් අති විශාල මුදලක් වැයකරමින් වසර ගණනාවක් ගත කිරීමෙන් පසුවය. ඒ මදිවාට එම සමාගම ව්‍යපෘතිය අත්හැර දමන්නට තීරණය ගෙන ඇත්තේ රෝගීන් 27,000 සම්බන්ධ කරගෙන සායන අත්හදා බැලීම්ද සිදු කරමින් සිටිනා විටදීය. ඖෂධයේ බලපෑම අවලංගු කරමින් රෝගීන් ප‍්‍රතිදේහ ගොඩ නගා ඇත.
අනෙක් සමාගම් දෙක නිෂ්පාදනය කොට අලෙවි සඳහා ඉදිරිපත් කෙරුණු ප‍්‍රතිෂේධන වලට පසුගිය වසරේ අනුමැතිය ලැබී ඇති අතර ඒ සමාගම් දෙකට මේ ආකාර ප‍්‍රශ්නයක් නැත. එසේ වුවද ඔවුහුද වෙනත් ප‍්‍රශ්නයක් මුහුණ පා සිටිති. එම සමාගම් දෙක අලෙවි කරන ප‍්‍රතිෂේධන ඉතා මිල අධිකය. එහෙයින්, ඒවා සඳහා ගෙවීම් කිරීමට රක්ෂණ සමාගම් ප‍්‍රතික්ෂේප කරයි.
මූලික පර්යේෂණවල මහා ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වන PCSK9 ප‍්‍රතිෂේධන දැන් මිල අධික හිස කැක්කුමක් බවට පත්වෙමින් තිබේ.
18 මාසයක් ගත වූ නව අධ්‍යයනයට රෝගීන් 968 දෙනෙකු සහභාගි කරවා ගැනිණ. ඔවුනට අහඹු ලෙස ස්ටැටින්(statin) වර්ගයක් හෝ ස්ටැටින් සමග PCSK9 ප‍්‍රතිෂේධන ලබා දුනි. මේ නව PCSK9 ප‍්‍රතිෂේධන මගින් අහිතකර කොලෙස්ටරෝල් නොසිතන මට්ටමක පහළ තත්ත්වයකට ගත හැකිවේ. ස්ටැටික් පමණක් ගත් රෝගීන්ගේ LDL මට්ටම සාමාන්‍ය 93 ක් ලෙස වර්තා කෙරිණ. මෙය ඉතාමත් සතුටුදායක තත්ත්වයකි. ස්ටැටින් සමග ප‍්‍රතිෂේධන ලබාගත් රෝගීන්ගේ LDL මට්ටම 36 ක සාමාන්‍යයක් දක්වා පහළ ගිය අතර ඇතැම් රෝගීන්ගේ මට්ටම 10 දක්වා පහළ වැටිණ.

හෘදයට ලේ සපයන ධමනිවල බිත්තිවල වැඩෙන වන කුරුලෑවන ගෙඩි(plaques) ප‍්‍රමාණය මැනීමට පර්යේෂකයෝ අධි ද්වනී(ultrasound) ස්කෑනර් භාවිත කළහ. මෙම ගෙඩි පුපුරා ගිය විට පුද්ගලයන්ට හෘදයාබාද ඇති විය හැකිය. එම පොඩි කුඩා වන තරමට හෘදයාබාද වැළඳීමේ අවදානම අඩු වේ.
පර්යේෂණවලදී පෙනී ගියේ ප‍්‍රතිෂේධන ලබා දුන් රෝගීන්ගෙන් තුනෙන් දෙකක ගෙඩි කුඩා වූ අතර ස්ටැටින් පමණක් ලබා දුන් රෝගීන් අතුරෙන් ගෙඩි කුඩා වුණේ රෝගීන්ගෙන් අඩකටත් අඩු සංඛ්‍යාවකයි. ප‍්‍රතිෂේධන ලබාදුන් රෝගීන්ගේ LDL මට්ටම පහළ යන්නට යන්නට ගෙඩි කුඩා වීමද සිදුවන බව පෙනී ගිය තවත් කරුණකි. අඩුම LDL මට්ටම, එනම් 24 මට්ටමේ පිහිටි අයගෙන් 81%ක ගෙඩි කුඩා විය.
අධ්‍යයන වාර්තාව ඇමරිකානු වෛද්‍ය සංගමයේ JAMA සඟරාවෙහි (Journal of the American Medical Association – JAMA ) පළ වී තිබුණේ ඇමරිකානු හෘදය සංගමයේ වාර්ෂික රැස්වීමට සිදු කෙරෙන ඉදිරිපත් කිරීමකට සමගාමීවය. ‘අධ්‍යයනයේ ප‍්‍රතිඵල යනු වාසි සැලසීම පිළිබඳ නිශ්චිත සහතිකයක් නොවේ’ යයි අධ්‍යයනය මෙහෙය වූ ක්ලීව්‍ලන්ඞ් විකීත්සාගාරයේ වෛද්‍ය ස්ටීවන් නිසෙන් අනතුරු හඟවයි, ‘එය හුදෙක් සංඥාවක් පමණයි. ඉන් කියැවෙන්නේ මේ ඖෂධ වාසි සලසන බවයි’.

ප‍්‍රතිෂේධන ආරක්ෂා සහිත ද එමෙන්ම හෘද රෝගවලින් ඇතිවන මරණ වැළැක්වීමට සමත් ද යන්න පරීක්ෂා කෙරෙන විශාල පරිමාණයේ සායනික අත්හදා බැලීම්වල ප‍්‍රතිඵල ලබාගැනීම දැනට ඇති අවශ්‍යතාවයි. මේ ප‍්‍රතිඵල ඉදිරි මාස කිහිප ඇතුළත ලබාගත හැකි යයි අපේක්ෂිතයි. එමෙන්ම, එවිට රක්ෂණ සමාගම් මේ ඖෂධ සඳහා කෙරෙන ගෙවීම් අනුමත කරනු ඇතැයිද බලාපොරොත්තු විය හැකිය.
Science Times හී Study Shows Promise for Expensive Cholesterol Drugs, but They Are Still Hard to Obtain නම් ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න