කීර්තිමත් Science සඟරාව සිය 2016 ප‍්‍රධානතම ඉදිරි පියවර ලෙස ගුරුත්වාකර්ෂණ තරංග හෝ ගුරුත්වජ තරංග(gravitational waves) යනුවෙන් හඳුන්වනු ලබන කාල අවකාශ ඇතිරිල්ලේ කුඩා රැළිති (tiny ripples in the fabric of space-time) සොයා ගැනීම නම් කර තිබේ. විද්‍යා ලෝකය පුදුමයටත් කම්පනයටත් පත් කළ මෙ සොයා ගැනීම සියවසකට පෙර ඇල්බට් අයින්ස්ටයින් මහ විද්‍යාඥයාගේ තවත් අනාවැකියක් සනාථවු අවස්ථාවක් ලෙස දැක්වේ. ගුරුත්වජ තරංග, කළු කුහර හෝ අඳුරු කුහර දෙකක ඝට්ටනය පෙන්නුම් කරන නිසා ඊළඟට පැමිණෙන දෙය ගැන විද්‍යාඥයෝ වඩා ප‍්‍රබෝධමත්ව සිටිති. මේ සොයා ගැනීම විශ්වය දෙස බලන නව ආකාරයක් සපයන අතර තාරකා විද්‍යාඥයන්ට වැදගත් මෙවලමක් බවට පත්විය හැකිය.
ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින් පළ කරනු ලබන Science සඟරාව 2016 වසර සඳහා විශිෂ්ඨතම සොයා ගැනීම වෙනුවෙන් ත්‍යාග ප‍්‍රදානය තරන කමිටුව රැස් වූ අවස්ථාවේ වසරේ ප‍්‍රධානතම ඉදිරිපියවර ලෙස ගුරුත්වජ තරංග තෝරා ගැනීමට වැඩි වේලාවක් ගත නොවූ බව ප‍්‍රවෘත්ති කර්තෘ ටිම් ඇපෙන්ශෙලර් පවසයි. “2016 මහා ජයග‍්‍රහණ ගණනාවකින් සමන්විතයි. මුල් කඳ සෛලවලින් සරු බීජ නිපදවීමේ සිට නව වැනි ග‍්‍රහයෙකු පිළිබඳ සාක්ෂි දක්වාවූ කාර්ය සාධන මේ අතර වෙනවා. ඒත් ගුරුත්වජ තරංග සොයා ගැනීම මේ සියල්ල අභිබවා නැගී සිටින්නට සමත් වුණා. අයින්ස්ටයින්ගේ අරුම පුදුම අනාවැකියක් ඉතා අලංකාර අන්දමට සනාථ කරමින් ගුරුත්වජ තරංග නව තාරකා විද්‍යා ක්ෂේත‍්‍රයකට මුල පිරූ මේ සොයා ගැනීම කෙසේ අභිබවන්නද?”

තාරකා දෙකක් එකිනෙකා වටා කක්ෂගතව ගමන් කිරීම වැනි ඒක රාශී වූ ස්කන්ධ භ‍්‍රමණය වෙද්දී කාල අවකාශයෙහි රැළිති ඇතිකරන බව අයින්ස්ටයින් පුරෝකථනය කළේ නියුට්‍රෝන තාරකා සහ කළුකුහර සොයා ගැනීමටත් පෙර කලකදීය. ඔහු කල්පනා කළේ සොයා ගැනීමට බැරිවන තරමට එකී ගුරුත්වජ තරංග අල්ප වනු ඇති බවයි. කෙසේ වෙතත්, ලෙසර් නිරෝධනමාන ගුරුත්වජ තරංග නිරීක්ෂණාගාරය හෙවත් Laser Interferometer Gravitational-Wave Observatory(LIGO) හි සේවය කරන භෞතික විද්‍යාඥයෝ කළු කුහර දෙකක් එකිනෙක ඝට්ටනවීමත් සමග ආලේක වර්ෂ බිලියන 1.3ක් ඈතීන් බිහිවූ තරංග පිපිරීමක් ගැන පසුගිය පෙබරවාරියේ වාර්තා කළහ. “සරලව කීවොත්, මෙතෙක් භෞතික විද්‍යාවේ විශාලතම සොයා ගැනීම ලෙස (මෙය) හඳුන්වන්න පුළුවන්” මාණ්ඩලික ලේඛක ඒඩි‍්‍රයන් චෝ කියයි.
“දැන් භෞතික විද්‍යාඥයන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඊළඟට පැමිණිය හැකි දේ ගැනයි” වෝ වැඩිදුරටත් සඳහන් කරයි. “මන්ද කීවොත්, විශ්වය දෙස එබී බැලීමට ගුරුත්වජ තරංග සම්පූර්ණයෙන් නව්‍ය ක‍්‍රමයක් සලසනවා.”
මෙහි ප‍්‍රථම පියවර ලෙස ඔවුහු (ගුරුත්වජ තරංග පාදක) සිද්ධි බොහොමයක් නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තුවෙති. දැනටම ඔවුනට හොඳ ආරම්භයක් ලැබී ඇත. ලිගෝ(LIGO) දැනටමත් දෙවැනි කළු කුහර එකතුව සොයා ගනු ලැබ ඇති අතර තුන්වැනි දුර්වල සංඥාවක්ද සොයා ගෙන ඇත. “නිරෝධන මාන දත්ත ලබා ගැනීම පසුගිය මාසයේ යලි ආරම්භ කර අතර ඒවාට සැලසුම් කර ඇති සංවේදිතාවයට ළඟා වුවහොත් අවසානයේ දිනකට එක බැගින් කළු කුහර ඝට්ටන නිරීක්ෂණය කරන්න පුළුවන් වේවි.” චෝ පෙන්වා දෙයි.

LIGO මුල් සොයා ගැනීම, කිසිදා එවැන්නක් සොයා ගැනීමට හැකිවෙතැයි යන සහතිකය නොමැතිව 1970 ගණන්වල සිට දශක හතරක් තිස්සේ LIGO හදා වඩා ගනිමින් ගොඩනගමින් වැඩිදියුණු කරමින් විද්‍යාඥයන් ගත් මහත් වෙහෙසෙහි කූටප‍්‍රාප්තවීමක් ලෙසටයි ඔහු දකින්නේ. “මේ සම්පූර්ණ අත්හදා බැලීමම අවදානම් දැරීම, දැඩිව ග‍්‍රහණය කිරීම හා කැපවීම සම්බන්ධ ප‍්‍රමිතියක්, ඝට්ටනයක් ලෙස හැඳින්විය හැකියි.” යනුවෙන් පවසන වෝ LIGO සාර්ථකත්වය එහි නිර්මාතෘවරුන්ට විශේෂයෙන්ම ව්‍යාපෘතියේ පියා ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි මැසචුසෙට්සේ තාක්ෂණ ආයතනයේ තාක්ෂණවේදී භෞතිකඥ රෙයිනර් වයිස්ගේ විචාර බුද්ධියට දෙස් දෙන්නක්” යයි කියා සිටියි.
Science සඟරා විශේෂ ඉදිරි පියවර අංශයට පාඨක තේරීමේ තරඟයක්ද පැවැත්විණ. එහිදී පාඨක තේරීම වූයේ පර්යේෂණාගාරවලදී වර්ධනය වන මානව කලල(human embryos growing in lab culture) යි. තවද, බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම(Brexit) සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකානු ජනාධිපති පදවියට පත්වීම ‘සැලකිල්ල දැක්විය යුතු කාරණා’ ලෙස Science සඟරාව දක්වා ඇත්තේ සමස්තයක් වශයෙන් ගත් කළ විද්‍යාව මත එම සිදුවීම්වල ඵලවිපාක කෙසේ වේ දැයි පැහැදිලි නැත නිසයි.
American Association for the Advancement of Science (AAAS) Science Magazine හී පළවූ Science Names LIGO 2016 Breakthrough of the Year ලිපිය ඇසුරෙනි





ප්‍රතිචාරයක් ලබාදෙන්න